වසර 16 ට කලින් සිනමාව හරහා කලා ක්ෂේත්රයට පිවිසුන උදාරි වර්ණකුලසූරියව අදටත් ප්‍රේක්ෂකයෝ අතර වැඩිපුර ප්රසිද්ධවෙලා ඉන්නෙ සිනමා නිළියක් විදිහට. අඛණ්ඩව වසර 16 ක් පුරා තරුවක් විදිහට දිදුලන උදාරිගේ නවතම චිත්‍රපටය ශ්‍රී සිද්ධා මේ දවස්වල සිනමා ශාලාවල තිරගත වෙනවා. ඉතින් ඒ ගැන වගේම ඇයගේ අලුත් විස්තර දැනගන්න උදාරි එක්ක කතා කරන්න අපි හිතුවා.
උදාරි රංගනයෙන් දායකවුණ අලුත්ම චිත්‍රපටය ශ්‍රී සිද්ධා ගැන අදහස මොකක්ද?
ශ්‍රී ලංකා වංශ කතාවේ ශ්‍රේෂ්ඨ රජතුමෙකු වුණ මහා විජයබාහු රජතුමාගේ ජීවිත කතාව සහ රට එක්සේසත් කිරීම පිළිබඳ සත්‍ය කතාව තමයි ශ්‍රී සිද්ධා නමින් රියර් අද්මිරාල් සරත් වීරසේකරයන් විසින් සිනමාවට නගලා තියෙන්නෙ. සත්‍ය කතාවක් වුණ‘ ශ්‍රී සිද්ධා’ යුද සටන්, අංගම්පොර සටන්, ත්‍රාසය ආදරය සහ හාස්‍යයෙන් පිරි පවුලේ සැමට එකට ඉඳගෙන නරඹන්න පුළුවන් ලස්සන ඓතිහාසික චිත්‍රපටයක්.
ශ්‍රී සිද්ධා චිත්‍රපටයේ උදාරිගේ චරිතය ගැන කියමුද?
විජයබාහු කුමාරයාගේ පළමු ප්‍රේමයේ හිමිකාරිය වුණ සුමනා කුමරියගේ චරිතය තමයි මම රඟපාන්නෙ. විජයබාහු කුමාරයට ඕන වෙනවා සුමනා කුමරියව සරණපාවා ගන්න. හැබැයි සුමනා කුමරියව සරණපාවා ගත්තොත් විජයබාහු කුමාරයට රාජ්‍යත්වයට පත්වෙලා රට එක්සේසත් කරන්න බැරිවෙනවා. ඒ නිසා රට වෙනුවෙන් සුමනා කුමරිය ආදරය පරිත්‍යාග කරනවා.
දිනෙත් එක්ක රඟපාපු අත්දැකීම කොහොමද?
මීට කලින් මම දිනෙත් එක්ක ඓතිහාසික ටෙලි නාට්‍යයක රඟපෑවා. දෙවෙනි වතාවටත් දිනෙත් එක්ක ඓතිහාසික චිත්‍රපටයක් රඟපෑම ඇත්තටම භාග්‍යයක්. දිනෙත් හොඳ පෞරුෂයක් තියන දක්ෂ නළුවෙක්. විජයබාහු රජතුමාගේ චරිතයට ඔහු හොඳට ගැළපෙනවා. දිනෙත්ගේ හැකියාව සහ පෙනුම නිසා මට සුමනා කුමරියගේ චරිතය හොඳට රඟපාන්න පුළුවන් වුණා.
ශ්‍රී සිද්ධා උදාරිගේ කීවෙනි චිත්‍රපටයද?
2009 වසරේ පායා එන්න හිරු සේ චිත්‍රපටයෙන් තමයි මම රංගන ක්ෂේත්රයට ආවෙ. එතැන් පටන් මම චිත්‍රපට රාශියක රඟපෑවා. හැබැයි ඒ සමහරක් චිත්‍රපට තවම තිරගත වෙලත් නැහැ. රඟපාපු චිත්‍රපට අතරින් චිත්‍රපට 12 ක් මේ වෙද්දි තිරගත වෙලා තියනවා. ශ්‍රී සිද්ධා 13 වෙනි චිත්‍රපටය.
එක චරිතයකට කොටු වෙන්නෙ නැතුව චරිතාංග නිළියක් වුණේ කොහොමද?
ලැබෙන හැම නිර්මාණයක්ම භාරගන්නෙ නැතුව මට දෙයක් කරන්න පුළුවන් වගේම ප්‍රේක්ෂකයන්ට මාව විශේෂ විදිහට දැනෙන නිර්මාණ නිතරම භාරගන්නෙ. ඒ භාරගන්න නිර්මාණවල මට ලැබිලා තියන චරිතය හොඳට අධ්‍යයනය කරලා පුළුවන් තරම් ඒ චරිතයේ තියන ලක්ෂණ රංගනයෙන් පෙන්නන්න උත්සාහ කරනවා. ඒ විදිහට චරිත අතර විවිධත්වය සහ අසමානකම් පෙන්නන්න මම නිතරම උත්සාහ කරනවා.
