එන්න පරක්කු වුණාට මින්නු කියන්නෙ කාලෙට ගැළපෙන චිත්‍රපටයක්-මේනකා පීරිස්




කෙටි කලක් රංගනයෙන් දුරස්ව සිටි මේනකා පීරිස් මේ දිනවල තිරගත වන  මින්නු සිනමා පටයත් සමඟම නැවතත්  ප්‍රේක්ෂකයා අතරට පැමිණ තිබෙනවා. දක්ෂ රංගන ශිල්පිනියක් මෙන්ම අති දක්ෂ නර්තන ශිල්පිනියක්ද වන ඇය කලාවෙන් අෑත්වී සිටි කාලය තුළදී පවා ප්‍රේක්ෂක ආදරය ලැබූ අයෙක්. ජීවිතේ සුන්දරම අවධිය ගෙවමින් සුරතල් පුංචි පුතකුට මවක්  වී සිටින ඇය තම රංගන ජීවිතය සහ පුංචි පුතා සමඟ ගත කරන කාලය පිළිබඳව මෙවර අදහස් එක් කළේ මෙලෙසින්. 


වර්තමාන කලා කටයුතුවලින්ම කතාව පටන් ගමු?


පසුගිය කාලයේදී නම් මම ටිකක් කලා කටයුතුවලින් බැහැර වෙලා හිටියේ. ඒ මගේ පුතාගේ වැඩකටයුතුත් එක්ක. අවුරුදු දෙකහමාරකට පමණ පසුවයි මගේ නිර්මාණයක් එළියට ඇවිත් තිබෙන්නේ. කාලයකට පෙර මම රංගනයෙන් දායක වුණු මින්නු චිත්‍රපටය මේ වන විට ප්‍රේක්ෂකයන් අතරට ඇවිත් තිබෙනවා. ඉතින් ඒ වෙනුවෙන් තමයි මේ දිනවල කාලය වෙන් කරලා තිබෙන්නේ. එහි ප්‍රචාරණ කටයුතුවලට හැකි ලෙස දායක වෙනවා.


කොහොමද මින්නුට  ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර?


තවම චිත්‍රපටය තිරගත වෙන්න පටන් ගත්තා විතරයි. ඒ නිසා තවම ප්‍රේක්ෂක ප්‍රතිචාර ගැන හිතන්න අපහසුයි. මංගල දර්ශනයේදී ලැබුණු ප්‍රතිචාර සහ මට පෞද්ගලිකව දැනෙන ආකාරයට සමස්තයක් ලෙස ඒක ලස්සන චිත්‍රපටයක් වගේම හරවත් චිත්‍රපටයක්. ඒ නිසාම ප්‍රේක්ෂකයන් බොහෝ දෙනකුගේ ප්‍රේක්ෂක ආකර්ෂණය මේ නිර්මාණයට ලැබෙනවා. අවුරුදු දහයහමාරකට පසුව එළියට එන චිත්‍රපටයක් ගැන මිනිසුන්ගේ හිතේ කොහොමත් කුතුහලයක් ඇති වෙනවා. බොහෝ කාලෙකට කලින් නිර්මාණය වුණත් වර්තමානයට ගැළපෙන ලෙස මින්නු නිර්මාණය සැකසී ඇති නිසා එය අතිශය විශිෂ්ට ගණයේ චිත්‍රපටයක්.


සිනමා නිර්මාණ තිරගත කරවීමට අතිශය දීර්ඝ කාලයක් බලා සිටීමට සිදුවීම එහි නිර්මාණකරුවන්ට හා ශිල්පීන්ට බලපාන්නේ කොහොමද?


චිත්‍රපටයක් කියන්නේ ටෙලි නිර්මාණයකට වඩා බොහෝ වෙනස් දෙයක්. ඒ කාලයේ ප්‍රවීණයන්ට ලැබුණු අවස්ථාවන් වර්තමානයේ අපට ලැබෙන්නේ 1%ක් වගේ. එදා චිත්‍රපට විශාල ප්‍රමාණයක් බිහිවුණා. ඒ නිර්මාණ තවමත් අපේ හදවත්වල තිබෙනවා. ඉතින් අද කාලේ චිත්‍රපට බිහිවන්නේ බොහොම අතළොස්සයි. ඒවාත් තිරගත වන්නට කල් ගතවීමෙන් සිදුවන්නේ කලාකරුවාගේ අවස්ථා ගිලිහී යෑම.


