පස් මහ බැලුම් බලලා තමයි මම නිර්මාණ භාරගන්නේ-චම්පා ශ්‍රියානි



දශක තුනකට ආසන්න කාලයක් ප්‍රේක්ෂක ආදරය දිනාගත් ක්ෂේත්‍රයේ ප්‍රවීණ රංගන ශිල්පිනියක් ලෙස චම්පා ශ්‍රියානි රංගන ශිල්පිනිය හදුන්වන්නට පුළුවන්.රූපවාහිනි ටෙලි නිර්මාණ ආරම්භ වූ මුල් යුගයේදීම රංගනයට අත් පොත් තබන මේ දක්ෂ රංගන ශිල්පිනිය මේ වන විට ටෙලිනාට්‍ය රැසකින්ම රසික හදවත් දිනාගෙන අවසන්. මේ සොදුරු රංගන ශිල්පිනිය අදහස් බෙදාගත්තේ මෙලෙසින්. 


කොහොමද මේ දවස්වල ගෙවන ජීවිතේ?


මේ දිනවල භාරගත්ත ටෙලිනාට්‍ය දෙකක් තිබෙනවා. ඒකෙන් එකක නම් රූපගත කිරීම් තවම ආරම්භ වෙලා නැහැ. නමුත් සකර්ම ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂවරයා පටන්ගන්න අලුත් නිර්මාණයේ රූපගත කිරීම් ලබන මාසයේ ආරම්භ වෙනවා. ඉතින් ඒ වැඩකටයුතුත් කරගෙන පවුලේ අයත් එක්ක සතුටින් හොඳින් ඉන්නවා.


ඔබ දැන් රංගන කටයුතුවලින් අෑත් වෙලාද?


මම රංගන කටයුතු ආරම්භ කරපු කාලයේ ඉඳලම එක දිගට මම වැඩ භාරගත්තේ නැහැ. ඒකට හේතුව තමයි මගේ පෞද්ගලික ජීවිතයට මම වැඩි ඉඩක් වෙන්කරලා තිබෙනවා. මම මුල්තැන දෙන්නේ දරුවන්ගේ වැඩකටයුතු සහ ඒ අයගේ අධ්‍යාපන කටයුතුවලට. මේ හැමදේම තෝරගෙන බේරගෙන තමයි මම වැඩක් කරන්නේ. ඒ කියන්නේ මට වැඩක් කරන්න නිදහස තිබෙන කාලයක තමයි මම වැඩක් කරන්න පටන් ගන්නේ. ඇත්තටම පස්මහ බැලුම් බලල තමයි මම නිර්මාණයක් භාරගන්නේ. නිර්මාණයක් භාරගැනීමේදී මම බලාපොරොත්තු වෙන්නේ මුදල්ම නෙවෙයි. මට සතුටට පත්වෙන්න පුළුවන් නිර්මාණයක් නම් නම් මම ඒක භාර ගන්නවා.


ඔබ පුංචි තිරයේ නිතරම මුණනොගැසුනත්  රයිගම් සම්මාන උළෙලේ හොඳම නිළියට හිමි සම්මානය හිමිවීම ගැන මොකද හිතන්නේ?


රයිගම් සම්මාන උළෙලේ 2021 වසරේ මම හොඳම නිළිය සම්මානය ලැබුවා. නමුත් සුමති සම්මාන උළෙලේ හොඳම නිළිය වුණේ නැහැ. නිර්දේශ වූවා පමණයි. ඉතින් මේ සම්මාන  ලැබීම පිළිබඳව කතා කරද්දී ඒ ඒ සම්මාන උළෙලට අදාළ ජූරියක් ඉන්නවා. ඒ පිරිසේ දැනුම, දකින ආකාරය සහ රහ අනුව තමයි සම්මානයක් හිමිවන්නේ. මම අට වතාවක් රයිගම් සම්මාන උළෙලේ හොඳම නිළියට නිර්දේශ වුණා. නව වැනි වතාවේදී තමයි මට ඒ සම්මානය ලැබෙන්නේ. ඉතින් මම සම්මාන බලාගෙන වැඩ කරන කෙනෙක් නෙවෙයි. දශක හතරකට ආසන්න කාලයක් මගෙත් එක්ක ඉන්න ප්‍රේක්ෂක පිරිසක් ඉන්නවා. ඒ අයගේ රසවින්දනයට හොඳ නිර්මාණයක් කරන එක තමයි මගේ බලාපොරොත්තුව. මම හිතන්නේ සම්මාන ලැබෙන එක හොඳයි. නමුත් නිර්දේශවීම ඊටත් වැඩිය හොඳයි.


