මට දීග යන්න මගේ ගඳ-සුවඳ හඳුනන පිරිමියෙක් දැන් ඉන්නවා-නිරංජනී

 


නිරංජනීව බොහෝ දෙනා හඳුනන්නේ රංගන ශිල්පිනියක් ලෙසයි. වර්තමානයේ ඔයා නිවේදිකාවක් ලෙසින් නැවතත් කටයුතු කරනවා. නමුත් නිරංජනී මුලින්ම ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ නිවේදිකාවක් විදියටයි. මම හරි නේද?


ඔව්... හරියට හරි. අපි ආපු මඟ අමතක කරන්න හොඳ නැහැ. ඒ නිසා මම හැමදාම ඒකට මූලිකත්වය දෙනවා. අදටත් මම රංගන ශිල්පිනියක් කියනවට වඩා නිවේදිකාවක් කියලා මුලින්ම හඳුන්වලා දෙනවට කැමතියි. නිවේදිකාව නිසා තමයි මට මේ හැමදේම ලැබුණේ. හැමදාම වගේ ජාතික රූපවාහිනියේ දමිළ නිවේදිකාවක් ලෙස කටයුතු කරනවා. ඒ වගේම ස්වර්ණවාහිනි නාලිකාවේ සිංහල නිවේදිකාවක් විදිහට සේවය කරනවා.


ඔයා දමිළ කෙනෙක්. අද වෙද්දී සිංහල නිවේදිකාවක්. සමහරු හිතනවා නිරංජනී දමිළ පිටපත බලාගෙන සිංහලෙන් නිවේදනය කරනවා කියලා. ඒකෙ ඇත්තක් තියෙනවද?


නැහැ... ඇත්තම කිව්වොත් දමිළවලින් සිංහල ලියන්න බැහැ. සිංහල ශබ්ද දමිළ අකුරුවලින් ගන්න බැහැ. දමිළ භාෂාවෙන් ලියාගෙන සිංහල භාෂාවෙන් කියවන එක ප්‍රායෝගික නැහැ. ඒ නිසාම මම සිංහල අකුරුවලින් ලියපු පිටපත බලාගෙන තමයි සිංහල ප්‍රවෘත්ති ප්‍රකාශය සජීවීව ඉදිරිපත් කරන්නේ.


මේ සඳහා ලැබෙන ප්‍රතිචාර කොහොමද?


ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. දැන් මම පාරේ යද්දී රංගන ශිල්පිනිය අමතක වෙලා “ඔයා නේද අර නිවුස් කියන්නේ”‍, ”ඔයා නේද අර ටැමිල් කෙනා සිංහල නිව්ස් කියන්නේ”‍ කියලා මගෙන් අහනවා. ඕනෑම වැඩසටහනක් කරන්න පුළුවන්. හැබැයි ප්‍රවෘත්ති කියනවා කියන්නේ ඒ නිවේදිකාව හෝ නිවේදකයා යම්කිසි තරමකට තමන්ගේ පෞද්ගලික දේවල් යම් විදිහකින් අමතක කරන්න ඕනෑ. සිවිල් ජනතාවගේ බලය සහ සිවිල් ජනතාවගේ විශ්වාසය දිනාගන්න ප්‍රධාන මාධ්‍ය සාධකය තමයි ප්‍රවෘත්ති ප්‍රකාශය කියන්නේ. ඒ නිසා මම දැන් දෙයක් කරන්න කලින් “මම ප්‍රවෘත්ති නිවේදිකාවක්... ඒ නිසා මේක කරන එක හොඳද?” කියලා දෙපාරක් හිතන්න සිදුවෙලා තියෙනවා. ඒ නිසා ඒක වෙනමම පුහුණුවක් කියලයි මට හිතෙන්නේ. ඉස්සර මම හරි ජොලි චරිතයක්. නමුත් අද ප්‍රවෘත්ති නිවේදිකාවක් වුණාට පස්සේ මම ටිකක් තැන්පත් වෙන්න උත්සාහ කළා. ඒ නිසා මාව ප්‍රවෘත්ති නිවේදිකාවන් ලෙසින් තෝරා ගත්තට ස්තූති කරනවා.


