ආදරේ කරන්නත් කලින් ආදරයක් තියෙනවා කියලා කතාවක් හැදුණා-හර්ෂ උඩකන්ද




මේ දිනවල සමාජ මාධ්‍යය වල වැඩිපුරම හුවමාරු වන අලුත්ම ආදර කතාව වෙන්නෙ ලොක්කි ටෙලි නාට්‍යයේ ඩිරෙක්ටර් වන හර්ෂ උඩකන්ද සහ ලොක්කිට පණ පොවන ශලිනි ප්‍රනාන්දුගෙ ආදර කතාව. ආරංචි හැටියට නම් මේ අවුරුද්දේම මේ දෙන්නට මංගල සීනූ හැඬවෙනවා. ඒ නිසාම  අපි හිතුවා මේ ආදර කතාව පටන් ගැන්ම ගැන ඒ දෙන්නගෙන්ම අහන්න.


ලොක්කි 2 රූපගත කිරීම් සිදුවෙන අතරතුර දිවා ආහාරයට ෂූටින් නතර කරපු වෙලාවේ තමයි අපි මේ කතාව අහන්න පටන් ගත්තේ. දෙන්නම එකම තැන ඉන්න නිසා මේ කතාබහ තවත් සුන්දර වුණා.


කතාවට මුලපිරුවේ දෙදෙනා මුලින්ම හමුවුණ තැනින්, ඒ කතාව ශලිනිට කියන්නයි හර්ෂ ඉඩ දුන්නෙ.


මම කොළඹ සන්නිය චිත්‍රපටය බලපු නිසා හර්ෂ උඩකන්ද කියන නම දැනගෙන තිබුණත් රුවින් ඒ කවුද කියන්න මුලින්ම දැනගෙන හිටියේ නැහැ. ඔය අතරේ තමයි 2021 ලොක්කිගෙ කතාවට මට කතා කරේ. හර්ෂ අයියාගේ කටහඬත් එක්ක මම මුලින්ම හිතුවේ ටිකක් වයසක කෙනෙක් කියලා. ඒ නිසා ලොක්කිගෙ කතාව කොහොම එකක් වෙයිද කියන සිතුවිල්ලෙන් තමයි ලොක්කි 1 නාට්‍යයට ආවෙත්. ඒ ඇවිත් හර්ෂ අයියාව මුලින්ම දැක්කේ පාන්දර 5ට විතර ලොජ් එකේ මේකප් කරන තැනදී. කොහොම හරි ලොක්කි 1 කතාව ඉවර වෙද්දි නාට්‍ය කණ්ඩායම එක පවුලක් වගේ මිතුරු වුණා. මේ යාළුකම කොයිතරම් ද කියනවා නම් නිතරම හමුවෙන්න සාද පවත්වන්න ලොක්කි කණ්ඩායමම පුරුදු වුණා. මේ හිතවත්කම කොයිතරම් ද කියනවා නම් මට අයියාව ස්පෙෂල් අයියාට මාව ස්පෙෂල්. ඒ වෙද්දී මට පෙම්වතෙක් හිටියා. ඒ වෙද්දී හර්ෂ අයියා නම් ආදරය නිසාම ලොකු සීන්.”


මේ කතාබහට අඩුවැඩිය එකතු කළේ හර්ෂ


“මගේ අවුරුදු හතරක් තිස්සෙ තිබුණ ආදර කතාව බිඳ වැටිලා හිටිය කාලය. ඒ ආදර කතාව ගැනත් ක්ෂේත්‍රයේ ගොඩක් දෙනා දන්නවා. ඒක ඉවර වෙලත් අවුරුද්දක්වත් නැති වකවානුවක තමයි අපි හොඳ යාළුවො වුණේ.“


ආයෙමත් කතාව පටන් ගත්තේ ශලිනි.


