නිදි මරාගෙන අතපය තුවාල කරගෙන කරපු මහන්සියට ප්‍රතිඵල ලැබෙමින් පවතිනවා - උදාරි වර්ණකුලසුරිය






කොහොමද මේ දවස්වල වැඩ කටයුතු?


පසුගිය කාලය පුරාවෙම මම බොහෝ සේ ගත කළේ කාර්යබහුල දිවියක්. එසේ රූගත කිරීම් කළ සිනමාපට අටකින් කිහිපයක් මේ දිනවල තිරගත වෙනවා. එසේ තිරගත වන සිනමාපටයන්හි ප්‍රවර්ධන කටයුතුවල නිරත වෙමින් කාලය ගෙවී යනවා.


මිදුණු විශ්වය, ක්ෂිර සාගරය කැලඹිණ, දෙවැනි යුද්ධය සිනමාපට ත්‍රිත්වයේ පතාක කටවුට් චිත්‍රපට සංස්ථාව ඉස්සරහ අපිට පේනවා. ඔබට මේ ගැන මොකද හිතෙන්නෙ?


මට මේ ගැන ගොඩක් සතුටුයි. ඒක මගේ පෙර  පුණ්‍යකර්මයක් නිසා මට ලැබුණු දෙයක්. බෞද්ධාලෝක මාවතේ එකම රංගන ශිල්පිනියකගේ නිර්මාණ ත්‍රිත්වයක් දකින්න ලැබීම හරි කලාතුරකින් සිදු වෙන දෙයක්. මේ දෙය කලාකරුවෙක්ට විඳගන්න ලැබෙන අවස්ථා හරිම විරලයි. ඒ  අවස්ථාවට හිමිකම් කීමේ භාග්‍යවන්ත බව මට ලැබිලා තිබෙනවා. ඒ සතුට මම හරිම අහිංසක ලෙස භුක්ති විඳිනවා.


ක්ෂිර සාගරය කැලඹිණ සිනමාපටය ගැන කතා කරමු?


මුලින්ම සුනිල් ආරියරත්නයන්ට ස්තුතිවන්ත වෙනවා මාව මෙම චරිතයට තෝරා ගැනීම පිළිබඳව. මා ගැන විශ්වාස කරමින් පුරම්භිකාගේ චරිතය මට ලබාදීම මට සතුටක්. ජැක්සන් ඇන්තනී කියන විශිෂ්ටයාටත් මම මේ මොහොතේ ස්තුතිවන්ත වෙන්න ඕන මෙහි තිරපිටපත රචනා කරමින් මාව මේ චරිතයට නිර්දේශ කිරීම පිළිබඳව. මේ ක්ෂේත්‍රයේ සිටින විශිෂ්ටයන් සමඟ මේ අයුරින් වැඩ කිරීමට ලැබීම මට විශාල සතුටක්.


මිදුණු විශ්වය සිනමාපටයේ රාජිණිගේ චරිතය රංගන ශිල්පිනියක් ලෙස ඔබට කළේ මොන වගේ අභියෝගයක්ද?