රේණුකා බාලසූරිය  අක්කා මින්නු මංගල දර්ශනය දා පවසනවා මට මුදල් ලැබෙන්න පරක්කු වුණු එක වෙනම කතන්දරයක්. ඒකට නෙවෙයි මට දුක තියෙන්නේ. මෙහි රඟපාපු මේනකාට, හර්ෂට, පොඩි දුව මින්නුට සිනමාවෙන් ලැබෙන්න තිබුණු බොහෝ අවස්ථාවන් ගිලිහුණා කියලා.


ඇත්තටම මෙය කලාවේ තිබෙන අභාග්‍යයක්. කලාකරුවන්ට නිසි ඇගයීමකුත් නැහැ. නිසි වටිනාකමකුත් නැහැ. සාපේක්ෂව කලාව තුළ බොහෝ ගැටලු තිබෙනවා.


කලාව ප්‍රමිතිගත නොවීම නිසා බොහෝ ගැටලු මතුවෙනවා. ප්‍රවීණ රංගන ශිල්පිනියක් ලෙස ඔබ මෙය දකින්නේ කොහොමද?


ඉන්දියාවේ සිනමාව මේ තරම් දියුණු වෙලා තිබෙන්නේ ඔවුන්ට තිබෙනවා ඔවුන්ගේම නීතිරීති සහ රෙගුලාසි මාලාවක්. අපේ කලාව තුළ මේ කිසිවක් නැහැ. චිත්‍රපටයක් කරන්න මිල මුදල් තීරණය කරන්නවත් අපට බැහැ. ලංකාවේ බොහෝ නිර්මාණ කරන්න උත්සාහ කරන්නේ අඩු මුදලටයි.


ඒ කියන්නේ දක්ෂ කෙනෙක් ගන්නේ නැහැ මුදලක් දීලා. ඒ වෙනුවට දක්ෂතාව අඩු නවකයෙක් ගන්නවා. ඒ කාලයේ ප්‍රවීණ කලාකරුවන් භුක්ති විඳපු දේවල්වලින් සුළු ප්‍රමාණයක් හෝ විඳින්න අවස්ථාවක් අපට නැහැ. අලුතෙන් කලා ක්‍ෂේත්‍රයට එන පිරිසට මේ දේවල් නැතිවෙලාම යන්න පුළුවන්.


ඇත්තටම කලාව කියන්නේ අභාවයට යන්න ඕන දෙයක් නෙවෙයි. අපේ රටේ ගායක ගායිකාවන් එක්වී තරමක් දුරට නීතිරීති මාලාවක් ගොඩනඟාගෙන තිබෙනවා. ඇයි රංගන ශිල්පීන් ලෙස අපට ඒ දේ කරන්න බැරි. මෙය කතා කළ යුතුම මාතෘකාවක්. මට නම් හිතෙන්නේ මේ වෙනුවෙන් නීතිරීති ගොඩනැඟිය යුතු කාලයක් තමයි මේ එළැඹිලා තිබෙන්නේ.


ඔබ බොහෝ කාලයක් රංගනයෙන් අෑත් වෙලා ඉඳලා සම්මානයක් සමඟයි නැවත ප්‍රේක්ෂකයන් අතරට එන්නේ ඒ ගැනත් කතා කළොත්?


මගේ රංගන ජීවිතය හරිම වාසනාවන්තයි කියලා මම දකිනවා. පිට පිට හොඳම නිළිය සම්මාන ලැබෙන්නත් මම වාසනාවන්ත වෙලා තිබෙනවා. ඒ වගේම මගේ යම් දක්ෂතාවක් තිබුණු නිසා තමයි මම සම්මාන ලබන්නේ. ඇත්තටම පසුගිය වසරේ අවසන් කාර්තුවේදී සිග්නීස් සම්මාන උළෙලේදී මට හිමිවුණු 2022 වසරේ විශිෂ්ටතම රංගනිය ශිල්පිනියට හිමි සම්මානය ගැන නිහතමානී සතුටක් මට තිබෙනවා. ඇත්තටම ඒ ගැන බලාපොරොත්තුවක් තිබුණේ නැහැ.


කලකට පසුව කලාවට නැවත පැමිණීමත් සමඟ අලුත් නිර්මාණවලට ඔබට ආරාධනා ලැබෙනවා ඇති. ඒ ගැනත් කතා කළොත්?


