මං නොදැනම පෙම්වතියත් මාව දාල ගියා -දේව් සුරේන්ද්‍රයි



ධනුක, බාසුරු, තේමිය වගේම තේනුකත් මේ දිනවල අපට හමුවන්නේ පුංචි තිරයේයි. මේ නාළිකා හතරක විකාශය වන චරිත හතරකි. ඔහු මේ කුමන නමින් පෙනී සිටියත් ඔහුගේ සැබෑ නම දේව් සුරේන්ද්‍රයි. අද වෘත්තීය රංගන ශිල්පියකු වුවත් ඔහු කලාවට පිවිස තිබෙන්නේ වෙළෙඳ දැන්වීම් කලාව ඔස්සේයි. මෝස්තර නිරූපණය ප්‍රගුණ කිරීමේ අරමුණෙන් කොළොම්පුරට පැමිණි දේව් මේ වනවිට දක්ෂ රංගන ශිල්පියකු ලෙස ප්‍රේක්ෂක ආදරය විඳියි.


 

නාළිකා හතරක, චරිත හතරකින් දකිද්දි ඒකාකාරී වෙයි කියලා හිතුණෙ නැද්ද?


මේ චරිත එකකට එකක් වෙනස්. ඒ නිසා ප්‍රේක්ෂකයන්ට කොහෙත්ම ඒකාකාරී බවක් දැනෙන එකක් නෑ කියලා හිතෙනවා. හැම චරිතයකටම සතුටුදායක ප්‍රතිචාර ලැබෙනවා. මේ දවස්වල මම ඉන්න නාට්‍ය හතරක්ම විකාශය වෙනවා. සාරංග මෙන්ඩිස්ගේ දෙවෙනි ඉනිමෙ ධනුකව නම් දැන් කාලයක් තිස්සෙම ප්‍රේක්ෂකයන් හඳුනනවා. දේව්ටත් වඩා ගොඩක් අය මාව දන්නෙ ධනුක විදිහට. ඒ වගේම හර්ෂ උඩකන්දගේ ලොක්කි 2 නාට්‍යයේ මං පොලිස් නිලධාරියෙක්. සංසාරිණිත් මේ දවස්වල ගොඩක්ම ජනප්‍රියයි. නවක අධ්‍යක්ෂවරයෙක් වන දිල්ෂාන් අමරසිංහ කියන්නේ වෙනම ඇහැකින් බලන අධ්‍යක්ෂවරයෙක්. ඒකෙ තේමිය කියන්නේ සුපර් මොඩ්ලර් කෙනෙකුගේ මැනේජර්. පොඩි ට්‍රැක් අවුට් එකක් තියෙන කලබලකාරී චරිතයක්. ඒ වගේම විදු කියන්නේ සියත නාළිකාවේ විකාශය වන ඉරේෂ් ලොකුබණ්ඩාරගේ ටෙලි නිර්මාණයක්. ඒකෙ තේනුක සෙල්ලක්කාර තරුණයෙක්. මේ චරිත හතර එක්ක තමයි මේ දවස්වල කාර්යබහුල වෙලා ඉන්නෙ. ඊට අමතරව චිත්‍රපටයකටත් සම්බන්ධ වෙලා කටයුතු කරගෙන යනවා.


ක්ෂේත්‍රයට ඔබේ පිවිසීම ගැන කතා කළොත්?


මගේ ගම නුවර. මං කොළඹට එන්නේ නිරූපණ කලාව ඉගෙනගන්න. ඒ අතරේ තමයි මට රූපවාහිනී වෙළෙඳ දැන්වීම්වලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නේ. මොඩ්ලින් ක්ලාස් එකෙන් අපිව ස්ක්‍රීන් ටෙස්ට්වලට යවනවා. එතැනදි තමයි මට වෙළෙඳ දැන්වීම් සඳහා පෙනී ඉන්න අවස්ථාව ලැබෙන්නේ. මුලින්ම සෙලාන් බැංකු දැන්වීමකට පෙනී හිටියේ. ඒක තමයි මං මුලින්ම රූපවාහිනී තිරයේ දිස්වුණු අවස්ථාව. ඒකට මට මුදලකුත් ලැබුණා. ඊට පස්සේ අවුරුදු කාලෙක ආර්පිකෝ වෙළෙඳ දැන්වීමට පෙනී හිටියා. ඒක නම් විශේෂයෙන්ම මතක් කරන්න ඕන. ඒක ඩිරෙක්ට් කළේ ඉන්දියන් ඩිරෙක්ටර් කෙනෙක්. මුල්ම කාලෙ හින්දා කොච්චර පාඩම් කරන් ගියත් ඩයලොග් වරදිනවා. ඒ ඩිරෙක්ටර් මාර විදිහට මගේ ඔළුව හැදුවා. ඔහු මට කිවුවා ඔයාට තියෙන්නේ ඉන්දියාවේ සූර්යාගෙ මුහුණ කියලා. කියන ඔක්කොම ඉංග්‍රීසි තේරුණේ නැතත් වැඩේ කළා. ඒක ටීවී එකේ යද්දි හරිම සතුටුයි. මේ වෙද්දි වෙළෙඳ දැන්වීම් 10ක් විතර කරලා තියෙනවා.


 


එතකොට දේව් රංගන ශිල්පියෙක් වෙන්නෙ කොහොමද?


