මම දේශපාලන වේදිකාවෙන් අෑත් වෙලා නෑ-දීපානි සිල්වා




මේ දිනවල විකාශය වන ‘ලලයි ලිලයි ලයි’ ටෙලි නාට්‍යයේ දනුෂ්කගේ ආච්චිගේ චරිතයෙන් ඔබ හමුවට එන දීපානි සිල්වා කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණ රංගන ශිල්පිනියක්. ඇය ගාමිණී හත්තොටුවේගමගේ වීදි නාට්‍ය කණ්ඩායමෙන් කලාවට මුලපිරූ අතර වේදිකාව, පුංචි තිරය පමණක් නොව රිදී තිරයෙන්ද සිය රංගන ප්‍රතිභාව මනාව පිළිබිඹු කළා. මේ වනවිට කලා කටයුතුවල මෙන්ම දේශපාලන වේදිකාවේත් දැකගන්නට ලැබෙන මේ දක්ෂ රංගන ශිල්පිනිය මෙවර අදහස් එක් කළේ මෙලෙසින්. 


මේ දිනවල ඔබේ කලා කටයුතු ගැන කතා කළොත්?


අබුද්ධස්ස කෝලම වේදිකා නාට්‍යය මීට වසර හතළිහකට පමණ පෙර නිර්මාණය වූ නාට්‍යයක්. ඉතින්  කලින් කලට මේ නිර්මාණය වේදිකාගත වුණා. පාස්කු ප්‍රහාරය, කොවිඩ් වසංගතය වැනි හේතු නිසා මේ නාට්‍ය කලක් නැවතී තිබුණත් දැන් නැවතත් මේ නිර්මාණයේ වැඩ කටයුතු ආරම්භ වී තිබෙනවා. අනෙක් නිර්මාණවලට සාපේක්ෂව මට ටෙලි නාට්‍යවලට ආරාධනා ලැබෙන්නේ බොහොම අඩුවෙන්. මෑතකදී මට සුපුන් රත්නායකගේ ‘ලලයි ලිලයි ලයි’ කියන ටෙලි නාට්‍යයට ආරාධනාවක් ලැබුණා. ඉතින් ඒ නිර්මාණයේත් වැඩ කටයුතු කරගෙන යනවා.


පසුගිය සුමති සම්මාන උළෙලේදී තුම්පනේ ටෙලි නාට්‍යයට සම්මාන රැසක් හිමිවුණා. ඔබත් මේ නිර්මාණයට දායකවුණු ප්‍රවීණ රංගන ශිල්පිනියක්. ඒ ගැනත් කතා කළොත්?


තුම්පනේ නිර්මාණය බිහිවෙලා දැන් බොහෝ කාලයක් ගතවෙලා. ඇත්තටම මේ නිර්මාණයේ තිබුණු යම් යම් හේතු නිසා විකාශය කරන්නට නොහැකිවත් බොහෝ කාලයක් තිබුණා. මෙම නිර්මාණය රූපවාහිනි නාළිකාවන්ගෙන් භාර ගැනීම ප්‍රමාද කිරීමට මගේ දේශපාලන වැඩ කටයුතුත් හේතුවක් වුණා. මේ නිර්මාණය දේශපාලන පැතිකඩෙන් කතා කළ හොඳ නිර්මාණයක්. ඒ වගේම හොඳ පිටපතක්. සුපුන් රත්නායක කියන්නේ නළු-නිළියන්ට බොහොම නිදහසේ වැඩ කරන්න පුළුවන් හොඳ අධ්‍යක්ෂවරයෙක්.


අද වනවිට ලංකාවේ සම්භාව්‍ය ගණයේ හොඳ ටෙලි නාට්‍ය බිහිවනවා. ප්‍රවීණ රංගන ශිල්පිනියක් ලෙස මේ ගැන මොකද ඔබ හිතන්නේ?


ඇත්තටම හොඳ නිර්මාණයක් බිහිවෙනවා කියන්නේ ගොඩක් හොඳ දෙයක්. පෞද්ගලිකව මමත් කැමැතියි හොඳ නිර්මාණ බිහිවෙනවාට. හොඳ නිර්මාණයක් බිහි කරන්න අවශ්‍ය පසුබිම, ඒ යටිතල පහසුකම් වැනි අවශ්‍ය දේවල් ලැබෙනවා නම් හොඳ නිර්මාණ කවදත් බිහිවෙනවා. නාට්‍ය නිර්මාණයක් නිෂ්පාදනයෙන් පසුව විකාශය කරන්නට බොහෝ කාලයක් ගත වන්නේ නැති නම්, නිෂ්පාදන පිරිවැයට සරිලන ගෙවීමක් නාළිකාවන්ගෙන් ලබාදෙන්නේ නම් හොඳ නිෂ්පාදන කවදත් බිහිවේවි.


