ලේබල් වදිනවට වඩා කැමැතියි මෙහෙම ගමනක් යන්න-උපේඛා නිර්මාණි




උපේඛා නිර්මාණි කිව්වම කවුද නොදන්නේ, එහෙම නොදන්න කෙනෙක් හිටියා නම් ඔවුන්ට මතකයට එනවා ඇය ජොලී සීයගේ දුව කියු සැණින්. ප්‍රසංග වේදිකාවට අදටත් නැතිවම බැරි ගායකයෙක් වූ ජොලී සීයගේ දුව උපේඛා වේදිකාවට නගින්නේ කෙල්ලෝ ටිකක් එකතු කරගෙන කොච්චි නමින්. මේ කතාබහ ඇය හා ඇයගේ පුංචි පවුල ගැනයි


උපේඛා දැන් වැඩිපුර කාලයක් පුංචි පුතාට හා පවුල් ජීවිතේ ට යොදවනවා වගේ.?     


මම හිතනවා ඕනෑම අම්මා කෙනෙක් වැඩිපුර දරුවන් වෙනුවෙන් කාලය ගත කරනවා කියලා. ඒ වගේ තමයි මමත් අපේ පුතා වෙනුවෙන් වැඩිපුර කාලයක් යොදවනවා. එයාගෙ වයස අවුරුදු පහයි. හුරතල් වයසේ ඉන්නේ. එයාගේ හුරතල් එක්ක දවස සුන්දර විදිහට ගෙවිලා යනවා.


ඔබට සංගීතය ඕපපාතිකයක් නෙමෙයි. ඔබේ පියා, ඔබ වගේම ඔබේ පුතත් සංගීතයට ළැදි ඇති..?


පුතාගේ වයස අවුරුදු 5යි. එයාගේ පුංචි වයසත් එක්ක බලනකොට මට තේරෙනවා එයා සංගීතය ට දක්ෂ දරුවෙක් කියලා. හොඳ දැනුමක් තියෙනවා. එයා හරියට තාල අල්ලනවා. පිච් එකට සිංග් කරන්න උත්සාහ කරනවා. මටත් හරි සතුටක් තියෙනවා මම මගේ තාත්තා වගේම මගේ පුතත් සංගීතය ට ලැදි එක ගැන.


ජොලි සීයගේ දුව කියලා නොදැන එදා ඔබට ඩ්‍රීම්ස්ටාර් වෙන්න සහය දුන් රසික ජනතාව දැන් ඔබේ හැකියාවට දක්වන ප්‍රතිචාර කොහොමද ..?


මගේ තාත්තා ගායකයෙක් කියන එක කාටවත් දැනෙන්න ඉඩ දුන්නේ නැහැ. අපිට ඕන වුණේ මගේ දක්ෂතාවයට ඉඩක් හා මනාප ලැබෙනවට. ඒක දැනගෙන හිටියා නම් ජනතාවගේ හිතේ ඇති වෙන්නේ වෙනම අදහස් හා ආකල්ප. ඒකට ඉඩක් නොතියන්න අපි වග බලා ගත්තා. මම කාගේ කවුද නොදැන තමයි මට එදා ආදරේ කළේ. ප්‍රතිචාර ලැබුණේ. ඒ ආදරේ තවම තියෙන්නේ ඒ නිසා වෙන්න ඇති. පසුව දැනගන්න ලැබුණා මම ජොලි සීයාගේ දුව කියලා. එතකොට බොහෝ දෙනෙක් පුදුම වුණා මම ඔහුගේ දියණිය කියලා. ඒ වගේම ඒ ගැන ටිකක් කතාබහට ලක් වුණා. ඒත් කිසිම වෙනසක් නොකර මට ආදරේ ලැබුණේ මගේ හැකියාවට වෙන්න ඇති කියලා තමයි මම හිතන්නේ


ඔබ ඩ්‍රීම්ස්ටාර් කිරුළ ගත් පළමු තරුණිය, ඒත් දැන් අලුත් ගීත ඔබෙන් නැති තරම් ..ඒ ඇයි..?



