ගැහැනුන්ව තනි මවුවරු කරපු පියවරු මනුෂ්‍ය ජාතියටම නින්දාවක්-උපේක්ෂා ස්වර්ණමාලි

 



මේ දිනවල විකාශය වන රීකන්ඩිෂන් කෙල්ල ටෙලි නාට්‍යයේ ‘සචීගේ’ චරිතය හරහා ප්‍රේක්ෂක හදවත් දිනා සිටින ඇය අති දක්ෂ රංගන ශිල්පිනියක්. පුංචි තිරය තුළ මෙන්ම රිදී තිරය තුළත් එක ලෙස සිය රංගන කුසලතා පෙන්වූ ඇය රංගන ශිල්පිනි උපේක්ෂා ස්වර්ණමාලිය. ඇය හදගැස්ම අපත් සමඟ මෙලෙස කතාබහට එක් වුණා.

 රීකන්ඩිෂන් කෙල්ල ‘සචීට’ ප්‍රේක්ෂකයන්ගෙන්  ලැබෙන ප්‍රතිචාර කොහොමද?


‘රීකන්ඩිෂන් කෙල්ල’ නාට්‍යයට රංගනයෙන් දායක වන කණ්ඩායම ප්‍රබලයි. චාන්දනී සෙනවිරත්න, කලණ අයියා, යුරේනි ඇතුළු කණ්ඩායම සිටින නිසාත් මටත් වෙනස්ම විධියේ චරිතයක් ලැබුණු නිසාත් මෙම ටෙලි නාට්‍ය භාර ගත්තා. ඉතින් ප්‍රේක්ෂකයන්ගෙන් හොඳ ප්‍රතිචාර තිබෙනවා. හැබැයි ඉතින් ලොකු ප්‍රතිචාරයක් ලැබෙනවා කියන්නත් බැහැ. නමුත් මෙම ටෙලි නාට්‍ය බලපු කෙනෙක් ඉන්නව නම් ටෙලි නාට්‍ය වෙනස් සහ ලස්සන නිසා එයාලගෙන් ප්‍රතිචාර ලැබෙනවා.


කලාවට පැමිණෙන නවකයන්ට ක්ෂේත්‍රය පිළිබඳ හැදෑරීමක් තිබීම අවශ්‍යද? ඒ ගැන ඔබේ අදහස?


ක්ෂේත්‍රය ඇතුළේ හැදෑරීමක් කියන දෙයට වඩා කලාව ඇතුළේ යම් හැදෑරීමක් තියෙන්න ඕනෑ කියලා තමයි මම හිතන්නේ. රංගනය හරියටම හදාරන්න තැන් තියෙනවද කියන එක ප්‍රශ්නයක්. නමුත් අවම වශයෙන් නර්තනය ඔස්සේ හෝ සටන් කලාවක් ඔස්සේ ආදී වශයෙන් මොනයම්ම වූ අංගයක් හරහා හරියට හදාරන්න ඕන කියන තැන තමයි මම ඉන්නේ. කලාව ඇතුළේ වෘත්තියක් විධියට තියෙන්න ඕනෑ ගෞරවය, කැපවීම, විනය, අනෙකාට ගරු කරන විධිය හැමදේම හඳුන ගන්න නම් හැදෑරීමක් තිබීම අත්‍යවශ්‍යයි. කිසිම හැදෑරීමක් නැතිව ටික්ටොක් එකේ ෆිල්ටර් එකක් නිසා ආකර්ෂණයක් දිනාගෙන, පොඩි පොඩි දේවල් කරලා ආකර්ෂණයක් දිනා ගන්නවට වඩා කලාව ගැන හැදෑරීමක් තිබෙන්න ඕනෑ.


අද වන විට විවිධ අවස්ථා හරහා කලාවට බොහෝ දෙනෙක් පැමිණෙනවා. මේ විධියට විවිධ අවස්ථා පැවතීම ගැන මොකද හිතෙන්නේ?


