මම ටිකක් දඟයි ඒත් නෝටි වැඩ කරන්නේ නෑ -අශ්ලි ලියානා

 


රිදී තිරය හරහා කරළියට පැමිණි මේ දිනවල කාගේත් ආදරයට සහ කතාබහට ලක්වන කටකාර, දඟකාර පුංචි පොඩිත්තිය නමින් අශ්ලි ලියානා වීරසිංහ. සිනමාවේ මෙන්ම වෙළෙඳ දැන්වීම් තුළත් හරි අපූරුවට සිය රංගන කුසලතාව ඉදිරිපත් කරන මේ පොඩිත්තිය ලොක්ඩවුන් චිත්‍රපටයේ සහනි ලෙසින් ඔබ හමුවට එයි. මෙවර  ඇය සමඟින් අදහස් බෙදා ගත්තේ හුරතල් කතා ගොන්නක්ද සමඟින්.


දුව ගැන විස්තර ටිකක් කියන්නකෝ?


මම අශ්ලි ලියානා වීරසිංහ. මම දැන් ඉන්නේ වැල්ලවත්තේ. මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා  විද්‍යාලයේ තමයි මම ඉගෙනගන්නේ. මම දැන් ඉන්නේ එකේ පන්තියේ. මගේ තාත්තා ව්‍යාපාරිකයෙක්. මගේ වයස අවුරුදු 6යි.


ඉතිං ලියානා ඔයාට කොහොමද?


ගොඩක් හොඳයි. මේ දවස්වල ස්කූල් යනවා. පාඩම් වැඩ කටයුතුත් කරනවා. ස්කූල් ගිහින් ඇවිත් සෙල්ලම් කරනවා.


ලියානගේ  ගෙදර වෙන කවුද ඉන්නේ?


මගේ ගෙදර අම්මත්, තාත්තත්, අයියත්, අක්කත්, මමත් ජීවත් වෙනවා.


ලියානා එක්ක  සෙල්ලම් කරන්න අයියයි, අක්කයි එන්නේ නැහැ නේද? ඉතින් කොහොමද තනියම සෙල්ලම් කරන්නේ?


සමහර වෙලාවට නම් එයාලා මගෙත් එක්ක සෙල්ලම් කරන්න එනවා. ඒත් ගොඩක් වෙලා සෙල්ලම් කරන්නෙ නෑ. මට තාත්ති ගෙනත් දීපු සෙල්ලම් බඩු ගොඩාක් තියෙනවා. මම ඒවත් එක්ක සෙල්ලම් කරනවා. ඒ නිසා මට පාළු නෑ.


ලියානා වැඩිපුරම ඇවිදින්න යන්න කැමැති කොහෙද?


මම වැඩිපුරම යන්න කැමැති නුවරඑළියේ. එහේ හරිම සීතලයි. නුවරඑළියේ අශ්වයෝ ඉන්නවා. මම ගොඩක්ම කැමැති සීතලේ අශ්වයෝ පදින්න.


ලියානා ටිකක් දඟ බබෙක් කියන්නෙ ඇත්තද?


නෑ. මම ටිකයි දඟ. ඒත් මම නෝටි වැඩ කරන්නේ නෑ.


ඔයා රඟපානව කියලා ස්කූල් එකේ යාළුවෝ දන්නවාද?


ඔව්. මගේ යාළුවො ඔක්කොම දන්නවා මම ෆිල්ම් එකක රඟපානව කියලා. එයාල ෆිල්ම් එක බලන්නත් ගිහින්. යාළුවොත් කියනව එයාලත් රඟපාන්න කැමැතියි කියලා.


ඒ කියන්නේ ලියානාට ගොඩක් අය ආදරේ කරනවා?


