මට ප්‍රේම සබඳතා හය හතක් තිබුණා-ඉසුරු ලොකුහෙට්ටිආරච්චි




පුංචි තිරයේ ආක්‍රමණශීලී කඩවසම් තාරුණ්‍යය දිනෙන් දින චලනය වෙමින් තිබේ. එහෙත් නිරහංකාර චරිත අපට හමු වන්නේ කලාතුරකිනි. නිහතමානීත්වය තුළින් ඉදිරියට ආ ඉසුරු ලොකුහෙට්ටිආරච්චි කියන්නේ කියන්නට ඕනෑ දෑ නොබියව අනෙකාට කියන කෙනෙකි. මේ කතා බහ ඒ දඩබ්බරයා සමඟයි.


ඉසුරු ලොකුහෙට්ටිආරච්චි කියන්නේ කවුද?


රංගන ශිල්පියෙක්.


 රංගන ශිල්පියෙක් විදිහට කලාව තුළින් මෙරට ජනතාවට දෙන පණිවුඩය ගැන ඔබ සෑහීමකට පත්වෙනවා ද?


සෑම විටම මම නිර්මාණ තුළින් යහපත් පණිවිඩයක් සමාජයට ගෙන යන්නට උත්සාහ කරනවා. ඒක මට තනියෙන් කරන්න බැහැ. සමස්ත නිර්මාණයම සමාජය යහපත් කරන්න අවැසි පණිවිඩයකින් යුක්ත විය යුතුයි. කොහොම නමුත් මම සෑහීමකට පත් වෙනවා වගේම මම වැඩ කරන්නෙ සෑහීමකට පත් වෙන්න පුළුවන් නිර්මාණත් එක්කයි.


 නිර්මාණ තෝරා ගැනීම ගැන කියන්නේ මොනවද?


සාමාන්‍යයෙන් නිර්මාණයක් සමාජ, ආර්ථික, අධ්‍යාපන, දේශපාලන සන්දර්භය තුළ ඉතා උසස් නිර්මාණයක් විය යුතුයි. ගීතය, නාට්‍ය, චිත්‍රපට මේ සියල්ල ජන සමාජයට යමක් විතැන් කරන තැනට සිදුවිය යුතුයි. අපේ රටේ ටෙලි නාට්‍ය ඇතුළේ චිත්‍රපටත් චිත්‍රපට තුළ ටෙලිනාට්‍යත් කරන්න හොඳ නැහැ. මේ කාරණා ගැන මම සැලකිලිමත් වෙනවා.


 

ඔබ රංග කලාව පිළිබඳ හදාරා තිබෙනවා ද?


මම සෞන්දර්යය විශ්වවිද්‍යාලයේ ඩිප්ලෝමා පාඨමාලාවක් කළා. ඒත් අපේ රටේ කිසිම දෙයක් ඉගෙන නොගෙන කරන්න පුළුවන් වෘත්තීන් දෙකක් තියෙනවා. එකක් දේශපාලනය. අනෙක කලාව. මෙලෝ දෙයක් දන්නෙ නැති අමු හොරෙකුට අපි ඡන්දෙ දෙනවා. ඒ වගේම තමයි මෙලෝ දෙයක් දන්නෙ නැති කෙනකුට රඟපාන්න දෙනවා. මේ රටේ ව්‍යසනයට ප්‍රධාන හේතුව වෙලා තියෙන්නෙත් මේ කාරණය තමයි. අද අපේ රටේ ස්ටාර්ස්ලා කියන්නේ දේශපාලනඥයෝ විතරයි. වෙනත් කාටවත් ස්ටාර්ස්ලා වෙන්න දෙන්නෙ නැහැ.


 

කලාව තුළින් මේ තත්ත්වයට බලපෑම් කරන්න පුළුවන් නේද?


අපේ රටේ ඒක කරන්න බැහැ. කරන්න දෙන්නෙ නැහැ. ලෝකෙ හැම තැනම මේ ප්‍රශ්නය තියෙනවා. අද රට තියෙන තත්ත්වයත් එක්ක වෙනස් වෙන්න ඕනෑ ජනතාවයි. ඒත් ඔවුන් වෙනස් වෙන්නෙ නැහැ. ඔවුන්ට ඉතා ඉක්මනට හැමදේම අමතක වෙනවා.


 

දේශපාලනයට එන්න අදහසක් තියෙනවා ද?


අපෝ නැහැ. දේශපාලනය කරන්න තියා මේ ක්‍රමය තියෙන තුරු ආයෙ මේ රටේ මම ඉපදුණේ නැතත් කමක් නැහැ.


 

ඔබ හමුදා නිලධාරියෙක් ලෙස කටයුතු කළ කාලයේ අමතක නොවන මතකය මොකක් ද?


මම හමුදාවෙන් ඉවත් වෙන්න හේතුවත් එක් නිලධාරියෙක්ගෙ ක්‍රියාකලාපයක්. ඒ තුළත් තියෙනවා මිනිහෙකුට ඉස්සරහට එන්නට නොදෙන තත්ත්වයක්. ඒත් ඉතා හොඳ නිලධාරින් යුද හමුදාවෙ ඉන්නවා. ඒ හැමෝටම මගෙන් ඩබල් සැලියුට්.


