සමහර චාන්ස් අතහැර ගත්තේ මගේ පණ්ඩිතකමට-රයිනි චාරුකා




මේරියන් රයිනි චාරුකා ගුණතිලක ගැන අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැහැ. රටම හඳුනන ආදරය කරන ගායන ශිල්පිනියක් ඇය. දක්ෂතා රැසකින් පිරි ඇය මෙරට ගායන ක්ෂේත්‍රයට රෙගේ ශෛලියෙන් ගීත ගායනා කරන ගායිකාවක්. ඇයගේ ගීත රසවිඳින්න හැමෝම කැමතියි. “කළුවරට හිත බය හින්දා“ සින්දුව කරලා වසර දෙකකට පසුව රයිනි අලුත්ම සින්දුවක් කරලා. “සරෝජිනී” ගැන වගේම මේ දිනවල රයිනිගේ ජීවිතේ ගැන රයිනි සමඟ කළ කතාබහයි මේ…


“සරෝජිනි“ ගීතයෙන් අපි මේ කතාබහ ආරම්භ කළොත්?


“සරෝජිනී” සින්දුව ලිවුවේ මනුරංග විජේසේකර. සංගීතවත් කළේ ගයාන් රැන්ඩි පෙරේරා. මේ සින්දුව තුළ තියෙන්නේ ගෘහස්ථ හිංසනයට ලක් වෙන කාන්තාවන් ගැන පදනම් කරගෙන. Ex වයිෆ් කෙනෙක්ට කෝල් කරලා දැන් ඉන්න වයිෆ් උදවු ඉල්ලනවා. තමන්ගේ සැමියාව තමන්ගෙන් උදුරාගත් ඒ අතීතය අමතක කරලා ඒ මොහොතේ ඇයත් එක්ක ඇයගේ ප්‍රශ්න හමුවේ ඇයට උදවු කරන කාන්තාවකගේ භූමිකාවෙන් මේ සින්දුව ලියවිලා තියෙන්නේ. මෙහි රූප රචනාවත් මේ සිදුවීම් පාදක කරගනිමින්ම අපි නිර්මාණය කළා.


වසර දෙකකින් ඔබේම සින්දුවක් කරලා තියෙන්නේ, ඇයි මේ තරම් කාලයක් ගත්තේ?


මම සාමාන්‍යයෙන් සින්දුවක් කරන්න කලින් ඒ සින්දුව මට දැනෙන්න ඕනේ. මම ඒ සින්දුව එක්ක ගොඩක් හැපී වෙන්න ඕනේ. මගේ කනට මට ලස්සන නැත්නම් මම ඒ නිර්මාණය කරන්නේ නැහැ.


රයිනි වැඩිපුරම දැන් ඉන්නේ ප්‍රසංග නිසා විදෙස්ගතව නේද?


ගිය නොවැම්බර් ඉඳන් මේ වෙනකම් හැම මාසෙම මම ඉන්නේ කොහේ හරි රටක. මම ට්‍රැවල් කරපු කෙනෙක් කොහොමත්. ඒත් මේ තරම් බැක් ටු බැක් ට්‍රැවල් කරලා තිබ්බේ නැහැ. මේ මාසෙත් මම විදෙස්ගත වෙනවා. නොවැම්බර් සහ දෙසැම්බර්වලත් අබුඩාබි, කටාර් සහ ඩුබායි යන්න තියෙනවා.


ඊශ්‍රායල ප්‍රසංගය නම් රයිනිට අමතක වෙන එකක් නැහැ නේද?


මම දෙවැනි සින්දුව කියද්දී තමයි ඒ අනපේක්ෂිත සිදුවීම සිදු වුණේ. හිතට පොඩි තිගැස්මක් ආවා. මගෙත් එක්ක ස්ටේජ් එකේ හිටිය කාට හෝ ඉන් අනතුරක් වුණාද කියලා. හැබැයි කිසි කෙනෙක්ට ලොකු හානියක් වෙලා තිබ්බේ නැහැ. අපි පැය භාගයකින් වගේ නැවත ප්‍රසංගයේ කටයුතු ආරම්භ කළා. ඒ වෙලාවේ ආයේ ස්ටේජ් එකට නගිද්දී තමයි මටත් කකුලේ වේදනාවක් ආවේ. පස්සේ තමයි දැක්කේ දකුණු කකුල ඉදිමිලා කියලා. මගේ ඉයර් පැක් එකේ LED වෝල් එක වැදිලා. ඒ නිසා මගේ කොන්ද නිල්පාට වෙලා තිබ්බා. ඊයේ පෙරේදත් පොඩි කොන්දේ අමාරුවක් ආවා. සජීවී ප්‍රසංගවල ඔය වගේ සිද්ධි වෙනවා. මට ඔහොම අකරතැබ්බ වෙලා තියෙන නිසා දැන් නම් ලොකුවට මොකද වුණේ කියලත් මතක නැහැ.