ඒ තුළින් නිරංජනී ශන්මුගරාජා කියන සාමාන්‍ය කෙනාව නැති කරගත්තා කියලා හිතෙන්නෙ නැද්ද?


නැතිවුණා කියන දේට හොඳ පැත්ත වගේම නරක පැත්තත් තියෙනවා. මම නිදහසේ කරපු දේවල් ඒ තුළින් මට කරන්න ලැබෙන්නේ නැහැ. හැබැයි අපි වයසට යනවා. කාලෙන් කාලයට අපි පරිණත වෙනවා. ඒ පරිණත වෙද්දි අපේ ජීවිත තව කෙනෙකුට පාඩමක් වෙන්න ඉඩ තියෙනවා. මගේ ජීවිතය දිහා බලන කෙනෙකුට මම හොඳ පණිවිඩයක් දෙන්න ඕනෑ. මම අවුරුදු තිස් ගාණක් ජොලියේ හිටපු ජීවිතේ ජීවත් වුණානේ. ඒ නිසා පරිණත වීමත් එක්ක මෙහෙම ජීවිතයක් ලැබුණා කියලා මට හිතෙනවා.


නිරංජනීගේ තනිකඩ ජීවිතය වෙනස් කරන්න කාලෙ ළඟයි කියලයි අපිට ආරංචිය?


ඔව්... ඒ ආරංචියේ පොඩි ඇත්තක් තියෙනවා. අපි විවාහ වෙන්න ඕනෑ අපිව තේරුම් ගත්ත මනුස්සයා එක්කයි. හැම මනුස්සයාටම ස්වභාවයෙන්ම ගුණාංග දීලා තියෙනවා. ඒ ගුණාංගයන්ට කැමති කෙනා එක්ක තමයි අපි දීග කන්න ඕනෑ. නැත්නම් ඒක කරන්න හොඳ නැහැ. මගේ ජීවිතේ මීට කලිනුත් ආදර සම්බන්ධතා තිබිලා තියෙනවා. ඒවා යම්කිසි තැනකදී බිඳෙන්න අපේ මේ ස්වභාවය තේරුම් නොගැනීම හේතු වෙන්න ඇති. ඒ නිසා ඕනෑම කෙනෙක් හොඳ වගේම නරකත් විඳින්න ඕනෑ. මගේ දහඩිය ගඳත් එයාට දැනෙන්න ඕනෑ වගේම මගේ සුවඳත් එයාට දැනෙන්න ඕනෑ. පැය විසි හතරම මට සුවඳ හමන්න බැහැනේ. මගේ දහඩිය ගඳත් එනවා. ඒ මනුස්සයාට ඒක ආදරය වගේ දැනෙන්න ඕනෑ. මට වගේම එයාගේ ජීවිතයත් ඒ විදිහම තමයි. එතකොට තමයි ජීවිතය ආදරයෙන් ගෙනියන්න පුළුවන් වෙන්නේ.


ඉතින් ඒ ආදරේ මුණගැහුණේ කොහොමද?


එයාව මගේ යාළුවෙක් මාර්ගයෙන් මුණගැහුණා. එයා ලංකාවේ සිනමා ක්ෂේත්‍රය ගැන දැනගෙන හිටියේ නැහැ. මම රංගන ශිල්පිනියක් කියලා දැනගෙන හිටියෙත් නැහැ. එයා පුංචි කාලේ ඉඳන් ඉගෙනගෙන තිබුණේ විදෙස් රටකයි. ඉතින් දවසක් එයා මාව දැක්කා. එදා මම සාරියක් ඇඳලා හිටියේ. එයා මගේ යාළුවගෙන් අහලා තිබුණා. අපි කතා බහ කළා. අපි ටිකක් ආශ්‍රය කළා. එයාගේ පවුල් පසුබිම හා මගේ පවුල් පසුබිම වෙනස්. අපි ක්ෂේත්‍ර දෙකක. එයා සිංහල කතෝලික. මම දමිළ හින්දු. ඒ නිසා අපේ පසුබිම් වෙනස්. අපි ආශ්‍රය කරද්දි එක තැනකදී “මම මේ ගමන ඔයා එක්ක යනවා”‍ කියලා එයා තීරණය කරලා තිබුණා. ඊට පස්සේ මමත් ඒ තීරණයට කැමති වුණා.