රඟපෑම අතින් ගත් විට මිදුණු විශ්වය චිත්‍රපටයේ මට සිදු කිරීමට තිබුණු කාර්යය අති දැවැන්තයි. ජයන්ත චන්ද්‍රසිරි මහතා රාජිණි මධිරාක්ෂි කියන චරිතයට මාව තෝරා ගැනීමම මා ලද භාග්‍යයක්. එවන් වූ බැරෑරුම් චරිතයක් ලබාදීමට ඔහු තීරණය කිරීම සම්බන්ධයෙන් මම ඔහුට ස්තුතිවන්ත වෙනවා. මෙම චිත්‍රපටය තුළ මට පරාසයන් හතරක රඟපෑමක් කරන්න තිබුණා. මේ චිත්‍රපටය තුළ සිටින චරිතය රංගන ශිල්පිනියක් කැමරාව ඉදිරිපිට ඇය රංගනයෙහි යෙදෙන අයුරින් රඟපෑම එක් පරාසයක්, ඒ වගේම ඇය සැබෑ ජීවිතයේදී ගත කරන ආකාරයත් මෙහි රඟ දක්වන්න වුණා එය වෙනත් පරාසයක්. චිත්‍රපට දිවිය තුළ ඇය රංගන ශිල්පිනියක් ලෙස අසාර්ථක ලෙස රංගනයෙහි යෙදෙන අයුරුත්, අවසානයේ සාර්ථක රංගන ශිල්පිනියක් බවට ඇය පත්වන අයුරුත් මෙම චිත්‍රපටය තුළ රඟපාන්න තිබුණා. මේ පරාසයන් හතර තුළ ‍ෙදා්ලනය වෙමින් තමයි මට රඟපෑමට සිදු වුණේ. මෙම චරිතය රඟපෑමට මට විශාල ශ්‍රමයක් දැරීමට සිදු වුණා. මේ පරාසයන් එක අයුරකින් රඟපෑවොත් මම අසමත්  වෙන්න ඉඩ තිබුණා. ඒ ඒ පරාසය  අනුව අනන්‍ය වෙමින් තමයි මම මගේ රංගන කාර්යයෙහි යෙදුණෙ. මම ඒ අභියෝගයට සාර්ථකව මුහුණ දුන්නා කියා මම සිතනවා.


වත්මන් සිනමාවේ නැඟීම පිළිබඳව ඔබේ අදහස?


ඒක ඇත්තටම විශාල සතුටක්. අපි නිදි මරාගෙන, දහදිය පෙරාගෙන, අතපය තුවාල කරගෙන, ලේ හලාගෙන කරන මහන්සියට නිසි ප්‍රතිඵලය ලැබෙමින් පවතිනවා කියලා මම හිතනවා. චිත්‍රපටයක් බලන තරම් සුන්දර නැහැ එය නිර්මාණය කිරීමට ගියාම. ප්‍රේක්ෂකයන්ට සිනමාව පිළිබඳව ලොකු උනන්දුවක් ඇතිවෙලා කියන එක දැනෙන එකම විශාල සතුටක්. දැන් සිනමාව තුළ ඉතා හොඳ නිර්මාණ තිබෙනවා. අපි සිනමාපට හදන්නෙ අපිම හදලා අපිම බලන්න නෙවෙයි. දයාබර ප්‍රේක්ෂකයා වෙනුවෙන්. එය භුක්ති විඳින්න කියලා දයාබර ප්‍රේක්ෂකයාට ආරාධනා කරනවා. සිනමාපටයක් නැරඹීමේ හරය තිබෙන්නෙ සිනමාශාලාවක් තුළ සිටම නැරඹීමෙන්. තව තවත් සිනමාශාලා වෙතට පැමිණිලා මේවා රසවිඳිමින් සැනසෙන්න නැළවෙන්න කියලා මම ආරාධනා කරනවා.


ඔබ හුදකලාව නම් වූ කලාවට ප්‍රිය කරන කෙනෙක්?


ඒක ඉස්සර ඉඳන්ම තිබුණු දෙයක්. මම යහළුවො ආශ්‍රය කරන්නෙ නැහැ. මම නිතරම ගෙදර ඉන්න කැමැති කෙනෙක්. රූගත කිරීම් නැති වෙලාවට රිවස්ටන් හරි හෝටන් ප්ලේස් හරි යනවා. ඒ ඇරෙන්න බොහෝ වෙලාවට ගෙදර ඉන්න තමා බොහෝ කැමැති. මිනිස්සුන්ගෙන් බැහැරව ඉන්න මම කැමැතියි. මම නිරන්තරයෙන් මෛත්‍රී භාවනාව කරන කෙනෙක්. එය ආධ්‍යාත්මික වශයෙන් මානසික හා ශරීරයට යහපත උදාකරනවා. වෙනත් කෙනෙක්ට මෛත්‍රි කළාම තමන්ගෙ ලේ පිරිසුදු  වෙනවා. තමන් ලස්සන වෙනවා. මම රංගන ශිල්පිනියන් එක් රැස් වෙන කිසිදු උත්සව අවස්ථාවකට අද වන තුරු සහභාගි  වී නැහැ. ඒ කිසිදු කෙනෙක් එක්ක මට කිසිදු තරහක් නැහැ. ඒ මගේ හැටි.