මෑතක ඉඳලා ටෙලි නාට්‍යවල වැඩිය පේන්න නැහැ...
වැඩිපුර සිනමා නිර්මාණ වලට කාලය වෙන්කරන්න සිදුවීම සහ මගේ දියණිය විදෙස් ගතවෙලා ඉන්න නිසා ඇයව බලන්න නිතර යන්න වෙන නිසා මෙගා ටෙලිනාට්‍යයවලින් ඈත් වුණා. ඒ වුණත් මෙගා නොවන කෙටි ටෙලි නාට්‍යවලට මම සම්බන්ධ වෙනවා. ඒ විදිහෙ කෙටි ටෙලි නාට්‍යයක් වුණ අළු පාට දේදුණු රූගත කිරීම් කරලා අවසාන කළා. ඒ වගේම රොෂාන් රවින්ද්‍ර සමග රංගනයෙන් දායක වුණ ටෙලි නාට්‍යකටත් සම්බන්ධ වුණා.
වැඩිපුර කැමැති සිනමාවටද? ටෙලි නාට්‍යවලටද?
වැඩිපුර කැමැති අම්මටද තාත්තටද කියලා ඇහුවා වගේ ප්‍රශ්නයක් ඒක. මම මුලින්ම කලා ක්ෂේත්රයට ආවේ පායා එන්න හිරු සේ චිත්‍රපටයෙන්. ඒ වගේම බොඳ මීදුම් ටෙලි නාට්‍යයෙන් ප්‍රේක්ෂකයෝ අතර මම ගොඩක් ප්‍රසිද්ධ වුණා. සිනමාවෙන් සහ ටෙලිනාට්‍යවලින් ප්‍රේක්ෂක ආදරය සහ සම්මාන ලබලා තියනවා. ඉතින් ඒ නිසා දෙකටම කැමැතියි.
රංගනයෙන් දායක වුණ චිත්‍රපට රැසක් ලබන අවුරුද්දේ තිරගත වෙන්න තියනවා කියලා ආරංචියි..
ඔව්. රඟපාපු චිත්‍රපට පහක් විතර ලබන අවුරුද්දෙ තිරගත වෙන්න තියනවා. ඒ අතරින් ජැක්සන් ඇන්තනී අධ්‍යක්ෂණය කරපු එකගෙයි සොකරි චිත්‍රපටය තමයි මුලින්ම තිරගත වෙන්න තියෙන්නෙ. එතුමාගේ අධ්‍යක්ෂණය යටතේ රඟපාපු එකගෙයි සොකරි වගේ විශිෂ්ට චිත්‍රපටයක් එතුමා නොමැතිව තිරගත කරන්න සිදුවීම ඇත්තටම ලොකු දුකක්.
කලා ක්ෂේත්රයේ ආපු දුර ගැන ආපහු හැරිලා බැලුවොත්..
මේ වෙද්දි මම කලා ක්ෂේත්රයට ඇවිත් අවුරුදු 16 ක් විතර වෙනවා. ලංකාව තුළ නළුනිළියො කොච්චර හිටියත් මගේ හැකියාවන් හොඳට ඉදිරිපත් කරන්න පහුගිය අවුරුදු 16 තුළ මට පුළුවන් වුණා. ඒ වගේම පහුගිය අවුරුදු 16 තුළ ප්‍රවීණ අධ්‍යක්ෂකවරු ප්‍රවීණ නළු නිළියො එක්ක වැඩ කරන්න ලැබුණා. නිළියක් විදිහට බලාපොරොත්තු වන ප්‍රේක්ෂක ආදරය සහ සම්මාන සියල්ල ලැබුණා. ඒ විදිහට මේ තාක් ආපු දුර ගැන සියයට සියයක් තෘප්තිමත් වෙනවා.
තරුණ වයසෙදි කලා ක්ෂේත්රයට ඇවිත් අද වෙද්දි සාර්ථක නිළියක් වුණ කෙනෙක් විදිහට ගෑනු ළමයින්ට රංගන ක්ෂේත්රය සුදුසු නැහැ කියන මතය ගැන මොකද හිතන්නෙ?