ඇත්තටම ඒ ගැන සතුටුයි. මම හිතන්නේ ඒක එහෙම විය යුතුයි. නමුත් මේ ක්ෂේත්‍රය තුළ තිබෙන අර්බුද එක්ක මම දකින්නේ ඒ ගනුදෙනුව හරියට කෙරෙන්නෙ නැහැ කියන එක. අපි හිතමු රියැලිටි වැඩසටහනක නවකයෙක් ආවා කියලා. එතැනදී සමහර වෙලාවට  මට හිතෙන්නේ ඒ නවකයන්ට අදාළ නාළිකාව ඒ නවකයන්ව සූරා කනවා මිසක් ඔවුන්ට නිසි වටිනාකමක් ලැබෙන්නෙ නැහැ කියලා. අන්න ඒ විධියට මේ ගනුදෙනුව ඇතුළේ ගැටලුවක් තිබෙනවා. මම කලාවට පැමිණි අවුරුද්දේ මුදල් අය කිරීමක් පවා නොකර රඟපාලා තිබෙනවා. අපි පොඩි මුදලකින් පටන් අරගෙන යම් ගමනක් ඇවිල්ලා තිබෙනවා. නමුත් අපිට නිසි වටිනාකමක් ලැබෙන්නෙ නැහැ. නවකයෙක් විධියට ක්ෂේත්‍රයට ඇවිත් මම වෙළෙඳ දැන්වීමක හිටියොත් ඒක මාකට් කරන්න අමාරුයි. මිනිස්සුන්ට ඒකෙන් තේරෙන්නේ තරුණ ළමයෙක් කියන එක විතරයි. නමුත් කාලයක් ගියාට පස්සේ අපේ මුහුණට, ඒ වෙළෙඳ දැන්වීමට ලැබෙන ප්‍රසිද්ධිය අති ප්‍රබලයි. නමුත් ඒ වටිනාකම අපිට ලැබෙන්නෙ නැහැ. මම හිතන්නේ මේ ගැටලුව නිෂ්පාදකවරුන්ට, නාළිකාවලට ආදී හැම අංශයටම පොදුයි. කර්මාන්තයක් විධියට මේ තුළ පිළිවෙළක් වෙලා විධිමත් වෙන්න ඕනෑ.


කාන්තාවක් විධියට ජීවිතයට එන අභියෝගවලට මුහුණදෙන්නේ කොහොමද?


කාන්තාවක් හෝ පිරිමි කියලා නැතිව වයස් භේදයකින් තොරව අපි සියලු දෙනාටම සෑමවිටම යුතුකමක් තිබෙනවා. ජීවිතේ අපි මොන වකවානුවක හිටියත් ජීවිතේ යුතුකම් කියලා එකක් තිබෙනවා. අපි අපිට, අපි පිට අයට යුතුකම් ඉටු කරන්න ඕනෑ. මගේ තරුණ කාලෙදී මට එහෙම අවබෝධයක් තිබුණේ නැහැ. මගේ දුව නිසා තමයි මට ඒ අවබෝධය ඇති වුණේ. තමන්ගේ සිතට එකඟව තමන්ට කරන්න පුළුවන් උපරිම හොඳ දේවල් කරනවන්ම් තමන්ගේ හිතට එකඟව තමන්ට හරි කියලා හිතෙන ජීවිතේ ගත කරනව නම් ජීවිතේට මුහුණ දීම ගැටලුවක් නෙවෙයි. අපි සමහර වෙලාවට ගොඩක්ම


දුර්වල වෙන්නේ වෙන අයට වහල් වුණාම. එහෙම නැත්නම් අපි අපිටම වහල් වුණාම. මම තරුණ කාලෙදී මම වෙන අයට වහල් වෙලා හිටියා. සමහර විට තමන් තමන්ගේ මවුපියන්ට වහල් වෙන්නත් පුළුවන්. නමුත් තමන්ගේ ජීවිතේට වගකීම් ගන්න පටන් ගන්න විට, යුතුකම් හඳුනා ගන්නා විට අපිට ලොකු හයියක් ඇති වෙනවා. ආත්ම තෘප්තිය ගොඩනැඟෙනවා. ඉතින් ජීවිතේට මුහුණදෙන්න ඒ හයිය ප්‍රමාණවත් කියලා මට හිතෙනවා. නමුත් ඒ අවබෝධය හයිය ඇති වෙන්න කාලයක් යනවා. ඉතින් මම හිතනවා මම හිටියට වඩා අද ශක්තිමත් කියලා.


‘සිංගල් මාම්’ සංකල්පය ගැන මොකද හිතන්නේ?


මේ කන්සෙප්ට් එකෙන් මට පැනලා යන්න බැහැ. ඒක මම ආසාවෙන් ලබා ගත්ත දෙයක් නෙවෙයි. අපි කවුරුත් විවාහයකට යන්නේ මෙවැනි තත්ත්වයක් බලාපොරොත්තුවෙන් නෙවෙයි. අපි විවාහ වෙන්නේ මෙවැනි තත්ත්වයක් හැර වෙන ඕනම දෙයක් වුණාට කමක් නැහැ කියන ප්‍රාර්ථනාවෙන්. මේක යම් අසරණකමක්. නමුත් මට ඇහිලා තියෙන විධියට ලෝකය තුළ දරුවන් සිටින පවුල්, දික්කසාදයකින් පසු සියයට හැත්තෑ ගණනකම දරුවන් සියයට සියයක්ම නඩත්තු වන්නේ අම්මගේ මඟ පෙන්වීම මත. ඒ කියන්නේ තාත්තා රුපියලකින්වත් උදවු කරන්නේ නැති පවුල් තමයි ලෝකයේ වැඩි වශයෙන් ඉන්නේ. ඇත්තටම ඒක එක පැත්තකින් ඛේදවාචකයක්. නමුත් මට හිතෙන විධියට කාන්තාවන් හරි ධෛර්යවන්තයි.