“කොහොම හරි අපි නාට්‍ය කණ්ඩායම ගෲප් කෝල් එකක ඉන්නකොට මගේ බෝයි ෆ්‍රෙන්ඩ් කෝල් කළොත් ‘අනේ අයියේ බෝයිෆ්‍රෙන්ඩ් කෝල් කරනවා මම කෝල් එක තියන්නම්‘ කියලා ගෲප් කෝල් එකෙන් ගිය අවස්ථාත් තියෙනවා. හර්ෂ අයියයි මමයි හොඳ යාළුවො. ලොක්කි 2 පටන් ගන්නතුරුත් අපි පැයක් දෙකක් වගේ කෝල් එකේ එක එක දේවල් ගැන කතා කළා. ඒ සමහර දේවල් අපි දෙන්නා ගැනත් නෙවෙයි.“


ශලිනිගේ කතාවට එක්වෙමින් හර්ෂ පැවසුවේ මෙවැනි කතාවක්.


“ලොක්කි 2 පටන් ගත්තේ 2023 මේ අවුරුද්දෙ. ඒ වෙනකනුත් දවසට එක සැරයක් හරි මම ශලිනිට කෝල් කරනවා. නැත්නම් එයා කෝල් කරනවා. කෝල් නොකළොත් මොකද අද සයිලන්ට් කියලා හරි බලන්න කෝල් එකක් දෙනවා. ඒ තරමටම අපි ආදරේ කරන්නත් කලින් ඉඳලා අපිට අපි නැතුවම බැරි හොඳ යාළුවො වුණා. මොන ප්‍රශ්නය ආවත් ඉස්සෙල්ලාම මම කියන්නෙ මෙයාට. මෙයාට ප්‍රශ්නයක් ආවොත් ඉස්සෙල්ලාම කියන්නෙ මට. ඔය අතරේ තමා ශලිනි නංගිගෙ ආදර කතාවත් බ්‍රේකප් වුණේ.”


හර්ෂ එසේ කියන විට ශලිනි ද කතාවට එක් වුවා. ඇය හර්ෂ ගැන කතා කරන්නට වුයේ ලොකු විශ්වාසයකින්.


“මගේ තිබුණ ආදර කතාව නතර වුණා කියලා හර්ෂ අයියා ඒකෙන් ප්‍රයෝජන ගන්න හැදුවේ නැහැ. එයා මට උදවු කළා නැවත ආදරේ පටන් ගන්න. ඒ එක්කම මමත් මගේ එක එක යාළුවොන්ගෙ නම් කිය කියා හර්ෂ අයියාගෙන් ඇහුවා එයා ගැන මොකද හිතන්නෙ. එයා ඔයාට හොඳ නැද්ද කියලත්. ඒ වෙනකොට අයියා හිතන් හිටියේ තනියම ඉඳලා කවදා හරි මහණ වෙන්න. මම කැමැති වුණේ නැහැ මම දන්න මගේ හොඳම යාළුවෙක් ජීවිතේ ගැන ආදරේ නිසා කලකිරීමෙන් මහණ වෙනවට. මට ඕනේ වුණේ හර්ෂ අයියා විවාහ වෙලා පිළිවෙළක් වෙනවා දකින්න.“


ශලිනිගේ ඒ කතාවට හර්ෂ දුන්නේ මේවගේ උත්තරයක්.


“ඒ හැම වෙලාවෙම මම දුන්න උත්තරේ තමයි ඉස්සෙල්ලාම ඔයා මැරි කරන්න. ඊට පස්සෙ මම මැරි කරන්නම් කියන එක.”


ඒ කියන්නෙ හර්ෂගෙ හිතේ ශලිනි ගැන පොඩි හරි අදහසක් තිබ්බද?


“එහෙම එකක් නිසා නෙවෙයි. නමුත් අපි දෙන්නට දෙන්නා ස්පෙෂල් නිසා. යාළුකමකට එහා ගිය බැදීමක් අපි අතරේ තිබුණා. නමුත් කවදාවත් අපි දෙන්නා ආදරේ කරයි කියන තැනක හිටියේ නැහැ. කොහොම හරි මෙයාට ඔය අතරේ වෙන ප්‍රපොසල් එකක් ආවා. ඇත්තටම මම තමයි කිවුවෙ එයාට කැමැති වෙන්න කියලා උදවු කළේ මම. මොකද මට ඕනේ වුණේ මෙයාගෙ හිත හැදිලා මෙයා සතුටින් ඉන්නවා දකින්න.”