ඔව්. ගොඩක් අය ආදරෙයි. මගේ රසිකයන්ගෙන් වගේම නෑදෑයන්ගෙන් ගොඩක් හොඳ ප්‍රතිචාර මට ලැබෙනවා. සමහර අය කෝල් කරලත් මගේ රංගන කටයුතුවලට විෂ් කරනවා. පාරෙදි හමුවෙන නැන්දලා, මාමලා සෙල්ෆි ගහන්නත් කතා කරනවා. එයාලා මට ගොඩක් ආදරෙයි.


පුංචි ලියානා රඟපාන්න එන්නේ කොහොමද?


මම මුලින්ම රඟපාන්නේ වෙළෙඳ දැන්වීම්වල. වෙළෙඳ දැන්වීම් කිහිපයකම රඟපෑවා. ඊට පස්සේ තමයි මේ ෆිල්ම් එක කළේ.


රඟපානවට අමතරව ලියානාට තියෙන අනෙක් දක්ෂතා මොනවාද?


මට හොඳට චිත්‍ර අඳින්න පුළුවන්. ස්කූල් එකේදි ලස්සනටම චිත්‍ර අඳින්නේ මම. මම චෙස් ක්‍රීඩාත් කරනවා. ඒකටත් මම කැමැතියි. තව මට ලස්සනට සින්දු කියන්නත් පුළුවන්. මම සින්දුවකුත් කියලා පෙන්වන්නම්.


රඟපාන්න ගියාම ලියානාට ස්කූල් එකේ වැඩ මඟහැරෙන්නේ නැතිද?


නෑ. මම ඹ්ධජඬඤධඹද කරන චිත්‍රපටය කාලේ නර්සරි ගියේ. නර්සරි එකේ ටීචලා, සර්ලා මට ගොඩක් ආදරෙයි. මම ෂූටින් ඉවර වෙලා ගියාම ටීචල, මට කරපු පාඩම් කියලා දෙනවා. ඒ වැඩවලට අම්මත් උදවු කරනවා.


ලියානා රඟපාන එක ගැන අම්මියි, තාත්තියි මොකද කියන්නේ?


අම්මියි, තාත්තියි  ගොඩක් කැමැතියි මම රඟපානවට. අම්මි තමයි මාව ෂූටින් එක්කගෙන යන්නේ. මම රඟපානවා ගොඩක් ලස්සනයි කියලා අම්මියි, තාත්තියි කියනවා.


දුව ලොකු වුණාම කවුරු වෙන්නද කැමැති?


මම ලොකු වුණාම දක්ෂ නිළියක් වෙනවා. මම කැමැතියි නිළියක් වෙන්න.


එතකොට අලුත් නිර්මාණවලට ආරාධනා ලැබුණේ නැද්ද?


මට ආයෙමත් රඟපාන්න කතා කළා. හැබැයි මගේ ලොක්ඩවුන් ෆිල්ම් එක පෙන්වනකල් තමයි අලුත් වැඩ භාර ගත්තෙ නැත්තේ. ඉදිරියේදී අලුත් නිර්මාණ දෙකකින්ම එන්න බලාපොරොත්තු වෙනවා.


ස්කූල් වැඩත් එක්ක රඟපාන එක ඔයාට මහන්සි නැද්ද?


රඟපාන්න මම කැමැතියිනේ. ඒ නිසා රඟපාන එක මට නම් මහන්සි නෑ. ෂූටින් දවස්වල රඟපාල ගෙදර එනකොට ගොඩක් රෑ වෙනවා. ඒත් මට චුට්ටක්වත් මහන්සි නෑ.


ලියානාට ආදරේ කරන අයට කියන්න දෙයක් තියෙනවාද?


ලොක්ඩවුන් මූවි එක බලල, මට ආදරේ කරන ගොඩක් අය ඉන්නවා. එයාලා හැමෝම මගේ හොඳ කියනවා. මම ලස්සනයි කියනවා, මට රඟපාන්න පුළුවන් කියනවා. ඉතින් මාව බලන, මට ආදරේ කරන හැමෝටම මමත් ගොඩක් ආදරෙයි.


නිශානි සවින්දිකා රාජපක්ෂ




Previous Post Next Post