මුල්ම කාලේ මගෙම නෑයො පවා මට හිනා වුණා- සමාධි පෙරේරා



කුඩා වියේ පටන් රංගනය කෙරෙහි වූ දැඩි ඇල්ම හේතුවෙන්ම ඒ සඳහා නැඹුරු වූ ඇය මේ වන විට ශ්‍රී ලාංකේය ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය තුළ සිටින දක්‍ෂ, ජනප්‍රිය රංගන ශිල්පිනියකි. ටෙලි නාට්‍යයෙන් ඔබ්බට වේදිකාව හා සිනමාව වෙතද අත්පොත් තැබූ ඇය සම්බන්ධ වන වර්තමාන නිර්මාණයන් දෙස බැලීමේදී අපිට පෙනී යන්නේ, මේ තරුණිය දිනක ශ්‍රී ලංකාව තුළ අති දක්ෂ චරිතාංග නිළියක් වනු ඇතැයි යන්නයි. කැරලි කොණ්ඩයත්, සුන්දර සිනහවත් ආභරණයක් කොට ගත් ඈ නමින් සමාධි පෙරේරායි. 


ඉතින් සමාධි මේ දවස්වල මොකද වෙන්නේ?


ඇත්තටම මේ දවස්වල ටෙලි නාට්‍ය තුනක රූගත කිරීම් සිදු කරනවා. දිවිතුරා, රාජිනි සහ ජාතික රූපවාහිනියේ අලුතෙන්ම විකාශනය වෙන කළු රෝස කියන නාට්‍යය තුනේ.  කළු රෝස නාට්‍යයේ මම ප්‍රධාන චරිතයකින් තමයි දායක වෙන්නේ. ඒ වගේම පළමු වැනි වතාවට මම වේදිකාව එක්කත් එකතු වුණා රැඩිකල් ප්‍රේමයක් කියන නාට්‍යය හරහා. මේ මොහොත  වෙද්දී අති සාර්ථක දර්ශන වාර දෙකක් පැවැත්වූවා. දුලාන් වීරසිංහ තමයි එහි අධ්‍යක්ෂවරයා. ඉතින් බොහොම සතුටින් ඒ වැඩ කටයුතු සමඟ ඉන්නවා. ඒ වගේම පසුගිය සතියේ මගේ උපන් දිනය තිබුණා. ඒ දේවල් එක්කත් කාර්යබහුල වෙලා හිටියේ.


වේදිකාවට හම්බෙන ප්‍රතිචාර මොන වගේද?


හොඳයි, ගොඩක්ම හොඳයි. මාව ෆස්ට් ටයිම් සජීවීව දකිද්දි ගොඩක් අය මාව දිරිමත් කළා. වේදිකාවට සම්බන්ධ වෙන්න මම ආසාවෙන් බලාගෙන හිටපු දෙයක්. ඉතින් මේ වෙද්දී රැඩිකල් ප්‍රේමයක් නාට්‍යය රාජ්‍ය නාට්‍ය සම්මාන උළෙලේ දෙවැනි වටය නියෝජනය කරන්න තේරිලා ඉන්නවා. ඒ සමඟම ජාතික යෞවන සම්මාන උළෙලේ අවසන් වටයට තේරී පත්වී තිබෙනවා. ඔක්තෝබර් විසිහතර වැනිදා මරදාන එල්ෆින්ස්ටන් රඟහලේ හවස හතයි තිහට ඒ වෙනුවෙන් මහජන ප්‍රදර්ශනයක් පැවැත්වෙනවා. කට්ටියට ඇවිත් බලන්න පුළුවන් එදාට. ලොකු බලාපොරොත්තුවකින් ඉන්නවා අපේ නාට්‍යයට ජාතික හෝ යෞවන සම්මාන උළෙලේ සම්මානිත වෙන්න අවස්ථාවක් ලැබෙයි කියලා.


පළමු වැනි වතාවට ඔබේ රංගනයකට ඒ මොහෙතේම සජීවීව ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමිවෙන්නේ. ඒ  හැඟීම මොන වගේද?