නිර්මාණ කරනවා නම් ඕන තරම් කරන්න මට අවස්ථාව තියෙනවා. අවුරුද්දකට මට සින්දු සීයක් විතර ලැබෙනවා. ඒත් කරන්නන් වාලේ කරනවට වඩා හොඳ නිර්මාණ එකක් කළත් ඇති කියන තැන මම ඉන්නේ. නිර්මාණයක් කරන්න ඕන පවතින්න. ඒකට කැපවෙන්න ඕන. මේ වෙද්දී මම ගීත තුනක් කරලා තියෙනවා. නමුත් හොඳ ලස්සන මියුසික් වීඩියෝ එකක් කරන්න ඕන . ඒවත් හරියට බලලා කරන්න ඕන. ඒ නිසා කාලය අරන් හරියට කරන්න බලාපොරොත්තු වෙනවා. ඔය හේතු නිසා තමයි මගෙන් අලුත් ගීත එන්න පරක්කු වෙන්නේ. මේ ගමන මම හිමිහිට යනවා. කිසිම හදිස්සියක් නැහැ


ගැහැනු ළමයි කොචිචි වගේ සැර නිසා ද ඔබේ සංගීත කණ්ඩායමට කොච්චි කියලා නම දැම්මේ..? කොහොමද එහි වැඩ කටයුතු..?


ඇත්තටම සැරයි කොච්චි කණ්ඩායම. ඒ වැඩවලින් හා ඒ ඒ අයගේ දක්ෂතා එක්ක තමයි සැර තියෙන්නේ කිවුවොත් මම හරි. සංගීත කණ්ඩායමේ වැඩත් සාර්ථක ව කරගෙන යනවා. කොච්චි කියන්නෙත් මගේම නිර්මාණයක්. ඇත්තටම කිව්වොත් මම ඒක ඇතුළේ ජීවත් වෙනවා කිවුවොත් හරි. මගේ කාලෙන් කොටසක් සංගීත කණ්ඩායමටත් මම යොදවනවා. මම නිතරම කණ්ඩායම එක්ක කරන වැඩ සෝෂල් මීඩියා ඔස්සේ එළියට දානවා. ඒ නිසා ඒකට ලැබෙන ප්‍රතිචාරවලින් තේරෙනවා කෙල්ලෝ ටිකක් එක්ක වැඩ කළත් එහි සාර්ථකත්වයක් තියෙනවා කියලා . මම සංගීත කණ්ඩායම වෙනුවෙනුත් මේ දවස්වල ගීත නිර්මාණය කරන්න සැලසුම් කරගෙන යනවා.


මේ හැම දේකටම කොහොමද සැමියාගෙන් ලැබෙන සහාය..?


සැමියා තිළිණ අකලංක. පවුල් ජීවිතේ වගේම අනෙකුත් වැඩ කරගන්න නම් සැමියාගේ සහාය වැදගත්. මගේ ජීවිතේ වැදගත්ම කෙනා එයා. මේ ගමන මම යන්නේ එයාගේ සහාය ඇතිව කියලා කියන්න ඕන. එයා නැත්නම් මට මේ තරම් දෙයක් කරන්න බැහැ. මම තනියම හිටපු කාලෙට වඩා මම මගේ සංගීත ජීවිතේ ශක්තිමත් කර ගත්තා එයා එක්ක විවාහ වුණාට පස්සේ. මේක කරන්න මෙහෙම කරන්න. මේක කළොත් සාර්ථක වෙනවා කියලා එයා මට නිතරම හරි දේ පෙන්නලා දෙනවා. මම එයා නිසා හිත සතුටින් හා සැනසීමෙන් වැඩ ගොඩක් කරගෙන යනවා


බොහෝ දෙනකුගේ ආදර කතා ආරම්භ වෙන්නේ යාළුවෝ මාර්ගයෙන් හෝ ෆේස්බුක් ඔස්සේ, ඔබට ඔහුව මුණගැහෙන්නේ යාළුවෙක් මාර්ගයෙන් ..?


එයාව මට මුණගැහෙන්නේ මගේ යාළුවෙක් මාර්ගයෙන්. එහෙම මුණගැහිලා දැන හඳුනාගත්තට පස්සේ එයාට මම ගැන ආදරයක් ඇති වෙලා එයා ඒක මට කිවුවා. එයා ගැන මටත් ආදරේ ඇති වුණු නිසා එයාගේ යෝජනාව ප්‍රතික්ෂේප කරන්න බැරි වුණා. අන්තිමට අපි පෙම්වතුන් වෙලා විවාහ වෙන්න තීරණය කරලා විවාහ වුණා


එතකොට ඔහු දැනගෙන හිටියද ඔබ ජොලි සීයගේ දුව කියලා ..?


ඔව්. එයා දන්නවා මම ජොලි සීයගේ දුව කියලා.ඒ වගේම මම උපේඛා නිර්මාණී කියන එකත් දන්නවා. දැනගෙන තමයි එයා මාව ආශ්‍රය කළේ.