ස්වර්ණවාහිනියේ විකාශය වුණු සම්මානනීය අධ්‍යක්ෂවරයෙක් වන නිමල් රත්නායකගේ දම්සාරි ටෙලි නාට්‍යයෙන් තමයි රංගන ශිල්පියෙක් විදිහට ප්‍රේක්ෂකයා මාව හඳුනගන්නේ. ඒ දවස්වල ස්වර්ණවාහිනියේ හෙඩ් විදිහට හිටපු බුද්ධික කුලසේකර නිසා ලැබුණු අවස්ථාවක්. චාමර කපුගෙදර මගේ හොඳම යාළුවෙක්. ඒ දවස්වල මං නැවතිලා හිටියේ චාමරලගෙ ගෙදර. එයා තමයි මාව බුද්ධිකට හඳුන්වලා දුන්නේ. චාමර තමයි මට හැම දේටම උදවු කළේ. ඊටත් කලින් මං ඔෆිස් එකක සීන් දෙක තුනකට පෙනී ඉඳල තියෙනවා. ඒ ලක්ෂ්මන් පුෂ්පකුමාරගේ සවීනා කියන ටෙලි නාට්‍යයේ. ඒකත් චාමර නිසා. අමිල අබේසේකර තමයි ඒකෙ මේන් කැරැක්ටර් එක කළේ. අමිල චාමරගෙ හොඳ යාළුවෙක්. චාමර තමයි අමිලට කියලා මට ඒ චාන්ස් එක අරන් දුන්නේ.


 

මොඩ්ලින් ගැන හදාරන්න හිතුව වෙලාවෙ රංගනය ගැන හදාරන්න හිතුණෙ නැද්ද?


මං මොඩ්ලින් කරන්න එන්නෙත් මොනව හරි දෙයක් ඉගෙන ගත්තොත් හොඳයි කියලා හිතුණ නිසා. රංගනය ගැන ආසාවක් තිබුණට මං කාටවත් කියලවත් තිබුණෙ නැහැ. ඒත් මට තේරුණා මේක ලේසි දෙයක් නොවෙයි මේක ගැන හැදෑරීමක් කරන්න ඕන කියලා. ඔය අතරේ මහේන්ද්‍ර කුලසිංහගේ තරුමලී නාට්‍යට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. එතැනදි ඔහුගෙන් මට ලොකු පන්නරයක් ලැබුණා. ඔහු තමයි මාව අනෝජා වීරසිංහගේ දින පහක වැඩමුළුවට යොමු කළේ. ෂූටිං නිසා දවස් තුනයි මට යන්න ලැබුණේ. රංගනය ගැන හදාරන්න හිත හිත ඉද්දි තමයි මහේන්ද්‍ර පෙරේරා සර්ගේ අලුත් ක්ලාස් එකක් පටන් ගන්නේ. ඒකත් දම්සාරී ෂූටිං ඉවර වෙනවත් එක්කමයි. අවුරුදු දෙකහමාරක් විතර මං මහේන්ද්‍ර පෙරේරා සර් යටතේ රංගනය හැදෑරුවා.


 

ඔබ පුංචි තිරයේ වගේම මේ වෙද්දි සිනමාවටත් පිවිසිලා. වේදිකාව ගැන අදහසක් නැද්ද?


පුංචි තිරයේ නම් බොහෝ නිර්මාණවලට දායක වෙලා තියෙනවා. වෙළෙඳ දැන්වීම් දහයකට විතරත් පෙනී ඉඳලා තියෙනවා. මේ දවස්වල රූගත කෙරෙන ප්‍රසාද් කළුපහනගේ කම්බිලි සිනමා පටය ඔස්සේ සිනමාවටත් අඩිය තිබ්බා. මේ වෙද්දි ඒකෙ ෂූටිං ඉවරයි. ඉක්මනින්ම ප්‍රදර්ශනය වේවි. මට දැන් තියෙන ලොකුම ආසාව තමයි වේදිකාවට සම්බන්ධ වෙන එක. කලින් අවස්ථා ලැබුණත් කාලය හරස් වුණා. ඒත් දැන් මට හිතෙනවා කොහොම හරි කාලය හදාගෙන වේදිකාවට සම්බන්ධ වෙන්න ඕන කියලා. අනිවාර්යයෙන්ම ඉදිරියේදී වේදිකාවෙත් දකින්න ලැබේවි.


 

ආදරය ගැන මොන වගේ අත්දැකීමක් ද දේව්ට තියෙන්නේ?


මේ දවස්වල මං හුදෙකලා වෙලා ඉන්නෙ. මං නොදැනම පෙම්වතියත් මාව දාල ගියා. ඒත් මං විශ්වාස කරන එක හේතුවක් තියෙනවා. මට මීට කලින් පෙම්වතියක් හිටියා. එක එක නොගැළපීම් නිසා මම එයාව අතහැරියා. ඒත් දැන් මට හිතෙනවා ඒ නොගැළපීම් ගළපගන්න තිබුණ කියලා. ඒකට දඬුවම වෙන්න ඇති මට ලැබුණෙ. ආදරය කියන්නේ හැමෝම විඳිය යුතු දෙයක්. ගැළපෙන ආදරයක් ආයිම ලැබුණොත් මාත් ආදරය කරාවි.





Previous Post Next Post