ඇත්තටම ටෙලි නාට්‍යය හරහා අපිට ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමිවෙන්නේ අපේ රංගනය දැකලා මඟ තොටේදී අපිව හ¾දුනාගන්නා රසිකයන් හරහා හා සමාජ මාධ්‍ය හරහා. නමුත් මේ වෙද්දී ප්‍රේක්ෂකයෝ ළඟට ඇවිත් නාට්‍යය ගැන අදහස් හුවමාරු කරගන්න ප්‍රමාණය වැඩි වෙලා තිබෙනවා. කාලයක් තිබුණා ප්‍රේක්ෂකයෝ කලාකරුවන්ව දුටුවට එතරම් තැකීමක් නොකරපු. නමුත් අද වෙද්දී ඉන්න තරුණ පිරිස ළඟට ඇවිත් අපේ රංගනයේ ගුණ ‍ෙදාස් කියනවා. තත්ත්වය ඒ විධියට වෙද්දී වේදිකාවට හැදිලා තිබෙන අලුත්ම ප්‍රවණතාව නිසා ප්‍රේක්ෂකයෝ බහුතරයක් වේදිකා නාට්‍යය නරඹන්න එනවා. එහෙම ඇවිත් නාට්‍යය අවසානයේ ඔවුන් අපිත් එක්ක කතා කරනවා. ඉතින් ඒක ඇත්තටම වෙනමම අත්දැකීමක්. ඒ වෙලාවට දැනෙන සතුට පැහැදිලි කරන්න වචන නැහැ. ඒ දේවල් නිසා තව මේ කලාවේ රැඳී ඉන්න ආසා හිතෙනවා.


ඔබ සහභාගි වෙන දිවිතුරා නාට්‍යය ළඟදි අවසන් වෙයිද?


මේ වෙද්දි එහෙම තාවකාලික සැලසුමක් තිබෙනවා. නමුත් මොනවගේ දෙයක් සිදු වෙයිද කියන දේ තවම හරියට කියන්න බැහැ.


දීර්ඝ ටෙලි නාට්‍යවලට සම්බන්ධවීම රංගන ජීවිතයට සෘණාත්මක බලපෑමක් එල්ල කරන්නේ නැතිද?


ඒක එකිනෙකාට සාපේක්ෂයි. මගේ රංගනය ගත්තම මම දීර්ඝ ටෙලි නාට්‍යවලට පමණක් නෙවෙයි කෙටි නාට්‍යවලටත් සම්බන්ධ වෙලා තිබෙනවා. ඇතැමුන් වේදිකාවට කැමැති වෙද්දී තව අය දීර්ඝ ටෙලි නාට්‍යවලට කැමැති වෙනවා. තවත් කෙනෙක් සිනමාවට කැමැති වෙද්දී තවත් අයෙක් කෙටි ටෙලි නාට්‍යවලට කැමැති වෙනවා. මම හිතන්නේ කලාකාරයෙක් විධියට එකකට සීමා නොවී හැම ආකාරයෙන්ම රසවින්දනයක් ඇති ප්‍රේක්ෂයන්ව සතුටු කරන්න පුළුවන් නම්, ඒ ලැබෙන චරිතය ඇතුළේ මට දෙයක් කළ හැකි නම්, ඒ චරිත එකිනෙකට වෙනස් නම් මම ඒක දීර්ඝ ටෙලි නාට්‍යයද කෙටිද  කියන දේ තකන්නේ නැහැ.


ඔබේ රංගන ජීවිතය ඇතුළේ හැරවුම් ලක්‍ෂ්‍යයක් වුණු නිර්මාණය ගැනත් කතා කරමු


මගේ රංගන ජීවිතයේ හැරවුම් ලක්‍ෂ්‍යයක් වුණේ මීනු ටෙලි නාට්‍යය. ඒක අධ්‍යක්ෂණය කළේ ඉරේෂ් ලොකුබණ්ඩාර. ඒ වගේම මගේ ජීවිතයට ආශීර්වාදයක් වුණේ දිවිතුරා ටෙලි නාට්‍යය. දිවිතුරා නාට්‍යය හරහා  ප්‍රේක්‍ෂකයන් මාව ගොඩක් අ¾දුරගත්තා. චරිතාංග නිළියක් වීමේ අරමුණ වෙනුවෙන් මීනූ උදවු වුණා වගේම. ප්‍රේක්ෂයන් අතරට යන්න දිවිතුරා උදවු වුණා.


ඔබ මේ වෙද්දී සිනමාව, ටෙලි නාට්‍ය හා වේදිකාව යන මාධ්‍යයන් තුනටම සම්බන්ධ වෙලා තිබෙනවා. ඉන් වැඩිම රුචිකත්වය මොකටද?


