මම මගේ හැමදේම සමාජයට කියාන කෙනෙක් නෙවෙයි-දිලූෂි හංසිකා

 


මේ දිනවල විකාශය වන කා අතරත් ජනප්‍රිය රොකී ටෙලි නාට්‍යයේ හැඩකාර දඟකාර නේහාගේ චරිතයට පණ පොවන්නේ ඇයයි. නිරන්තරයෙන් සුන්දර සිනහවකින් මුව සරසා ගත් ඇය සුරූපී නවක පරපුරේ රංගන ශිල්පිනියක්. මෙවර හදගැස්මේ මේ අපූරු කතාබහ හැඩ කළ ඇය නමින් දිලූෂි හංසිකා. මේ දිනවල ඔබේ කාලය ගතවන්නේ කෙසේද?


“මේ දවස්වල මම රංගන දායකත්වය ලබා දෙන ටෙලි ඩ්‍රාමාස් දෙකක් ටෙලිකාස්ට් වෙනවා. ඒ තමයි ‘සැලෙනා නුවන්’ සහ ‘රොකී’ කියන ටෙලි ඩ්‍රාමාස් දෙක. ඉතින් ඒ ඩ්‍රාමාස් දෙක එක්ක ටිකක් කාර්යබහුල වෙලා ඉන්නවා. ඒ අතරේ විවේකී වෙලාවක් ලැබුණම කොහේ හරි ට්‍රිප් එකක් එහෙම ගිහින් එනවා.”


‘රොකී’ ටෙලි නාට්‍යයේ ඔබ රංගනයෙන් දායක වන චරිතය ගැන කතා කරමු?


“ඒ චරිතයේ නම නේහා. මම හරිම ආසාවෙන් කරන කැරැක්ටර් එකක්. තව ඉස්සරහට ‘නේහා’ තව තව වෙනස් වන විධිය බලන්න පුළුවන්. ඉතින් මට ලැබුණු හරිම වටිනා අවස්ථාවක් විධියට තමයි මම ඒ කැරැක්ටර් එක දකින්නේ. මම මීට කලින් කරලා නැති විධියේ කැරැක්ටර් එකක් තමයි ‘නේහා’ කියන කැරැක්ටර් එක. ඉතින් මම ඒ චරිතය ලස්සනට කරනවා ඇති කියලා හිතනවා.”


නේහාගේ චරිතයට ලැබෙන ප්‍රතිචාර ගැනත් කතා කරමු?


“හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ගොඩාක් අය නේහා කියලා මට කතා කරනවා. මගේ ඇක්ෂන් ගැන, ඒ චරිතය ගැන මට කියනවා. ඉතින් හරි දඟකාර චරිතයක් නේහා කියන්නේ. ටෙලි නාට්‍යයේ මගේ පවුල් පසුබිම, මගේ යහළුවෝ වගේ දේවල් එක්ක බලද්දී මම මීට පෙර කරපු චරිතවලට වඩා මේ චරිතය ටිකක් වෙනස්. ඉතින් ඒ නිසා ඇත්තටම මට හරිම ලස්සන ප්‍රතිචාර හම්බ වෙනවා.”


රංගනයට ඇකඩමියක හැදෑරීමක් අවශ්‍යමද?


“කෙනකුට උපතින්ම ලැබුණු දක්ෂතාවක් තිබෙන්න පුළුවන්. නමුත් අපි ඒ දක්ෂතාව ඔපමට්ටම් කරගන්නට නම් අනිවාර්යෙන්ම කිසියම් හැදෑරීමක් කරන්න ඕනෑ. සමහර වෙලාවට මට තේරිලා තිබෙනවා මම තව දේවල් ඉගෙන ගන්න ඕනෑ කියලා. මම හරිම ආසයි අලුත් දේවල් ඉගෙන ගන්න. රඟපෑමත් සමඟ තවත් බොහෝ දේ සම්බන්ධවෙලා තිබෙනවානේ. කැමරාකරණය, ආලෝකකරණය, මේකප් ගැන වගේ විවිධ පැතිකඩ ගැනත් අපි ඉගෙන ගන්නවා කියන්නේ රංගනයේ දී අපේ චරිතය වැඩිදියුණු කරගන්නත් ඒ දේවල් ප්‍රයෝජනවත් වෙනවා කියන එක. ඉතින් රංගනය ගැන ඉදිරියටත් ඉගෙන ගන්න මම හරිම කැමැතියි.”