 

ශ්‍රී ලංකාවේ මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔබ දකින්නේ කොහොම ද?


කොහොමත් අපේ මිනිස්සු අනුන්ගෙ දේ හොයන එක තමයි කරන්නේ. ජනප්‍රිය අයගෙ තොරතුරු දැන ගන්න ජනතාව කැමැතියි. ජනප්‍රිය කෙනෙක් මොනවා හරි කළාම ඒක ප්‍රවෘත්තියක්. ගොසිප් එකක් වෙනවා. ඒක සාමාන්‍යයි. මාධ්‍ය මොනවා කළත් මිනිස්සු ඇත්තත් එක්ක ජීවත් වෙනවා නම් ගොඩක් හොඳයි. මම පොළවේ පයගහලා ඉන්නෙ. නළුකම ඔළුවේ තියාගෙන නැහැ.


 

ඔබ ආවේගශීලී චරිතයක් නේද?


ආවේගශීලී වගේ පේන්නෙ ඇයි දන්නවද? හැම කෙනාම හෙළුවෙන් ඉන්නකොට ඇඳුම් ඇදගෙන ඉන්න කෙනා වෙනම පේන්න ගන්නවා. අපේ රටේ හුරුවෙලා තියෙන්නෙ මට කියලා තට්ටු තුනේ ගෙයක් හදා ගත්තා, වාහනයක් ගත්තා දැන් මට ඉන්න පුළුවන් කියන මතයේ බොහෝ දෙනෙක් ඉන්නෙ. තමන්ගෙ වැඩ ටික කරගත්තට පස්සෙ අපේ මිනිස්සු කට වහගෙන ඉන්නවා. මම නම් හොඳ පිට කොන්දක් සහිත කෙනෙක්. ඒ නිසා පෝලිමේ ඉඳලා පෝලිමෙන් පිට පැන්නොත් මම කතා කරනවා. එන්න එන්න පෝලිමේ පස්සට යන්න කියනවා. ඕක තමයි ආවේගශීලියි වගේ පේන්නේ. එහෙම අය තමයි මේ රට වෙනස් කරන්න ඕනෑ කියලා අරගල කරන්නේ.


 

ඔබ හොඳ හඬ කැවීම් ශිල්පියෙක් නේද?


මම මුලින්ම සිරස නාලිකාවෙන් තමයි හඬ කවන්න ගත්තේ. මේ කාලයේ නම් හඬ කැවීම් කරන්න වෙලාවක් නැති ගානට වැඩ. හඬ කැවීම මගේ රංගනයට ලොකු පන්නරයක් වුණා.


 

අපේ රටේ බොහෝ රංගන ශිල්පීන්, ශිල්පිනියන් තරගෙට දික්කසාද වෙන්නෙ ඇයි?


ලංකාවේ කලාකරුවෝ බොහෝම සුළු ප්‍රමාණයක් තමයි ඉන්නෙ. හැබැයි ඈත ගමක කෙනෙක් දික්කසාද වුණොත් ඒක රටම දන්නෙ නැහැ. නමුත් ජනප්‍රිය කෙනෙක් වෙන් වුණොත් ඒක රටම දන්නවා. කොහොම නමුත් එකට ඉන්න බැරි නම්, ගහ මරා ගන්නෙ නැතිව, දරුවො අනාථ කරන්නෙ නැතිව වෙන්වෙලා යන එක හොඳයි. ඒකත් බුද්ධිමත්ව වෙන් වන්නයි ඕනෑ. කලාකරුවෝ වැඩියෙන් දික්කසාද වෙනවා වගේ පෙනුණාට සමාජය ඇතුළේ මේ ප්‍රශ්නය ඕනෑවටත් වඩා තියෙනවා. ඒවා ප්‍රසිද්ධ නැහැ.


 

පෙම්වතියට මොකද වුණේ?


මේ වෙන කොට මට ප්‍රේම සබඳතා හය හතක් තිබිලා බිඳ වැටිලා තියෙනවා. ඒත් හැමෝම දන්නෙ තරින්දිගෙ කතාව විතරයි.


 

මම කිව්වොත් ප්‍රේම සබඳතා සියයකින් හරි හරිම කෙනා හමුවුණොත් සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන එක හොඳයි කියලා?


ඒක හරි. ඒත් බැඳලා අවුරුදු පනහක් එකට ඉඳලත් ඉන්න බැරි නම් පනස් එක් වැනි අවුරුද්දෙ වෙන් වුණාට කමක් නැහැ. මේ කාරණය සංස්කෘතිකයි. එක මිනි‍ෙසක් නිර්මාණය වෙලා තියෙන්නේ තනියෙන් ඉන්න. දෙන්නෙක් එකට ඉන්නවා කියන්නෙ සංස්කෘතික කාරණයක්. මරා ගෙන එකට ඉන්නවට වඩා මම දකින්නෙ බුද්ධිමත්ව වෙන් වෙන එක හොඳයි. බුද්ධිමත්ව එකට ජීවත් වෙන්න පුළුවන් නම් ඒක වඩාත් හොඳයි.





Previous Post Next Post