දැන්ම ඒ ගැන කියන්න බෑ-රූමලී ගමගේ




නිරුපිකාවක් ලෙස වෙ‍ෙළඳ දැන්වීම් රැසකටම පෙනී සිටීමෙන් කලාවේ ඇයගේ ගමන ආරම්භ වූවාය. මිස් ශ්‍රී ලංකා වර්ල්ඩ් (Miss Sri Lanka World) තරගයේ අවසන් වටයෙන් පසුව ටෙලි නාට්‍ය රංගනයටද අවස්ථාව උදා වූවාය. ඒ දෙරණ රුපවාහිනී සේවය මඟින් නිෂ්පාදනය කළ ටෙලි නාට්‍යයක් තුළිනි. මේ දිනවල දෙරණ රූපවාහිනී නාලිකාවෙන්ම ඈ අපේ ආලින්දය සරසන්නීය. ඒ සතියේ දිනවල රාත්‍රී 08.30ට විකාශය වන ජනප්‍රියම යොවුන් ටෙලි නාට්‍යය වන දෙවෙනි ඉනිමේ දිලුක්ෂි හෙවත් රදීෂ්ගේ අක්කා වන බටහිර පන්නයට හැඩගැසුණු, එවන් සිතුම් පැතුම් ආකල්පවලින් යුත්, එවන් රටක ජීවිතේ වැඩි කාලයක් ජීවත් වූ යුවතියක් ලෙසිනි. නිරූපණයෙන්, රංගනයෙන් ඉහළ ජනප්‍රියත්වයක් මේ වන විටත් ලබාගෙන ඇති ඇය යොවුන් රංගන ශිල්පිනී රූමලී ගමගේය.


රූමලී පාසල් ගියේ? 


Royal Institute International School


කලාවේ ගමන ආරම්භ වුණේ කොහොමද?

2018 වසරේදී මිස් ශ්‍රී ලංකා වර්ල්ඩ් (Miss Sri Lanka World) තරගයට ඉදිරිපත් වෙනවා. අනතුරුව මට වෙ‍ෙළඳ දැන්වීම්වලට පෙනී සිටින්නට අවස්ථාව ලැබුණා. ඒ අයුරින් තමා කලාවේ මගේ ගමන ආරම්භ වෙන්නේ.


ගෙදර අය රූමලී කලාවට එනවට කැමති වුණාද?


ඉගෙන ගන්න කාලේ ඒවාට යොමු වෙන්න මට ගෙදරින් ඉඩ දුන්නේ නෑ. උසස් පෙළින් (A/L) පස්සේ තමා මේ සඳහා මගෙ තාත්තාගෙන් අවසර ලැබුණේ.


දැන් එතකොට පූර්ණ කාලීනව කලාවට කැප වෙලාද ඉන්නේ?


කලාවට පූර්ණ කාලීනව නම් යොමු වෙලා නෑ. මේ වන විට මම නීතිඥවරියක් වීමට අදාළ හැදෑරීම් කටයුතු සිදු කරගෙන යනවා. එල්. එල්. බී. (LLB – RIC) එකේ.


මේ දවස්වල දෙවෙනි ඉනිමේ දිලුක්ෂි හෙවත් රදීශ්ගෙ අක්කා හරිම ජනප්‍රිය වෙලා නේද?


ගොඩක් දෙනාගෙන් එයට ප්‍රතිචාර රැසක්ම ලැබෙනවා. සමහර අය අහනවා ඒ ඔයාමද? අනේ අපිට හිතාගන්නවත් බැ කියලා. ලැබෙන ප්‍රතිචාර දිහා බලනකොට මම පුදුම විදිහේ සතුටක් ලබනවා.


දෙවෙනි ඉනිම සඳහා රූමලීට රඟපෑමට අවස්ථාව ලැබෙන්නේ කොහොමද?


දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයේ රචක සමන් එදිරිමුණි අයියා තමා මට ඒ සඳහා කතා කරන්නෙ.


රංගනයේදී ඔබට ප්‍රවීණයන්ගෙන් ලැබෙන සහාය කොහොමද?


මගෙ තාත්තට ඉන්න සුදත් ඇන්තනී අංකල්, ඒ වගේම අංජුලා අක්කා ඇතුළු ප්‍රවීණ සියලුම දෙනා මෙන්ම සෙට් එකේ හැම දෙනාම මට ලොකු සහයෝගයක් ලබා දෙනවා. ප්‍රවීණයන්ගෙන් විවිධ දේවල් ඉගෙන ගනිමින් මම මෙහි වැඩ කටයුතු කරගෙන යනවා.


රූමලී මේ වෙනකොට පෙම්වතියක්ද?


දැන් වසර ගාණක ඉඳලා මං පෙම්වතියක්. ඒක පාසල් කාලයේ ඉඳලම තමා ආරම්භ වුණේ. දැන්ම ඒ ගැන මාධ්‍යයට කියන්න බෑ.


මේ විවාහයෙන් පස්සේ මහත්තයා ඔයාට කලාවෙන් ඈත් වෙන්න කියයිද?


නෑ. එයා මුල ඉඳලම මට සපෝට් එක දුන්නා මේ වැඩවලට. මුලින්ම මම මේ ක්ෂේත්‍රයට එන්න හිටපු කාලයේ ගෙදරින් අම්මා, තාත්තා විරුද්ධ වෙද්දි ඔහු තමයි මට හැම දේකටම පිහිටට හිටියේ. විටෙක වැඩිහිටියෙක්, යාළුවෙක් ලෙසින් මගේ ළඟින් දිගටම ඉන්නවා. අදත් හෙටත් එහෙමයි. මට ෂුවර් ඔහු මට කලාවෙන් ඈත් වෙන්න කියන්නෙ නෑ කියලා.


හේමන්ත බණ්ඩාර




Previous Post Next Post