ඒ වගේ සිංගල් මාම් කෙනෙක් මට හම්බවෙලා නෑ-කැලුම් ගම්ලත්

 



ඩබ්ලිව්. ජයසිරිගේ ප්‍රථම අධ්‍යක්ෂණය වූ ‘මුරුගසං’හි යශෝ ඇයයි. මේ දිනවල විකාශය වන අසංක සායක්කාර අධ්‍යක්ෂණය කරන ලද ‘සින්ටෝ’ හි මේනකා ලෙසින්ද ඇය ඔබ හමුවට පැමිණෙන්නීය. හඬකැවීම් ශිල්පිනියක් ලෙසින්ද දස්කම් පාන ඇය නමින් කැලුම් ගම්ලත්ය. මේ ඇගේ හඬයි


මුරුගසං නාට්‍යයෙන් පස්සේ සින්ටෝ සමග එකතු වුණා නේද?


මුරුගසං ටෙලිනාට්‍යයෙන් පස්සේ තව එක ටෙලිනාට්‍යයකට සම්බන්ධ වුණා. ඒක තවම විකාශය වුණේ නැහැ. ඊට පස්සේ තමයි සින්ටෝ ටෙලිනාට්‍යය සමග සම්බන්ධ වෙන්නේ. මුරුගසං ටෙලිනාට්‍යය අවසන් කරලා දැන් අවුරුද්දක් විතර වෙනවා. ඊට පසුව තමයි සින්ටෝ විකාශය වෙන්නේ.


මේ ආරාධනාව ලැබුණේ කොහොමද?


සින්ටෝ රචනය සහ අධ්‍යක්ෂණය අසංක සායක්කාරගේ. මම මුලින්ම සායක්කාර සමග වැඩ කරන්නේ මං කෙළින් මිනිහෙක් නාට්‍යයත් එක්ක. ඒ කාලයේ ඇතිකරගත්තු සම්බන්ධතාවයත් එක්ක අපි දිගටම සායක්කාර එක්ක වැඩ කරනවා. සින්ටෝ පිටපත ලියලා තියෙන්නෙත් ඔහු, නළු නිළියන් මේ චරිතවලට ගැළපෙනවා කියන අදහස ඔළුවේ තියාගෙන. මේනකා එහෙමත් නැතිනම් සිංගල් මාම්ගේ චරිතයට ලැබුණු ආරාධනාව මම හරිම ආදරයෙන් භාර ගත්තා. අනික දන්න කට්ටියක් එක්ක වැඩ කරන්න කොහොමත් ලේසියිනේ. අනික සායගේ ස්ටයිල් එකට මම ආසයි.


මේනකා ගැනත් කතා කළොත්?


මේනකා කියන්නේ ගැහැනු දරුවෙක් ඉන්න තවත් දරුවෙක් හම්බ වෙන්න ඉන්න කෙනෙක්. මේනකාට හැමදේටම වඩා වැඩිය වටින්නේ එයාගේ නිදහස. එයා අපිට නිතර දෙවේලේ හම්බවෙන කාන්තාවන්ට වඩා වැඩිය වෙනස් කෙනෙක්. එයා ප්‍රශ්න විසඳන විදිහ හරි වෙනස්. එයාට මුලින්ම ප්‍රශ්නයක් ආවොත් එයා මුලින්ම කරන්නේ ප්‍රශ්නේ මොකක්ද කියලා අවබෝධ කරගන්න එකයි. ඒකට හොඳම විසඳුම එයා ගන්නවා. මේනකා මේ මොහොතේ ජීවත් වෙනවා. එයාගේ වටේ ඉන්න ඕනෑ මිනිස්සු එයා වෙනුවෙන් ඉන්න ඕනෑ කියලා හිතන්නෙත් නැහැ. මේනකා හරි පහසුවෙන් ජීවත්වන ගැහැනියක් කියලා මට හිතෙනවා.


මේනකා වගේ චරිත සමාජය ඇතුළේ දැකලා තිබෙනවා ද?


මේනකා නැතිනම් සිංගල් මාම් චරිතය මෙහෙම එකක් කියලා කිව්වහම සහ පිටපත කියවලත් මම සායට කෝල් කරලා ඇහැව්වෙත් ‘අයියේ කවුරුහරි ඔයා දන්න කෙනෙක් ඉන්නවාද’ කියලයි. හැබැයි සායත් කිව්වේ එහෙම කෙනෙක් ලොකුවට මතකයට එන්නේ නැහැ කියලා. ඇත්තටම මම දන්න කෙනෙකුත් නැහැ. මම දන්න සින්ගල් මාම්ලා ඉන්නවා. හැබැයි ඔහොම හරි කැමැත්තෙන් බබෙක්ව හදාගෙන ඉන්න සිංගල් මාම් කෙනෙක් මම දන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ චරිතය ගොඩනඟන්න අපිට ලොකු අභියෝගයක් වුණා. අපි රඟපාන්නේ අපේ අත්දැකීම්වලින්. අපි කියවලා නරඹලා හෝ කවුරුහරි එහෙම කෙනෙක් හිටියානම් පොඩි හරි අදහසක් ගන්න හරි ලේසියි. මේනකා වගේ නැතිනම් ඒ වගේ සින්ගල් මාම් කෙනෙක් මට හම්බවෙලා නැහැ. එයාගේ ප්‍රශ්න කිසිම වෙලාවකවත් එයා ප්‍රශ්නයක් කරගත්තේ නැහැනේ. කතාව ඉදිරියට බලනකොට තේරෙයි මේකත් එක්ක ජීවත්වෙන්න කොච්චර ලේසි ද කියලා.


