බොලිවුඩයේ සුපිරි ධනවත්ම නිළිය අයිශ්චර්යා ද?




බොලිවුඩ් සිනමාව බොහෝ නළු නිළියන්ට සුවිසල් ධන උල්පතක් බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. එහි නළුවන් මෙන්ම නිළියන් ද කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් උපයන ධන කුවේරයන්. මේ ලිපියෙන් කතා කරන්න යන්නේ බොලිවුඩ් සිනමාවේ ධනවත්ම රංගන ශිල්පිනිය ගැනයි.


ඉන්දීය මාධ්‍ය තුළ පළවෙන ගණන් හිලව්වලට අනුව බොලිවුඩයේ ධනවත්ම නිළිය වන්නේ අයිශ්වර්යා රායි. මේ වනවිට අමිතාභ් බච්චන් පවුලේ ද සාමාජිකාවක වන ඇය සිනමාවට පිවිසෙන්නට කලින් සිටම ජනප්‍රිය, ප්‍රසිද්ධ චරිතයක්. අයිශ්වර්යා ලෝකයේම අවධානයට ලක් වූයේ 1994 වසරේ ලෝක රූ රැජින ලෙස කිරුළු පැලඳීමත් සමඟ යි. නිරූපණ ශිල්පිනියක ලෙස කටයුතු කළ ඈ සිනමාවට පා තැබුවේ 1997 වසරේ තිරගත වූ ‘ඉරුවර්’ නමැති සිනමාපටයෙන්. එය අධ්‍යක්‍ෂණය කළේ සුප්‍රකට සිනමා අධ්‍යක්‍ෂ මනිරත්නම්.කෙසේ හෝ වේවා, මේ වනවිට සිනමාව තුළ දිගු ගමනක් පැමිණ සිටින අයිශ්වර්යාගේ වත්කම ඉන්දියානු රුපියල් කෝටි 800කට ආසන්න බවයි මාධ්‍ය වාර්තාවලින් පැවසෙන්නේ. එය ලංකා රුපියල්වලින් කෝටි 3,100කට ආසන්න වත්කමක්. මේ නිසා ඇයට අතිශය සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන්නට හැකියාව ලැබී තිබෙනවා.


අයිශ්වර්යා චිත්‍රපටයක රඟපෑම සඳහා අය කරන මුදල ඉන්දියානු රුපියල් කෝටි 10 – 12 (ලංකා රුපියල් කෝටි 40 – 47) අතර අගයක් ගන්නා බව සඳහන්. ඇය බොලිවුඩ් සිනමාවේ වැඩිම මුදලක් අය කරන නිළියන්ගෙන් කෙනෙක්. අයිශ්වර්යා පසුගිය දා රඟපෑ පොනියින් සෙල්වන් පළමු කොටස වෙනුවෙන් ඉන්දියානු රුපියල් කෝටි 10ක් අය කළ බව පැවසෙනවා.ඇය ආදායම් උපයන්නේ චිත්‍රපටවලින් පමණක් නොවෙයි. ලෝකයේ ඉහළම ගණයේ වෙළෙඳ සන්නාම ප්‍රවර්ධනයෙන් ද ඇය අති විශාල මුදලක් උපයනවා. වසරකට ඇය මේ ආකාරයෙන් උපයන මුදල ඉන්දියානු රුපියල් කෝටි 80 – 90ක් (ලංකා රුපියල් කෝටි 315 – 352ක්) පමණ වන බවයි පැවසේ. එමණක් නොවේ. අයිශ්වර්යා බොහෝ ව්‍යාපාරික ආයතනවල මුදල් අයෝජනය කර ඇති අතර ඒවායින් ද ඇය කෝටි ගණන් හම්බ කරනවා. සෞඛ්‍ය සහ පරිසර ක්‍ෂේත්‍රවලට අයත් සමාගම්වල ඇය මුදල් ආයෝජනය කර ඇති බව සඳහන්.