ඔබ වරෙක සඳහන් කරනවා සංජීව පුෂ්පකුමාර අධ්‍යක්ෂණය කළ ‘ආසු’ ඔබ වැඩියෙන්ම කැපකිරීම් කළ සිනමාපටය කියලා?


ඒ චරිතය සමඟ අනන්‍ය වීම මට ඉතා අපහසු වුණා. අනෙක් දෙය මට අවශ්‍ය විධියට ඒ චරිතයට පණ පෙවීමේ  හැකියාවක් තිබුණෙ නැහැ. මේක හිටපු කතා නායක කරු ජයසූරිය මහතාගේ සැබෑ ජීවිත කතාව. මේක සැබෑ කතාවක් ඇසුරින් නිර්මාණය වුණ සිනමාපටයක්. ඉන්දිරා ජයසූරිය කියන චරිතය ගත් විට ඇය සුබවාදීව මරණයට ලෑස්ති වුණු කෙනෙක්. ඇයට ඒ සඳහා විශාල ශක්තියක් වගේම පෞරුෂයක් තිබුණා. ඒ චරිතය නිකන් ඩයලොග් ටිකක් කියලා ඔහේ කරලා දාන්න පුළුවන් චරිතයක් නෙවෙයි. සංජීව පුෂ්පකුමාර වගේ අධ්‍යක්ෂවරයෙක් එක්ක රඟපාන එක ඉතා අපහසුයි. ඔහු  රංගන ශිල්පියාට ඔහේ රඟපාන්න ඉඩ හැරලා ඇක්ෂන් කට් කියන ජාතියෙ අධ්‍යක්ෂවරයෙක් නෙවෙයි. සංජීව පුෂ්පකුමාර මගෙන් බලාපොරොත්තු වන හරය ලබා දෙන්න මට ගොඩක් අමාරු වුණා. මම මෙයට  විශාල ලෙස පෙර පුහුණු වීම් කළා. පිළිකා රෝහලට ගිහින් එහි සිටින රෝගීන් සමඟ මුහු වෙමින් ඔවුන් අධ්‍යයනය කරමින් මම විශාල මහන්සියක් දැරුවා. මම ඔවුන්ට ආහාරපාන කවමින් පොවමින්, ඔවුන් කීමො තෙරපි දෙන අවස්ථාවල විඳවන හැටි සහ ඔවුන් එම වේදනාව වචනයට පෙරළලා කියන හැටි, ඔවුන්ගේ ශරීරයට කීමො තෙරපි ලබා දීමෙන් පසුව හටගන්නා ශාරීරික  දුර්වලකම් සහ මානසික ව්‍යාකූලතා පිළිබඳ මම විශාල අධ්‍යයනයක් කළා. ඇය සුබවාදීව තමන්ගේ් මරණය සැලසුම් කරපු තමන්ගෙ ජීවිතය දරුවන් වෙනුවෙන් කැප කළ අම්මා කෙනෙක්.


එකගෙයි සොකරි ඇයි තවමත් ප්‍රමාද?


මම රඟපාපු සිනමාපටවලින් කැමැතිම සිනමාපටයක් තමයි එකගෙයි සොකරි කියන්නේ. එය ජැක්සන් ඇන්තනී මහතා නිෂ්පාදනය කළ පළමු සිනමාපටය. එය ප්‍රමාද වී තිබෙන්නෙ ඉතා අවාසනාවන්ත ලෙස ජැක්සන් ඇන්තනී මහතා මුහුණදී තිබෙන රෝගී තත්ත්වය නිසා. මේ සිනමාපටය තුළ කියවෙන්නේ ලංකාවේ තිබුණු පොහොසත් සංස්කෘතියක් වන එකගෙයි කෑම කියන සදාචාර සම්පන්න විවාහ සංස්ථාව පිළිබඳව. නූතන යුගයේ මිනිස්සු මේ පිළිබඳව දැනුවත් විය යුතුයි කියා මම සිතනවා. බිබිලෙ තමයි මෙහි රූගත කිරීම් සිදු කළේ. එකගෙයි සොකරි ළඟදීම තිරගත වෙයි කියා බලාපොරොත්තු වෙනවා.


ගිහාන් සචින්ත





Previous Post Next Post