“රූ සඳ රෑ” ෆැමිලි කොන්සර්ට් එකත් තියෙනවා නේද?


ඔව්. රූ සඳ රෑ කොන්සර්ට් එක අබුඩාබි තියලා ඊට පස්සේ කටාර්වල පවත්වනවා. ඒ කොන්සර්ට් එක සහ ඒ වටා ඉන්න ප්‍රේක්ෂකයින් දිහා බැලුවම දැනෙන්නේ ලොකු වාසනාවක්. අපි හැමෝටම ආවේණික වුණු ඕඩියන්ස් එකක් ඉන්නවා. මම පොඩි ආටිස් කෙනෙක් විදිහට අම්මි තාත්ති දිහා බලද්දී ඒ අයට ඉන්නේ ලොකු ඕඩියන්ස් එකක්. අපේ සනුකටත් එහෙමයි, නංගි වින්ඩි ගත්තත් එයාටත් වෙනම ඕඩියන්ස් එකක් ඉන්නවා. මට චාන්ස් එකක් ලැබෙනවා ඒ ඕඩියන්ස්වලට මට පුළුවන් දේත් පෙන්වන්න. මම හැමදාම ස්ටේජ් එකකට නගිද්දී මගේ ගෝල් එක වෙන්නේ මාව දන්නේ නැති එහෙම නැත්නම් මට වැඩිය කැමති නැති කෙනෙක්ව මගේ පැත්තට හරවා ගන්න එක.


සිංහාවලෝකනයෙන් පස්සේ නම් අපිට රයිනිව රඟපෑමෙන් දකින්න ලැබුණේ නැහැ, නැවත ඇරියුමක් ලැබුණොත් භාර ගන්නවද?


මම නිව්යෝර්ක්වලදි මියුසික් නෙවෙයි ඉගෙන ගත්තේ ඇක්ටින්. ඒ තරමට මම රඟපෑමට ආදරෙයි. එකමදේ ඇ‍ෙමරිකාවේ රංගනය ගැන උගන්වන දේ නෙවෙයි ලංකාවේ රඟපාන්න ගියාම තියෙන්නේ. ඇක්ටින් සහ සිඟින් කියන්නේ මගේ ඩ්‍රීම් ලයිෆ් එකේ කෑල්ලක්. සිංහාවලෝකනය කරද්දී මට අවුරුදු 18යි. ඊට පස්සේ නිර්මාණ තුනකට කතා කළා. එකක් නම් මගේ පණ්ඩිතකමට අතහැරියා. තව එකකට කතා කළා. ඒකෙ මට තිබ්බේ සිංහල හරි හැටි කතා කරන්න බැරි කෙනෙක් විදිහට රඟපාන්න. ඒක කරන්න මම කැමති වුණේ නැහැ. අනිත් එක නම් මගේ පාසලේ නිවාඩු ගන්න බැරි නිසා මට මඟ හැරුණා. එහෙම්ම මගේ ඒ පැත්තේ ගෝල් වෙනස් වෙලා මගේ ජීවිතේ වෙනස් වුණා. දැන් අවස්ථාවක් ලැබුණොත් මට ලැබෙන චරිතය ගැන හිතලා මම කැමතියි භාර ගන්න.


රයිනි ජීවිතේ ඉතුරු ටිකත් තනියම ඉන්නද කල්පනාව?


එහෙම අදහසක් තිබ්බා. මීට අවුරුදු දෙකකට කලින් ඇහුවා නම් මම කියන්නේ ඔව් කියලා. දැන් එහෙම කියන්නේ නැහැ. මම ගොඩක් ආදරේට ආදරේ කරන කෙනෙක්. මම ආදරේට ගොඩක් ලෝභ කෙනෙක්. ඒ නිසා මම හිතුවා මට ආදරේ කියන දේ නැතුව ඉන්න බැහැ කියලා. ඒ නිසා මටත් දැනෙන ආදරයක් දැනෙන තැනක් හමුවුණොත් මගේ හිත නතර වෙයි.


අනුෂා රණසිංහ




Previous Post Next Post