හර්ෂ එහෙම කියන්නේ ශලිනි දිහා බලමින්.


“ඒ බෝයිව හර්ෂ අයියා දන්න කෙනෙක්. හර්ෂ අයියා මගේ හිත හැදුවා ඒ එෆෙයාර් එක පටන් ගන්න. ඊට පස්සෙ ඒකට මමත් කැමැත්ත දුන්නා.“ ශලිනි එහෙම පවසන්නේ මඳ සිනාවක් නගාගෙන.


“හැබැයි ඒ එෆෙයාර් එක බොහොම ටික කාලයයි තිබ්බෙ. ඊට පස්සෙත් අපි කාලයක් තනියම හිටිය.”


හර්ෂ එහෙම කිවුවත් හිත හදාගන්න තමන් ගත් උත්සාහය ගැන ශලනි කියන්නේ මෙහෙම කතාවක්.


“මම මගේ ලයිෆ් එක හදාගන්න උත්සාහ කරා. මගේ හීනේ තිබුණා මේ මේ වයස් වෙද්දි මේ දේවල් වෙන්න ඕනේ. මම විවාහ වෙන්න ඕනේ වගේ දේවල් ටිකක්. ඒ නිසා ආදරෙන් පරදින්න පරදින්න මම ජීවිතේ දිනන්න උත්සාහ කළා.“


ශලනි හැමදේ අත්හැරියා. ඒ අත්හැරිය තැනින් ජීවිතය පටන් ගන්නේ ඔවුන් දෙදෙනාටවත් නොදැනීමයි. ඒ අතීතය සිහිකරන හර්ෂ


“මෙයා ආස කළේ මැරි කරලා රට යන්න. කොහොම හරි අපි අවුරුදු දෙක තුනක් තිස්සෙ දන්නවා. මටත් ජීවිතේට ආදරයක් ඕනෙනේ කියලා හිතිලා මෙයාට කියලම පටන් ගත්ත ආදර කතා තියෙනවා. නැත්තේ නැහැ. නමුත් ඒ ආදර කතා බොහොම කෙටි කාලයකින් මට ගැළපෙන්නේ නැහැ කියලා තේරුම් ගිය නිසා නැවතුණා. ඔය අතරේ මට හිතුණා ඇයි මම වෙන කෙනෙක් ගැන හිතන්නෙ ශලිනි නංගි මගේ ගැන හොඳින් හොයලා බලනවා. මෙයාගෙ පොඩි හරි වෙනස්කමක් වුණොත් මට දැනෙනවා.


සමහර වෙලාවට පුංචි පුංචි රණ්ඩු ඇති වෙලා කතා නොකරත් ඉන්නවා. කොහොම හරි මටම හිතිලා මෙයාගෙන් අහන්න ඕනේ කියලා මේ අවුරුද්දෙ තමයි මම ශලිනිට යෝජනා කළේ.”


ආදරේ කිවුවාම ශලිනි දෙසැරයක් නොහිතාම කැමැති වුණාද?


“හරියටම මාස දෙකක් හිටිය වචනයක් නොදී.


මට ඇත්තටම තිබුණ ප්‍රශ්නය තමයි අම්මා අකමැති වෙයි කියලා. ඒකට හේතු වුණේ මගේ අම්මා කැමැති වුණේ නැහැ මම කලා ක්ෂේත්‍රයේ කෙනෙක් ව කසාද බඳිනවට.


හර්ෂ අයියා කිවුවා අම්මගෙන් මම අහන්නම් කියලා. ඒ් වෙද්දි ඔහු අම්මා ඒක්ක හිතවත් වෙලා හිටියේ.