කාන්තාවන්ගේ ඒ වටිනාකම හැමෝම අගයන්න ඕනෑ සහ ඔවුන්ට ගරු කරන්න ඕනෑ. එක පැත්තකින් සිංගල් මාම් කෙනෙක් වුණාට පස්සේ අයුතු ප්‍රයෝජනවලට එන පිරිස වැඩියි. අපිටත් සමාජිය සබඳතා සහ වෘත්තීය සබඳතා තියෙන්න ඕනනේ. නමුත් ඒ තැන්වලින් අයුතු ප්‍රයෝජන ගන්න ඉන්න පිරිස වැඩියි. එයත් හරිම ඛේදවාචකයක්. නමුත් මම හරිම ආඩම්බරයි සිංගල් මාම් කියන දෙයට. මටත් හිටියෙත් එහෙම අම්මා කෙනෙක්. ඇත්තටම සිංගල් මාම් කෙනෙක් වෙන එක ලෙහෙසි  වැඩක් නෙවෙයි. නමුත් ඒ වගකීම අම්මලා අමාරුවෙන් හරි ඉෂ්ට කරනවා. මේ සිංගල් මාම්ලා වෙච්ච පවුල්වල සියලු තාත්තලා මනුෂ්‍යයෝ කියන ජාතියට නින්දාවක්.


වර්තමානයේදී බොහෝ දෙනෙක් කොස්මැටික් සර්ජරිස්වලට වැඩි ප්‍රවණතාවක් තිබෙනවා. මේ ගැන කතා කළොත්?


දැන් තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි අවුරුදු 15 -16 පසු වන විටම වයිට්නින් ආදී දේවල් ගැන හිතන්න පටන් ගන්නවා. මේවා නිසා පිළිකා හැදෙන්න පුළුවන්, ඇස් පෙනීම් දුර්වලතා එන්න පුළුවන්  සහ ඊටත් වඩා මාරාන්තික වෙන්න පුළුවන් කියන දේ මාධ්‍ය තුළත් ගොඩක් කතා කරනවා.


මේ ව්‍යාපාරයෙන් මුදල් උපයන්න පුළුවන් නිසා විෂය හරියට නොදන්න අය පවා ක්‍රීම් හදනවා, කොස්මැටික් සර්ජරිස් කරනවා. මේවා නිසා විශේෂයෙන්ම ලංකාව වගේ රටවල මිනිස්සු තමන්ගේ ජීවිතේ විකෘති කරගන්නවා කියල තමයි මට නම් හිතෙන්නේ. ඉස්සර නම් ඉන්දියාව තුළ කොස්මැටික් පැත්තේ දේවල් කළේ නැහැ. නමුත් දැන් ඉන්දියාව වගේ රටවල රංගන ශිල්පීන් ලොකු වියදමක් දරලා මේ විද්‍යාව නිවැරැදිව කරනවා.


මේ තුළ සාර්ථක අය වගේම විකෘති වුණු අයත් ඉන්නවා. ඉතින් එතැන ලොකු අවදානමක් තිබෙනවා. මම හිතන්නේ කායිකව මානසිකව නිරෝගීව ඉන්න උත්සාහ කරනව නම් කොස්මැටික් ගැන හිතන්න ඕන වෙන්නෙ නැහැ. සුදු වෙන්න උත්සාහ කරනවා කියන එක නම් ලෙඩක්. අපේ සමේ පැහැය මොනා වුණත් සම නිරෝගී නම් අපි ලස්සනයි. සමහර අය පියයුරු පිළිකාවලදී, දරුණු අනතුරුවලදී, උපතින්ම තොල්වල ආබාධ ඇති වූ විටදී මෙවැනි


සැත්කම් කරනවා. එවැනි අත්‍යවශ්‍ය කාරණාවලට හැර ලස්සන කියන්නේ මේකයි කියලා හිතාගෙන මෙවැනි සැත්කම්වලට යොමු වීම හරිම කනගාටුයි. අනිත් දේ තමයි මේ දේවල්වලින් ජීවිතයට කරදරයක් වෙනවා කියන අවදානම තිබෙනවා සහ මේවට සෑහෙන වියදමක් යනවා. මම හිතන්නේ මේ දේවල් තමන් තමන්ටම කරගන්න අපරාධයක්.


ඉදිරි වැඩකටයුතු ගැනත් කියමුද?


චිත්‍රපටයක රූගත කිරීම් ටිකක් තිබෙනවා. ‘රොම්බ තෑන්ක්ස්’ කියලා වේදිකා නාට්‍යයකුත් කරනවා. දැනට නම් ඉතින් ඒ දේවල් තමයි කරන්නේ.



Previous Post Next Post