ගෑනු ළමයින්ට කලා ක්ෂේත්රය සුදුසු නැහැ කියලා මතය ඇතිවෙලා තියෙන්නෙ ආරක්ෂාව සම්බන්ධයෙන් ඇතිවන ගැටලු නිසා. ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලු කලා ක්ෂේත්රයේ වගේම අනිත් ක්ෂේත්රවලත් අඩු වැඩි වශයෙන් තියනවා. කලා ක්ෂේත්රය ගැන මෙතනදි වැඩිපුර කතාවෙන්නෙ ප්‍රසිද්ධ වෘත්තීයක් නිසා. හැම වෘත්තීය ක්ෂේත්රයකදීම ගෑනු ළමයි දැනගන්න ඕන තමන්ගෙ ආරක්ෂාව සලසගන්න. අයුතු යෝජනා ආවා වුණත් තමන්ගෙ කැමැත්තක් අනුබලදීමක් නැත්තන් කාටවත් තනි අතින් අත්පුඩි ගහන්න බැහැ. ඒ නිසා කෙටි පාරවල් වලින් ඉස්සරහට යන්න උත්සාහ කරන්නෙ නැතුව ආරක්ෂා සහිතව හරි විදිහට හැකියාවෙන් ක්ෂේත්රයේ ඉස්සරහට යනවා නම් කලා ක්ෂේත්රය ගෑනු ළමයින්ට අනාරක්ෂිතයි කියන කතාව බොරු වෙනවා.
උදාරිගේ දුව රංගන ක්ෂේත්රයට එන්න ඕන කිව්වොත්?
මගේ දෝණීට කිසිම දෙයක් සම්බන්ධයෙන් බල කරන්නෙවත් වළක්වන්නෙවත් නැහැ. කලා ක්ෂේත්රයට ඇය එන්න ඕන කිව්වොත් මම ඒ වෙනුවෙන් සම්පූර්ණ සහයෝගය දෙනවා.
මවක් වුණත් තරුණ චරිතවලට ගන්න නිළියක් විදිහට ලස්සනට ඉන්නෙ කොහොමද?
හිතේ බරක් නැතුව සැහැල්ලුවෙන් සරලව අනුන්ට ඊර්ෂ්‍යා කරන්නෙ නැතුව ජීවත්වෙන කෙනෙක් මම. ඉතින් හිත පිරිසුදු නිසා ඇඟත් ලස්සන විදිහට තරුණකමට රැකගෙන ඉන්නවා.
රූපලාවණ්‍යය පිළිබඳ උදාරි පහුගිය දවස්වල කියපු දෙයක් සමාජ මාධ්‍යවල ආන්දෝලනයකට ලක්වුණා..
ඔව්. එක්තරා යූටියුබ් සම්මුඛ සාකච්ඡාවකදි මම කිව්වා රූපයේ ලස්සන වෙනුවෙන් මම කිසිම රූපලාවණ්‍ය සත්කාරයක් කරන්නෙ නැහැ ස්වභාවිකවම මාව ලස්සන වෙනවා කියලා. මම කිව්වෙ බොරු කියලා සමාජ මාධ්‍යවල ගොඩක් දෙනෙක් මට විරුද්ධව මඩ ගහලා තිබුණා. රූපලාවණ්‍ය වෙළෙඳ දැන්වීමකට රංගනයෙන් පෙනී හිටපු දර්ශන පවා උපයෝගී කරගනිමින් මම කිව්වෙ බොරු කියලා සමහරු ඔප්පු කරන්න උත්සාහ කළා. හැබැයි තාමත් මම කියන්නෙ රූපය ලස්සන කරගන්න කිසිම සැලුන් එකකට යන්නෙවත් රූපලාවණ්‍ය සත්කාර කරගන්නෙවත් නැතුව ස්වභාවිකවම ලස්සන වුණ රූපයක් මට තියෙන්නෙ කියලා.
උදාරි සරාගීකම නඩත්තු කරනවද?
ගැහැනියක් වුණාම යම්කිසි හැඩයකට ඇඟ පවත්වගෙන යන්න ඕන වගේම ඇගේ හැඩයට ගැළපෙන විදිහට විලාසිතා කරන්න ඕන කියලා මම හිතනවා. මම මාව නඩත්තු කිරීමක් විදිහට ඒ දේවල් කරනවා මිසක විශේෂයෙන් සරාගී වෙන අරමුණකින් කරන දේවල් නෙවෙයි.
විවාහ වෙලා මවක් වුණාම විලාසිතා සීමා කරන්න ඕන කියලා සමාජ අදහසක් තියනවා..
මම ඒ අදහස පිළිගන්නෙ නැහැ. තරුණ කාලෙ වගේම විවාහ වෙලා මවක් වුණාම තමන් කැමැති විදිහට විලාසිතා කරලා සතුටින් ඉන්න ඕන කියලයි මම විශ්වාස කරන්නෙ. හැබැයි ඒ දේවල් ස්වාමිපුරුෂයගේ සහ දරුවන්ගේ ගරුත්වයට හානි වෙන්නෙ නැති විදිහට කරන්නත් කාන්තාවෝ දැනගන්න ඕන. සාමාන්‍යයෙන් මම දිග ඇඳුම්කොට, ඇඳුම් සහ ටැටූ විලාසිතා කරනවා. හැබැයි ඒ දේවල් කරනකොට නිතරම මතක තියාගන්න දෙයක් තමයි මම ශ්‍රී ලාංකික කාන්තාවක් සහ විවාහ වෙලා දියණියක් ඉන්න අම්මා කෙනෙක් කියලා.