නමුත් මම අම්මට කියන්න කලින්ම ඔහුට කැමැත්ත දුන්නා. මේ තරම් මට ආදරේ කරන කෙනෙක් ලැබිලත් ඇයි මම තවම උත්තරයක් නොදෙන්නෙ සහ එහෙම කෙනෙක්ව ඇයි මම නැතිකර ගන්නෙ කියලා හිතුණ නිසා. මම ඇත්තටම හෙවුවෙ මට ආදරේ කරන එකිනෙකාට ගරු කරන කෙනෙක්. ඒ හැමදේම හර්ෂ අයියා ගාව තියෙනවා. මම උත්තරයක් නොදුන්නත් හර්ෂ අයියා දන්නවා මම ආදරෙයි කියලත්. ඒ මාස දෙක මම එයාට හිතින් ආදරේ කරපු කාලයක්. පසුව හර්ෂ අයියාම අම්මාගෙන් ඇහුවා. අපිට අම්මාගේ කැමැත්ත ආශීර්වාදය ලැබුණා.”


මේ අවුරුද්ද ඇතුළත වෙඩින් එක ගන්න නේද සූදානම කියලා ඇහුවාම හර්ෂ දුන්නේ මේ වගේ උත්තරයක්.


“එහෙම තමයි සැලසුම් කරගෙන යන්නෙ.


කාලයක් තිස්සෙ දන්නව වුණාට ආදරේ කරන්න පටන් ගත්තේ මේ අවුරුද්දෙනෙ. මේ අවුරුද්දෙම විවාහයකට යන්න මේ තමයි හරිම තීරණය කියලා හිතුණේ කොහොමද?


වගේම අවුරුදු තුනක් තිස්සෙ අපි දෙන්නා බොහොම ළඟින් දන්නා අය. හොඳම කතාව තමයි අපි දෙන්න ආදරේ කරන්නත් කලින් සමාජයේ මිනිස්සු අපි අතරේ ආදරයක් තියෙනවා කියලා කතාවක් හැදුවා.


අපි දෙන්නගෙම ජීවිතවල හැමදේම අපි දන්නව. හොඳම යාළුව, ගර්ල් ෆ්‍රෙන්ඩ් වෙලා වයිෆ් වෙනවා කියන්නෙ වෙන එකක්.”


මොනවගේ විවාහ උත්සවයක් ගන්නද සැලසුම කියලා ඇහුවම ඒකට උත්තරය දුන්නේ නම් ශලිනි.


“ලොකුවට විවාහය ගන්න අපි දෙන්නගෙම අදහසක් නැහැ. බොහො දුරට පවුලේ නැදෑ හිතවතුන්ට සීමා වුණු විවාහ මංගල්‍යයක් වෙයි. දිනය සහ තීම් එක සර්ප්‍රයිස් එකක්.


මම මුල ඉඳන්ම ආස කළේ විවාහයෙන් පස්සෙ පවුල් ජීවිතේට මුල් තැන දීලා හොඳ ආදරණීය බිරියක් විදිහට ජීවිතේ ගොඩනගා ගන්න. ඒ වුණාට හර්ෂ අයියා නම් කියන්නේ මට දිගටම වැඩ කරන්න කියලා. ඔහු මට කියන්නේ ප්‍රේක්ෂකයෙක් විදිහට මාව දකින් කැමැතිලු. ඒ නිසා වෙන අයගේ නිර්මාණවලටත් සම්බන්ධ වෙන්න කියලා.


මගේ නම්බර් වන් ෆෑන් හර්ෂ අයියා. ඒ නිසා මට හම්බ වුණු හොඳම කෙනා හර්ෂ අයියා.”