49 හැවිරිදි අයිශ්වර්යා ඇයගේ සැමියා වන අභිෂේක් බච්චන් සහ දියණිය ආරධ්‍යා සමඟ ජීවත් වන්නේ බච්චන් පවුලේ මහ ගෙදරයි. මුම්බායි හි පිහිටා ඇති මෙම සුවිසල් මන්දිරයේ වටිනාකම ඉන්දියානු රුපියල් කෝටි 112ක් (ලංකා රුපියල් කෝටි 440ක්) පමණ වන බව වාර්තා වෙනවා. මෙයට අමතරව අභිෂේක් – අයිශ්වර්යා දෙදෙනාට තවත් සුපිරි නිවාස කිහිපයක්ම තිබෙන බව සඳහන්. ඉන් එකක් පිහිටා ඇත්තේ ඩුබායි හි ඉතාම ඉහළ පෙළේ ධනවතුන් ජීවත්වන ඉසව්වකයි. ගොල්ෆ් පිටියක්, සුවිසල් පිහිනුම් තටාකයක්, නවීන පන්නයේ මුළුතැන්ගෙයක් ආදී අංගවලින් මෙය සමන්විතයි. ෂාරුක් ඛාන්, සල්මාන් ඛාන්, අනිල් කපූර් වැනි අයටත් ඩුබායි හි සුපිරි නිවාස තිබෙනවා.


මුම්බායි හි පිහිටි බන්ද්‍රා කුර්ලා නමැති සුපිරි තට්ටු නිවාස සංකීර්ණයක නිවසක් ද මේ දෙදෙනා සතු බව මාධ්‍ය වාර්තාවල සඳහන් වෙනවා. එහි වටිනාකම ඉන්දියානු රුපියල් කෝටි 21ක් (ලංකා රුපියල් කෝටි 82ක්) බවයි පැවසෙන්නේ. ඔවුන් මෙය මිල දී ගෙන තිබුණේ 2015 වසරේයි. මෙය වර්ග අඩි 5,500ක පමණ විශාල නිවසක්. මෙයට අමතරව මුම්බායිහි වොර්ලි ප්‍රදේශයේ පිහිටි තවත් සුපිරි තට්ටු නිවාස සංකීර්ණයක නිවසක් ද මේ දෙදෙනා සතුයි. එය ඔවුන් මිල දී ගෙන තිබුණේ ඉන්දියානු රුපියල් කෝටි 41කට (ලංකා රුපියල් කෝටි 160කට) බව සඳහන්.මෙවැනි සුඛෝපභෝගී නිවාසවලින් මෙන්ම නවීන පන්නයේ, මිල අධික මෝටර් රථවලින් ද අයිශ්වර්යාට අඩුවක් නැහැ. ලොව ඉහළම වර්ගයේ මෝටර් රථයක් වන රොල්ස් රොයිස් රථයක් ද ඇය සතුව තිබෙනවා. අයිශ්වර්යා එය මිල දී ගෙන තිබුණේ ඉන්දියානු. රුපියල් කෝටි 8කට (ලංකා රුපියල් කෝටි 31කට) ආසන්න මුදලකටයි. රිතික් රොෂාන්, ආමිර් ඛාන් වැනි අයත් මෙම වර්ගයේ මෝටර් රථ පාවිච්චි කරනවා.


ඉහත කී රොල්ස් රොයිස් රථයට අමතරව ඉන්දියානු රුපියල් කෝටි 2.3ක් (ලංකා රුපියල් කෝටි 9 ) පමණ වටිනා ලෙක්සස් රථයක් ද, ඉන්දියානු රුපියල් කෝටි 1.5ක් (ලංකා රුපියල් කෝටි 6ක්) පමණ වටිනා අවුඩි රථයක් ද ඇය සතුයි.


කසුන් අරවින්ද





Previous Post Next Post