ඕනෑම ක්ෂේත්‍රයකදී ජනප්‍රියත්වයත් සමඟ ජනප්‍රිය පුද්ගලයන්ට හොඳ ප්‍රතිචාර වගේම චෝදනාත් ලැබෙන්න පුළුවන්. ඒ ගැන ඔබේ අදහස?


“කෙනකු කරන දෙයකදී ටිකක් ප්‍රසිද්ධයි කියලා සමාජයේ පිළිගැනෙන කෙනකු කරන හොඳ හෝ නරක හෝ දෙයකට සමාජයේ දෙන අගය ටිකක් වෙනස් වනවා. හැමෝම දන්න කියන ටිකක් ප්‍රසිද්ධ ගැහැනු ළමයකු වැරැද්දක් කළොත් ඒක ටිකක් හයිලයිට් වෙනවා වැඩියි. සමහර වෙලාවට හොඳ දෙයක් හයිලයිට් වෙන්නේම නැති වෙන්න පුළුවන්. මම මගේ හැමදේම සමාජයට කියන කෙනෙක් නෙවෙයි. මම දන්නව මගේ ලිමිට් එක කොතැනද තිබෙන්නේ කියලා. මම හිතනවා අපි හැමෝටම ලිමිට්ස් තිබෙන්න ඕනෑ කියලා. සමාජය වැඩිපුර දන්න කියන ප්‍රසිද්ධ කෙනකු නම් අනිවාර්යයෙන්ම පෞද්ගලික ජීවිතයේ ලිමිට්ස් ගැන හිතන්න ඕනෑ කියලා.”


ඔබේ සහකරුගෙන් ඔබේ රංගන කටයුතුවලට ලැබෙන සහයෝගය කොහොමද?


“බොහොම හොඳ සහයෝගයක් ලැබෙනවා. කිසිම දෙයකට එපා කියල අනවශ්‍ය සීමා පනවලා නැහැ. ඒ වගේම මම විශ්වාස කරනවා මම මෙතරම් කාලයකට කිසිම විධියේ වැරැදි දේවල්, මගේ නමට හානි වන දේවල් කරල නැහැ කියලා. ඉතින් මම මගේ නිදහස හරි විධියට පාවිච්චි කරලා තිබෙනවා. ඔහුත් බොහොම නිදහස් මානසිකත්වයක් තිබෙන කෙනෙක් සහ පුළුල්ව සමාජය දකින කෙනෙක්. ඔහු මාව දකිනකොට, දැන හඳුනා ගන්නකොට මම රංගන ශිල්පිනියක් කියලා දැනගෙන හිටියෙ නැහැ. නමුත් ඔහු කලාවට ආදරය කරන ගීත ගායනයට ආසා කෙනෙක්. ඔහුත් මේ වැඩ කටයුතුවලට ආස කෙනෙක්. අපි ෂූටින් ගියපු වෙලාවට කැමරාකරණය, සංස්කරණය වගේ දේවල් ගැන, අපි කරන දේවල් ගැන හරි සාවධාන ව ඔහු බලාගෙන, අහගෙන ඉන්නවා. ඇක්ට්‍රස් කෙනෙක් සමඟ විවාහ වන කෙනකු වුණාම ඔහුගේ මනස පුදුමාකාර විධියට හැමදේම සනාථ කරන තැනට ගෙන එන්න වෙනවා. ඉතින් පටු විධියට දකින කෙනකු වුණොත් ඒ ගැහැනු ළමයාගේ ගමන එතැනින් නවතින්න පුළුවන්. ඉතින් ඔහු මට පුදුමාකාර සහයෝගයක් ලබා දෙනවා. එහෙම සහයෝගයක් දෙන කෙනකු ලැබුණ එක හරි වටිනවා කියලා හිතනවා.”