අද වනවිට රංගන ශිල්පීන් රැසක් දේශපාලනයට සම්බන්ධ වී තිබෙනවා. ඔවුන් කලාවට යමක් කළා යැයි ඔබ සිතනවාද?


පාර්ලිමේන්තුව තුළත් කලාවට සිදුවන අසාධාරණය පිළිබඳව පසුගිය කාලයේ යම් යම් අවස්ථාවලදී සාකච්ඡා කළා. කලාකරුවන්ට වගේම නිෂ්පාදකවරුන්ට, තාක්ෂණ ශිල්පීන්ට ඇතුළු කලාවට සම්බන්ධ සියලුම ක්ෂේත්‍රයන්ටම සිදුවන අසාධාරණය පිළිබඳව බොහෝ අවස්ථාවල කතා කරලා තිබෙනවා. පාර්ලිමේන්තුවේ විශේෂ මන්ත්‍රි යෝජනාවක් ලෙසත් මෙය ගෙනැවිත් සාකච්ඡා කළා. එතැනදී යෝජනා වුණා මේ සඳහා යම්කිසි පනතක් හෝ ගෙනඒම වැදගත් කියලා. නමුත් ඒ කිසිවක් පිළිබඳව තවමත් පාලකයන් සිතලා නැහැ. කලාව කෙසේ හෝ මේ පවතින ලෙසම ඉදිරියටත් පවතීවි යැයි සිතා වර්තමානයේ පවතින රජයන් මේ පිළිබඳව සිතන්නේ නැහැ. කෙසේ නමුත් කලාව පිළිබඳව නිසි වැඩපිළිවෙළක් නම් අවශ්‍යයි.


කලාකරුවන් කලාව ගොඩනඟන්නට උත්සාහ කරන්නේ නැද්ද?


සෑම ක්ෂේත්‍රයකම සිටින සියලුම කලාකරුවන් එකට  එකතු කරලා සංවිධානයක් පිහිටුවාගෙන තිබෙනවා. ඉතින් මේ සංවිධානය හරහා කලාවට විය යුතු බොහෝ දේවල් අපි සාකච්ඡා කරලා තිබෙනවා. නමුත් තවමත් මේ පිළිබඳව නිසි විස¾දුමක් ලැබී නැහැ.


කලාව තුළින් රටක් වෙනස් කරන්න වගේම ජනමතය වෙනස් කරන්න පුළුවන්ද?


කලාව කියන්නේ මිනිස්සුන්ට හරි ලබැඳි දෙයක්. ඔවුන් හරි ආදරෙන් කලාකරුවන් පිළිගන්නවා. කලාකරුවන් කියන දේ ඒ මොහොතට හෝ විශ්වාස කරනවා. සෑම ක්ෂේත්‍රයකම පුද්ගලයන් කලාකරුවන්ට ආදරෙයි. ඇත්තටම කලාව කියන්නේ රටකට අත්‍යවශ්‍යම දෙයක්. නමුත් කලාව තුළින් පමණක් රටක ජනමතය වෙනස් කිරීම අපහසුයි. ඇතැම් විට කලාව ඒ සඳහා විශාල සහයෝගයක් ලබා දෙනවා විය හැකියි.  ජනතාව වෙත යන්න පුළුවන් පහසුම මාර්ගයක් තමයි කලාව කියන්නේ. එය අවබෝධයෙන් යුතුව ජනතාවගේ අවශ්‍යතාව තේරුම් ගෙන කළ යුතු දෙයක්.


ඔබ දැන් දේශපාලන වේදිකාවෙන් අෑත් වෙලාද?


නැහැ. මම කිසිසේත්ම දේශපාලන වේදිකාවෙන් අෑත් වෙලා නැහැ.


ඔබ ඉදිරි මැතිවරණයන්ටත් සහභාගි වෙනවද?


මම දැනටමත් දේශපාලනය කරන කෙනෙක්. අපේ පක්ෂය දිනවන්න වගේම ජයග්‍රහණය උදෙසා මම දේශපාලනය කරනවා.


ඔබේ අනාගත බලාපොරොත්තු මොනවාද?


එහෙම ලොකු බලාපොරොත්තු නම් නැහැ. මගේ එකම බලාපොරොත්තුව ජනතාව වෙනුවෙන් සාධාරණයක් ඉටුකිරීමට අවස්ථාවක් ලබාගැනීම.


නිශානි සවින්දිකා



Previous Post Next Post