පියා සීයා කෙනකුගේ විලාසය අරන් වේදිකාවට නගිද්දි කුඩා අවධියේ දි ඔබට මොකද හිතුණේ..?


ඒක මම හොඳ දෙයක් හැටියට දැක්කේ. මොකද පොඩි ළමයි ජොලි සීයව දන්නවා. තාත්තා මම දන්න කාලේ ඉඳලා සීයගේ පෙනුමෙන් තමයි වේදිකාවට නැග්ගේ. ජොලි සීයා නමින්. ඒ නම කටහඬ වගේම රූපයට බොහෝ දෙනෙක් ආදරේ කළා. මමත් මගේ තාත්තාගේ ඒ වෙනසට ගරු කරනවා හා ආදරේ කළා. ඒක මම ආඩම්බරයෙන් දැක්කේ. ජොලි සීයා ප්‍රසංග වේදිකාවට නැගලා සින්දු කියලා ජනතාව පිනවලා ඒ කරපු එකම රැකියාවෙන් හම්බ කරපු මුදලින් තමයි අපිව උස්මහත් කළේ. අපි යම් තැනක ඉන්නේ ඔහුගේ ඒ කැපවීම නිසා. ඒ වගේම හැමෝම “ආ… මේ…. ජොලි සීයගේ දුවනේ” කියද්දි සතුටක් ආඩම්බරයක් දැනුණේ.


පාසලේදි ළමයි විහිළු කරලා නැද්ද .. ඒ ගැන කියලා ..?


අපිටත් ළමයි විහිළු කරපු අවස්ථා තියෙනවා. මට ජොලි ආච්චි කියලා කතා කරා. වම්බට්ටි කියලා විහිළු කළා. හැබැයි ඒ විහිළු හරි ආදරණීය යි. ලස්සන මතක ඒවා. හෑල්ලු කරන්න කරපු විහිළු නෙමෙයි.


නිතරම ගෙදර සංගීතය එක්ක ජීවත් වුණු ඔබට පියා එක්ක තියෙන සුන්දර මතක ගැනත් කියමු..?


දන්න දවසේ ඉඳලා ගෙදර නිතරම ඇහෙන්නේ සින්දු. තාත්තා සින්දු කියනවා. එයාගේ ජනප්‍රිය ගීත බොහෝමයක් ලිවුවේ එයා. ඒ වගේම තනු නිර්මාණ කළා. ඒ දේවල් එක්ක තමයි අපි ජීවත් වුණේ. තාත්තගේ පැත්තේ ගොඩක් අයට සින්දු කියන්න පුළුවන්. ඒ ආභාසය අපිටත් පිහිටලා. තාත්ත අම්මා හා පවුලේ හැමෝම එක්ක ලස්සන ළමා කාලයක් ගෙවුවා. අපි විනෝදෙන් ජීවත් වුණා


පියා නිසා ද උපේඛා ගායිකාවක් වෙන්නේ. අතිශය ජනප්‍රිය ගායකයෙකුගේ දියණියක් ඇයි රියැලිටිකරණයෙන් එන්නේ..?


මම ලක්ෂ ගණනාවක් ඉදිරිපත් වුණු රියැලිටියකින් අංක එක වෙලා ගායිකාවක් වුණේ. දෙරණ ඩ්‍රීම්ස්ටාර් තමයි මාව ජනප්‍රිය තරුවක් කළේ. මම හිතනවා තාත්තගේ ජනප්‍රියත්වය කරපින්නාගෙන ක්ෂේත්‍රයට එනවට වඩා මේ වගේ තරගයකින් ඇවිත් මගේ දක්ෂතා දැකලා ඊට ආදරේ කරලා මෙහෙම තැනක් හදාගන්න එක තමයි වැදගත් කියලා. එහෙම නැතුව මම තාත්තගේ එළිය අරගෙන ආවා නම් සමහර විට මටත් ලේබල් වැදෙන්න පුළුවන් . එහෙම තැනක් ලේසියෙන් හදා ගන්නවට වඩා මගේම අනන්‍යතාවකින් එන්න හිතුවා. ඒකට තාත්තා හරි කැමැත්තෙන් ඉඩ දුන්නා. ඒ වගේම තාත්තා මට මගේ ගමනට හයියක් වුණා. එයා නිසා තමයි මම ඇත්තටම මේ තැන ඉන්නේ.


හර්ෂණී වීරරත්න




Previous Post Next Post