හර්ෂ ඉදිරියට නිර්මාණවලට අලුත් අලුත් මුහුණු එක්ක වැඩ කරයිනේ. ශලිනි ඒ ගැන මොකද හිතන්නෙ


“හර්ෂ අයියා එක්ක වැඩ කරන්න ලැබෙනවා කියන්නෙ ඒක වෙනම ලෙවල් එකක එක්ස්පීරියන්ස් එකක්. ඒ අත්දැකීම අලුත් අයත් ගන්න ඕනේ. මම ගර්ල් ෆ්‍රෙන්ඩ් නිසා කියනවා නෙවෙයි. රංගනය කියන්නෙ එක තැනක ඉදගෙන රඟපාන එක නෙවෙයි. අපිත් කාලයක් එහෙම හිරවෙලා ඉඳලා තියෙනවා. ඒ නිසා මම කැමැතියි අයියාගෙ නිර්මාණවලට අලුත් අය අරන් අයියාගෙ නිර්මාණයත් සාර්ථක වෙලා ඒ අයත් ශාප් වෙලා ඉන්නව දකින්න. බලාගෙන ඉන්නවා ආදරෙන් ඒ වගේ දෙයක් වෙනකම්. මම හැමදාම කියලා තියෙන්නේ මම සීයට සීයක් විශ්වාස කරනවා. ඒ විශ්වාසය රකින එක එයාගෙ දෙයක්. ඒ නිසා උපරිම නිදහස දීලා තියෙනවා.


පසෙකින් හිටිය හර්ෂ ඒ කතාවට උත්තර දුන්නේ මේ විදිහට.


“මෙයා ඒ ලබා දෙන නිදහස හැමෝටම හොඳ ආදර්ශයක්. මේ ලබා දෙන නිදහස එක්ක කිසිම දවසක හීනෙකින්වත් හිත රිද්දන්න හිතෙන්නෙ නැහැ. මගේ ජීවිතේ එකම දේ මෙයාව සතුටුකරන එක.


මම නිදහසේ ඉන්න කැමැති කෙනෙක්. දැන් ඉතින් මෙයා එක්ක පුරුදු වෙලා ඇවිදින්න යනවා. එයා ආස දෙයක් අරන් දීලා ඒකෙන් එයා සතුටු වෙන විදිහ දැකලා මම සතුටු වෙනවා


මේ අවුරුද්ද අවසන් වෙද්දි අලුත් චිත්‍රපටයක් කරන්න සැලසුම් කරගෙන යනවා. බොහො දුරට කොළඹ සන්නිය 2 චිත්‍රපටයේ රූපගත කිරීම් පටන් ගනීවි.“


ජීවිතේ මෙතෙක් ආ ගමන ගැන ශලිනිට මොකද හිතෙන්නෙ


“ජීවිතේ ගැන සතුටුයි. සමහර කාල සහ සිටුවේශන් ගැන පොඩි දුකක් තියෙනවා. මට ඒ අඳුරු කාලය ආපස්සට ගන්න පුළුවන් වුණානම් කියලා හිතෙනවා. මීට කලින් හර්ෂ අයියාව හමුවුණා නම් මම මීට වඩා හොඳ තැනක ඉඳියි. මම හරි ආසයි අයියා එක්ක මෙමරිස් එකතු කරන්න. මට මමම වෙන්න පුළුවන් කෙනෙක් ජීවිතේට ලැබුණා. ඒ නිසා මම දැන් සතුටින් ඉන්නවා.”


හර්ෂට කොහොමද අද ඉන්න ජීවිතේ දැනෙන්නෙ


“ජීවිතේ ට ලැබුණු හැමදේම අත්දැකීම්. ඒ අත්දැකීම් ජීවිතේට ලොකු පාඩම් කියාදෙනවා. ජීවිතේ ලබන අත්දැකීම්වලින් අනාගතය ලස්සන කරගන්න පුළුවන් නම් ඒක තමයි ලොකුම දේ. අද වෙද්දි හර්ෂ උඩකන්ද කියලා සිනමාකරුවෙක් හෝ නිර්මාණකරුවෙක් ඉන්නවා නම් ඒක පිටුපස ඉන්නෙ මේ ආදරණීය ප්‍රේක්ෂකයන්. ප්‍රේක්ෂකයන් තමයි මේ ක්ෂේත්‍රයේ මෙච්චර දුරක් ගෙනාවේ. ඒ නිසා ඒ ආදරණීය ප්‍රේක්ෂකයන් ට මම හැමදාමත් ආදරෙයි.





Previous Post Next Post