දක්ෂ රංගන ශිල්පිනියක් වන ඔබ කලින් කලට ටෙලි තිරයෙන් දකින්න ලැබීමට හේතුවක් තිබෙනවාද?


හරිම අහම්බෙන් තමයි මම මුලින්ම රංගනයට එන්නේ. ඉතින් මම නිළියක් වෙන්න හීන දැකපු කෙනෙක් නෙවෙයි. ටෙලි නාට්‍ය කිහිපයකට රංගනයෙන් දායක වුණාට පස්සෙ මම විවාහ වුණා. නමුත් රංගනයට විවාහය නම් බාධාවක් වුණේ නැහැ. නමුත් මම තරුණියක් විදිහට සිහින දුටු ලෝකයක් තිබුණා. දරුවොත් එක්ක කාලය ගත කරලා ඒ අයට හොඳින් උගන්නගෙන මම බලාපොරොත්තු වුණ ලෙස ජීවත් වුණා. ඉතින් ඒ අතරේදී යම් යම් තෝරාගැනීම් කරලා නිර්මාණ කිහිපයකටත් දායක වුණා. මගේ පෞද්ගලික ජීවිතයට මුල්තැනක් දීපු නිසා මම එක දිගටම රංගනයට යොමු වුණේ නැහැ.


ඔබ රංගනයේදී චරිත තෝරාගැනීමක් කරනවාද?


මම කැමැතියි මම තෝරාගන්නා චරිතවලින්  චම්පා ශ්‍රියානිව නොදකින ලෙස රංගනයේ යෙදෙන්න. කැමරාවක් ඉදිරියේ මම චම්පා ශ්‍රියානි විධියටම ඉන්නවනම් මට ඒකෙන් සතුටක් නැහැ. මට අවශ්‍ය චම්පා ශ්‍රියානිගෙන් අෑත තියෙන විවිධ චරිත ප්‍රතිනිර්මාණය කරමින් රංගනයේ යෙදෙන්න. ඒ වගේ හොඳ චරිතයක් නම් හොඳ පිටපතක් නම් මම ඒ නිර්මාණය භාර ගන්නවා.


දශක හතරකට ආසන්න කාලයක් ක්ෂේත්‍රය දෙස බලා සිටින ඔබ නවක පරපුරේ කලාකරුවන් ගැන මොකද හිතන්නේ?


නවක පරපුරේ දක්ෂ රංගන ශිල්පීන් සහ ශිල්පිනියන්  බොහෝ දෙනෙක් ඉන්නවා. මම තරුණ රංගන ශිල්පීන් බොහෝ දෙනෙක් එක්ක වැඩ කරලත් තිබෙනවා. ඇත්තටම මේ අය ගොඩක් දක්ෂයි. ඒ වගේම විවිධ තරග සහ රියැලිටි ශෝවලින් එන නවක රංගන ශිල්පීන් සහ ශිල්පිනියනුත් ඉන්නවා. ඉතින් රූපය ලස්සන වගේම දක්ෂතාවයත් තිබෙනව නම් ඕනෑම කෙනෙක්ට මේ ක්ෂේත්‍රයේ ඉදිරියට යන්න පුළුවන්.


ඔබේ අනාගත බලාපොරොත්තු ගැන කතා කළොත්?


මට දුවලා දෙන්නෙක් විතරයි හිටියේ. මගේ ලොකු දුව විවාහ වෙලා එයාටත් දැන් පුතෙක් ඉන්නවා. මට පුතෙක් හිටියේ නැතිවුණත් දැන් ආදරණීය පුංචි පුතෙකුත් ඉන්නවා. පුංචි පුතත් මට පුදුම ආදරෙයි වගේම ගොඩක් සමීපයි. ඉතින් ඒ අයත් එක්ක සතුටින් ඉන්න එක තමයි මගේ බලාපොරොත්තුව. ඒත් එක්කම පවුලේ අයට මුල් තැන දීලා රංගන කටයුතුත් ඉදිරියට කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා.


නිශානි සවින්දිකා රාජපක්ෂ




Previous Post Next Post