වේදිකාවට කිව්වොත් මම නිවැරැදියි. මොකද කිව්වොත් පාසල් වියේදී පටන් මම වේදිකාව එක්ක ගැටුණු කෙනෙක් නිසා මම ඒකට ගොඩක් ආදරෙයි, ආසයි. වේදිකාවෙදී අත්දැකීම් දවසින් දවසින් අලුත් වෙනවා. සිනමාවට හා ටෙලි නාට්‍යවලටත් වේදිකාවෙන් ලබන අත්දැකීම් ලොකු පන්නරයක්.


රංගන ශිල්පිනියක් වෙන්න අභිප්‍රේරණය ලැබුණේ කොතනින්ද?


මට එහෙම වුණේ පාසල් කාලයේ. අපේ පාසල් කලා උළෙලේදී මම පළමු වැනියටම කරපු නිර්මාණය හරහා මම හොඳම අධ්‍යක්ෂිකාව හා නිළිය වෙනවා. සුදික්ෂා සමාධි හොඳම නිළිය හොඳම අධ්‍යක්ෂිකාව කියලා නිවේදනය කරනවා මට කනට ඇහුණු දවසේ තමයි මට ඒ හැඟීම දැනුණේ. එතකොට මම අට වසරේ හිටපු ළමයෙක්.


රංගනය පිළිබඳව ඔබේ හැදෑරීම් ගැන දැන ගන්න කැමතියි?


මම පාසල් යන කාලේ නාට්‍ය හා රංග කලාව විෂයක් විධියට හදාරලා තිබෙනවා. ඒ වගේම ඉන් අනතුරුව ජයලාල් රෝහණ මහත්මයාගෙන් හා මහේන්ද්‍ර පෙරේරා මහත්මයාගෙන් මම රංගන පිළිබඳව හැදෑරීම් කළා. නමුත් රංගනය කියන්නේ කවදාවත් ඉගෙන ගෙන අවසන් කළ හැකි දෙයක් නෙවෙයි. ලැබෙන අත්දැකීම් හරහා දවසින් දවස අලුත් දේවල් ඉගෙන ගනිමින් තමයි ඉදිරියට යන්නේ.


ක්ෂේත්‍රය තුළ මුහුණ දීපු අහියෝග ගැනත් කතා කරමු?


ක්ෂේත්‍රයට ආපු මුල් කාලේ බොහොම අභියෝගවලට මුහුණ දුන්නා. මම නිසා නවත්තපු නාට්‍යය තිබුණා. අයුතු යෝජනා ඇවිත් ඒවට අකමැති වීම නිසා නැති වුණු අවස්ථා තිබුණා. ඒ වගේම නළු නිළියෝ අතරෙම  ඇති වෙන දේවල් නිසා හිත රිදීම් වෙලා තිබෙනවා. නමුත් මම හිතනවා ඒ සියල්ලටම පිළිතුරු මම නිහඬවම දීලා තිබෙනවා කියලා. මම නිහඬවම මගේ ගමන යනවා. මගේ ඥාතීන් පවා මම ක්ෂේත්‍රයට ආපු මුල් කාලේ මට හිනා වුණ අවස්ථා තිබුණා. මම පොඩි චරිත කරන කාලේ හිනා වුණා බලන්න වාඩි වෙද්දී පෙන්නලා ඉවරයි කියලා. නමුත් මම මට එල්ල වෙන හැම විවේචනයක්ම, අභියෝගයක්ම මාව ශක්තිමත් කරන දෙයක් බවට පත් කර ගත්තා. මට කා සමගවත් තරඟයක් නැහැ. මට තිබෙන්නේ මා සමගම තරගයක්. මම හරිම ශක්තිමත් කෙනෙක්. ඒක මගේ මවුපියන්ගෙන් මට ලැබුණු දෙයක්.


අවසන් වශයෙන් ඔබේ සිනමා ආගමනය ගැනත් කතා කරමු?


මේ වෙද්දී මම මගේ පළමු සිනමා නිර්මාණය සඳහා දායක වෙලා අවසන්. තවත් සිනමා නිර්මාණයක් වෙනුවෙන් ආරාධනා ලැබිලා තිබෙනවා. ඒ ගැනත් සලකා බලන ගමන් ඉන්නේ.


අක්ෂි මාපා වීරසිංහ




Previous Post Next Post