ඇත්තටම මේ චරිතයට කැමැති ද?


අනිවාර්යයෙන්ම කැමැතියි. මොකද මම හිතන්නේ බහුතර ගැහැනු ඇතුළේම, බහුතර අම්මලා ඇතුළේම අදහසක් තියෙනවා, ‘අනේ තනියෙන් ළමයෙක් හදාගෙන ඉන්න තියෙනවානම්’ කියලා. පෞද්ගලිකව මටත් හිතෙනවා තනියම බබෙක් එක්ක ඉන්න පුළුවන්නම් හොඳයි කියල. එහෙම හිතුණට ඒවා ප්‍රයෝගිකව කරන්න පුළුවන් දේවල් නෙමෙයි. මට හිතෙන විදිහට මම එච්චර ශක්තිමත් නැහැ. ඒ වුණාට පෞද්ගලිකව මම මේනකා කියන චරිතයට කැමැතියි. මේනකා වගේ ගැහැනුන් එක්ක ජීවත් වෙන්න ලේසියි. මොකද කියන්න තියෙන දෙය කෙළින් කියනව, සමාජයට බයේ ජීවත්වෙන්නෙ නැහැ.


කැලුම් ගම්ලත් මේනකාට සමාන ද?


මම හිතන්නේ මාත් අම්මා කෙනෙක්. මේනකත් අම්මා කෙනෙක්. ඊට අමතරව මම සායගෙන් මේනකා මොන වගේද කියලා අහද්දී සාය කියන්නේ උඹම තමයි කියලා. මේනකා හැම වෙලාවේම මේ මොහොතේ ජීවත් වෙන්නේ. කැලුම් ගම්ලත් උත්සාහ කරන්නේ මේ මොහොත සතුටින් ගෙවන්න. අපේ කාන්තාවො බහුතරයක් රණ්ඩුවෙන්න ආසයිනේ. ඒ කියන්නේ රණ්ඩුවත් නැතිනම් කෑවේ නෑ වගේනේ. ඒ අතුරින් මම රණ්ඩු වෙන්න ආසා නැහැ. විශේෂයෙන් මම හස්බන්ඩ් එක්ක රණ්ඩු වෙන්නෙ නෑ. රණ්ඩු වෙන්න හේතු මම ඉස්සරහට ගෙනියන්නේ නැහැ. මම ආගිව් කරන්නේ නැහැ. මට කියන්න තියෙන දේ කිව්වා එතැනින් එහාට ඉවරයි. අද රෑට රණ්ඩු වුණොත් හෙට උදේට ගෙනියන පුරුද්දක් මට නැහැ. ඉතින් මේනකාත් එහෙමයි. හැබැයි මම තරයේ කියනවා මේනකා තරම් මගේ හිත ශක්තිමත් නැහැ.


ඔබව නිතරම දකින්න නොලැබෙන්නේ ඇයි?


මගේ වෘත්තිය රංගනය නොවන හින්ද. මම එකට වෙලාව හදාගන්න ඕනෑ. ඉතින් මගේ පෞද්ගලික ජීවිතයේ හැමදෙයක්ම කළමනාකරණය කරගෙන තමයි වැඩක් භාර ගන්නේ. මම විශ්වාස කරනවා මම කරන කැප කිරීමට මට හරි වටිනාකමක් හම්බවෙනවා නම් මම නිර්මාණයකට සම්බන්ධ වෙනවා, වගේම ඒ නිර්මාණයට සියයට සියයක් කැමැත්තෙන් තමයි මම සම්බන්ධ වෙන්නේ. ඉතින් හැමදෙයක්ම බලාගෙන නිර්මාණයකට දායක වෙන හින්දා වෙන්න ඇති මම නිර්මාණවලට දායකත්වය ලබාදෙනවා අඩුවෙලා තියෙන්නේ.


වෘත්තීය ජීවිතය එක්ක කලාව කරගෙන යන්න පුළුවන්ද?


වෘත්තීය ජීවිතය, කලාව සහ පෞද්ගලික ජීවිතයත් එතැනට එනවානේ. ඉතින් ඔය තුනම කළමනාකරණය කර ගැනීම ටිකක් ලොකු අභියෝගයක්. අභියෝගවලට කැමැති හින්දම ඒක කළමනාකරණය කරගන්න බලනවා. වෘත්තිය කියලා මම කලාව අතහරින්නත් සූදානමුත් නැහැ. කලාව කියලා ඒකෙන් පෞද්ගලික ජීවිතයට බලපෑමක් ඇති වෙනවානම් මම ඒකටත් කැමැති නැහැ. ඒක හින්දා මම මේ තුනම බැලැන්ස් කරගන්න ට්‍රයි කරනවා. ඉතින් මගේ වටේ ඉන්න හැමදෙනාමත් මට උදව් කරනවා. ඉතින් ඒ උදව්වෙන් වෘත්තිය, පෞද්ගලික සහ කලා ජීවිතය කළමනාකරණය කරගෙන යන්න උත්සාහ කරනවා.


දිනේෂ් විතාන





Previous Post Next Post