මේ බොහෝ දේවල් ඔයා බලාපොරොත්තු වුණු දේවල් නෙවෙයි. එහෙම නේද?


ඔව්... මම නුවර ඉපදුණු දමිළ ගැහැනු ළමයෙක්. ගමේ ඉඳන් කොළඹට ආවා. අද වෙද්දී ලංකාවේ මම එක්තරා විදියකින් මිනිසුන් හඳුනන කෙනෙක්. හැබැයි මට කලින් කොච්චර දරුවන් කොළඹට නුවර ඉඳන් ඇවිත් ඇද්ද? එයාලට නැති දෙයක් අද මට මගේ ජීවිතේ තියෙනවා.


නුවර හිටපු ඒ කෙල්ලට රංගනයට එකතුවෙන ආසාව තිබුණද?


නැහැ. ජීවිතේට නැහැ. එයාගේ හීන එකක් කියලා තිබුණේ නැහැ. අදටත් මට ඉලක්ක නැහැ. සැලසුම් කරලා දෙයක් කරනවට වඩා ලැබුණු දේ සැලසුම් කරලා කරන එක හොඳයි කියලයි මම විශ්වාස කරන්නේ. මම මැරීගෙන පාඩම් කළේ නැහැ. හෙට විභාගය නම් අද පාඩම් කළා. ඒක කොහොම හරි සමත් වුණා. ඒ මගේ හැටි. නුවර ඉඳන් මම කොළඹට ආවේ ගායිකාවක් වෙන්නයි. මම උසස් පෙළ ඉගෙන ගනිද්දී එක්තරා හේතුවක් නිසා උසස් පෙළ ලියන්න බැරි වුණා. ඒක මට ලොකු ප්‍රශ්නාර්ථයක් වුණා. අනාගතයේ මම මොකක්ද කරන්නේ කියලා මටම හිතුණා. මොනවා හරි කරලා පවුල් බර අරගන්න මට ඕනෑ වුණා. ඒ නිසා මම කොළඹ ආවා. ගායිකාවක් නොවී නිවේදිකාවක් වුණා. රංගන ශිල්පිනියක් වුණා. මේ හැමදේම අහඹු අවස්ථා වුණාට මම ඒවාට වටිනාකමක් දුන්නා.


විවාහයෙන් පසුව නිරංජනී රංගනය අතහරීද?


ඒ තීරණය ගන්න එයා මට අවස්ථාව දීලයි තියෙන්නේ. ඒ වෙනුවෙන් කිසිම තහංචියක් දාලා නැහැ. එයා එක දෙයයි මට කිව්වේ. “ඔයා චරිතයක් බාරගන්නකොට ඔයා අද අලු‍ත් පවුලකට අලු‍ත් සමාජයකට යන්න යනවා කියලා හිතන්න. ඔයා කලින් කරපු චරිත මට අදාළ නැහැ. දැන් චරිතයක් බාර ගනිද්දි මම ගැනත් හිතන්න”‍ කියලා විතරයි කිව්වේ. හැබැයි මගේ එකම ආසාව හොඳ බිරිඳක්, හොඳ ගෘහණියක් වෙන්න. හොඳ අම්මා කෙනෙක් වෙන්න. ගෘහණිය කියන චරිතය හරියට කරන්න දැන් මම ආසයි.



Previous Post Next Post