රංගන ශිල්පිනියක් විධියටත් තරුණියක් විධියටත් විලාසිතා ගැන ඔබේ අදහස?


“අපි හැමෝම ෆැෂන් කරන්න ආසයි. අපි ඒ දේවල් දකින විධියත් එක්ක තමයි ප්‍රශ්න වෙන්නේ. අපි දකින දෙයක් හොඳයි ඒක ලස්සනයි කියලා හිතුණොත් අපි ඒ දේ කරන්න පෙලඹෙනවා. නමුත් ඒක අපට ගැළපෙන්නේ නැතිවෙන්න පුළුවන්. ඒ කියන්නේ තව කෙනකුට හිතෙන්න පුළුවන් ඒ දේ ගැළපෙන්නෙ නැහැ කියලා. නමුත් අපේ ආසාව තිබෙනවා නම් ඒ දේ හොඳයි කියලා හිතෙනවා නම් ඒ දේවල් කරාට වැරැද්දක් නැහැ කියලා හිතන තැන තමයි මම නම් ඉන්නේ.”


ඔබගේ අධ්‍යාපන කටයුතුත් සමඟ ඉදිරියේදී විදේශ ගත වීමට බලාපොරොත්තුවක් තිබෙනවාද?


“ඔව්. මම මගේ එන්ගේජ්මන්ට් එක එහෙම ගත්තෙත් මගේ මාස්ටර්ස්වලට යන්න ඔෆර් එකක් ලැබුණ නිසා. අපි ඒ දේ ටිකක් කල් දැම්මා. මොකද මගේ ටෙලි ඩ්‍රාමා එක පටන් ගත්ත නිසා. විදේශගත නොවී හරි මගේ මාස්ටර්ස් එක කරන එක තමයි මගේ අරමුණ සහ ඉලක්කය. දන්නෙ නැහැ ඉදිරියේදී කොයි විධියට දේවල් වෙනස් වේවිද කියලා. නමුත් මම බොහොම ආසයි දේවල් ඉගෙන ගන්න. ලංකාවේ හෝ ලෝකයේ කොහේ තැනක හිටියත් මම ආස දේවල් ඔක්කොම කවර් කරගන්නවා කියන එක තමයි මගේ ඉලක්කය. ඉතින් අපි බලමු මොකද වෙන්නේ කියලා. මමත් හරියටම දන්නේ නැහැ කියන්න. ඉතින් හොඳ දෙයක් වෙයි කියලා තමයි මම හිතන්නේ.”


ඉදිරියේදී රංගනයට අමතරව වෙනත් ක්ෂේත්‍රයක් වෙත යොමුවීමට අදහසක් තිබෙනවාද?


“ඇත්තටම මම ආසයි ගුරුවරියක් වෙන්න පුළුවන් නම්. ගුරුවරියක් වෙනවා කියන්නේ ලොකු වගකීමක්. ඒකට මම හරි ආසයි. කවදා හරි දවසක ඒ වගේ දෙයකට මට යොමු වෙන්න පුළුවන් වුණොත් අනිවාර්යයෙන්ම මම ඒ සඳහා යොමු වෙයි.”


ඉදිරියේදී ඔබ රංගනයෙන් දායක වීමට කැමැත්තෙන් පසුවන චරිතයක් ගැන අදහසක් තිබෙනවාද?


“මම හරිම ආසයි මෙහෙණින් වහන්සේ නමකට රංගනයෙන් දායක වෙන්න. එහෙම චරිතයක් කරන්න පුළුවන් වුණා නම් කොච්චර හොඳද කියලා මට හිතුණ අවස්ථා තිබෙනවා.”


ඔබේ ඉදිරි වැඩකටයුතු ගැනත් මතක් කළොත්?


“ඉදිරියට මේ කරගෙන යන ටෙලි ඩ්‍රාමාස් ටිකේ වැඩකටයුතු හොඳට කරගෙන යන එක තමයි දැන් මගේ ලොකුම ටාගට් එක. තව පොඩි පොඩි ප්ලෑන්ස් ටිකක් තිබෙනවා. ඒ ගැනත් ඉස්සරහට කියන්නම්.”


රුවිනි අමරකෝන්



Previous Post Next Post