ඇත්තටම තවම එහෙම අලුත් නිර්මාණ වෙනුවෙන් දින වකවානු වෙන් කරගෙන නැහැ. ඉතාම අනපේක්ෂිත මොහොතක තමයි මේ සම්මානය ලැබුණේ සහ චිත්‍රපටය රිලීස් වුණේ. තවමත් පුතාගේ වැඩකටයුතුත් එක්ක තමයි ඉන්නේ. මොකද එයා තවම පුංචියි. කලාව තුළ මම යම් දෙයක් කළ නිසා  ප්‍රේක්ෂකයන්ට තවමත් මාව මතකයි. ඔවුන්ට මම හොඳ දේවල් ලබා දුන්නා. ඉදිරියටත් මම බලාපොරොත්තු වෙනවා හොඳ විශිෂ්ට ටෙලි නාට්‍ය කරන්න. නමුත් මේ වෙලාවේ මගේ කාලය අවශ්‍ය වෙන්නේ පුතාට. ඉතින් මේ අතරතුරේ හොඳ විශිෂ්ට නිර්මාණයකට ආරාධනා ලැබුණොත්  මම භාරගන්නවා.


කාලයක් කලාවෙන් අෑත්ව සිටියත් ඔබේ ජනප්‍රියත්වය එක සේ පැවැතියා. එයට හේතුව?


ඇත්තටම මට නිතරම හොඳ අධ්‍යක්ෂවරුන් ලැබුණා. එය මගේ කලා ජීවිතයේ අත්තිවාරම ශක්තිමත් වීමට බලපෑවා. ඒ වගේම මම චරිත තෝරාගැනීමේදී විවිධ චරිත කරන්න උත්සාහ කළා. ප්‍රේක්ෂකයන් අතරට තරමක් බරසාර චරිතවලින් යන්න ලැබීම නිසා තවමත් ඔවුන්ට මාව මතකයි. මමත් කැමැතියි බරසාර චරිත කරන්න.


මේනකා පීරිස් නම් දක්ෂ නර්තන ශිල්පිනිය නැවතත් වැඩ ආරම්භ කරලා. ඒ පිළිබඳවත් කතා කරමු?


රඟපාන ජීවිතයට වඩා නර්තනය ඇතුළේ මට පොඩි නිදහසක් තිබෙනවා. පුතා සමඟ කාලය ගතකරන්නත් මට ඉන් අවස්ථාව ලැබෙනවා. මම තවම ක්ලාස් ආරම්භ කරලා තිබෙන්නේ පිළියන්දල ප්‍රදේශයේ පමණයි. නර්තනය පිළිබඳව කතා කරද්දී එදා මවුපියන් උඩරට නර්තනයට වැඩි කැමැත්තක් දැක්වූවා. නමුත් නර්තනය දැන් මොකක්‍ෙදා් රැල්ලකට හසුවෙලා කියලා මට දැනෙනවා. බොහෝ මවුපියන් සමඟ කතා කිරීමේදී මට තේරෙන්නේ


ඒ අය වෙනත් නර්තන ශෛලීන්ට කැමැත්තක් දක්වනවා කියලයි. අනෙක් නර්තන ශෛලීන් හැදෑරීම වැදගත්. නමුත් උඩරට නර්තනය ගෙදර අම්මා වගේ. උඩරට නර්තනය හරියට පුහුණු කළොත් අපට අනෙක් ශෛලීන් ඉක්මනින් හදාරන්න පුළුවන්. අපේ උඩරට, පහතරට, සබරගමු කියන අපේම නර්තන ශෛලීන් නැතිවී යන්නට නොදී ඒවා හදාරන්න. ඒවාට ආදරය කරලා අනෙක් ශෛලීන් තෝරාගන්න උත්සාහ කරන්න.


ඔබේ ජීවිතය වෙනස් කළ ඒ පුංචි අමුත්තා ගැනත් කතා කරමු?


ඇත්තටම ඔහු තමා මගේ ජීවිතය වෙනස් කළේ. මම කෙතරම් ශක්තිමත් කෙනෙක් වුණත් මට මං ගැන කතා කරන්න, මට මාව තෘප්තිමත් වෙන්න, මට මං ගැන ආදරේ හිතෙන්න ප්‍රධාන හේතුව මගේ පුතා. පුතා තමා මගේ ජීවිතයට වෙනස්ම ඉරක් අරගෙන ආවේ. ඔහු මගේ හුස්ම. එයාට සම කරන්න දෙයක් මට හමුවෙලා නැහැ.


අක්ෂි මාපා වීරසිංහ




Previous Post Next Post