ඇත්තටම එතැන තිබුණේ ආදරයකට වඩා අනුකම්පාවක් - කල්ප පොල්ගම්පොල

 


කල්ප පොල්ගම්පොල දක්ෂ රංගන ශිල්පියෙක් වුණත් කලකට පෙර ඔහු ඒ සියල්ලෙන් බැහැර වූයේ සිය පුතු වෙනුවෙනි. නමුත් ඔහු යළිත් රංගනයට පිවිස ඇත. ඒ සිය පුතු ද සමඟිනි. මේ ඔහු සමඟ කළ කතාබහයි.


මුලින්ම කියන්න කොහොමද ඔබ කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ කියලා.


මම පාසැල් යන කාලේ ඉඳන්ම මෝස්තර නිරූපණ ශිල්පයට සහ රංගනයට කැමැත්තක් තිබුණා. සිරස ටිවී ආයතනයේ තිබුණා රංගන ශිල්පීන් තෝරන වැඩසටහන. එ්කට සහභාගී වෙලා මෝස්තර නිරූපණ ක්ෂේත්‍රයේ වැඩකටයුතු කරගෙන ඉන්නකොට තමයි නාලන් මෙන්ඩිස් මහතා එයාගේ ටෙලි නාට්‍යයකට මාව තෝරා ගන්නේ. ඒක විකාශනය වුණෙත් සිරස ටීවී එකේ. ඒ අතර තමයි මට වසූදා ටෙලි නාට්‍ය සඳහා ආරාධනා ලැබුණේ. ඒකත් එක්ක තවත් ටෙලි නාට්‍ය දෙක තුනකම මම රැඟපෑම් කළා.


ජීවිතය වෙනස් කළ ප්‍රේමය ආරම්භ වුණ ආකාරය ගැන කිවුවොත්.


වසූදා නාට්‍ය රූගත කිරීම් අතරතුර සිරස ටීවී ආයතනයේ විකාශය වූ නර්තන වැඩසටහනක විනිසුරුවරයෙක් ලෙස මම හිටියා. ඒ අතර සිටි එක් තරඟකාරියක් තමයි පසුකාලීනව මගේ පෙම්වතිය වෙන්නේ. ඇය ඒ වනවිට පාසල් ශිෂ්‍යාවක්. පසුව ඇය මගේ ජීවන සහකාරිය බවට පත්වෙනවා.


ආලය අන්ධයි කියලා දන්නේ නැද්ද?


ඔව්. මම පිළිගන්නවා. ආදරය අන්ධයි. මට අදටත් තියන එකම ප්‍රශ්නය තමයි ඇයි මම ඇයව කසාද බඳින්න තීරණය කළේ කියන එක.


කසාද බඳින්න තීරණය කිරිම අවිනිශ්චිතව ගත්ත එකක් ද ?


නැහැ කිසිම අවිනිශ්චිත බවක් මට තිබුණේ නෑ. ඇත්තටම එතැන තිබුණේ ආදරයකට වඩා අනුකම්පාවක් කිවුවොත් වඩාත් හරි. ඒ අනුකම්පාව පසු කාලීනව ආදරයක් බවට පත්වෙනවා.


ඇය වෙනුවෙන් මම බොහෝ දේවල් කැපකරලා තියනවා. ආසාවෙන් කළ රංගන ක්ෂේත්‍රය පවා මම අත්හරිනවා. නමුත් අපි දෙදෙනාගේ වෙන්ව යෑමෙදී මගේ ජීවිතය කඩා වැටුණේ නෑ. ඒකට එකම හේතුව මගේ පුතා. එයා වෙනුවෙන් ජීවත්වීම , කැපකිරීම කරන්න ඕනේ කියලා මම හිතුවා. සමහරවිට එයා හිටියේ නැත්නම් මගේ ජීවිතය මොන පැත්තකට යයිද කියලා මම දන්නේ නැ. ඒ නිසා මගේ ජීවිතයට මගේ පුතා අශීර්වාදයක් වුණා. එයා වෙනුවෙන් හැම දෙයක්ම කරන්න මම හිතා ගත්තා. පුතා මගේ භාරයට ගන්න කොට එයාට වයස අවුරුදු දෙකහමාරයි. එදා ඉඳන් අද වෙනකම්ම මම එයාට අම්මාගේ අඩුව දැනෙන්න දුන්නේ නෑ. පුතා තමයි මගේ ලෝකයම.


තමන් ඉතාම කැමැත්තෙන් කළ වෘත්තියක් අත්හරින්නට වුණාම මොකක්ද හිතුණේ.?


ඒක ඇත්තටම හරිම වේදනාවක්. එදා මාත් එක්ක හිටපු සමකාලීනයන් අද සිටින තැන සහ ඔවුන්ගේ නිර්මාණ දකිද්දී මට මං ගැන ලොකු දුකක් ඇතිවුණා. නමුත් මම රංගනයට වඩා ජීවිතයට මුල් තැන දුන්න කෙනෙක්. පළමුව බිරිඳගේ කීමට මම රංගන ක්ෂේත්‍රය අත්හරින්නේ පවුල් ජීවිතය වඩාත් හොඳින් සමබරව ගෙනියන්න. ඇය වෙන් වුණාට පස්සේ මම පුතා වෙනුවෙන් ඒ තීරණය ගන්නවා. මට මතකයි දවසක් නිශාන්ත ද අල්විස් අධ්‍යක්ෂවරයාගේ ටෙලිනාට්‍යයක රූගත කිරීමවලට යන්න වුණා. රූගත කිරීම් තිබුණේ කැකිරාවේ. ඒනිසා හැමදාම මට ගෙදර එන්න බැරිවුණා. ඒ රූගත කිරීම් නිම වී ගෙදර ආවාම පුතා මාව බදාගෙන අඬ අඬ කිවුවා


“අනේ තාත්තේ මාව දාලා යන්න එපා” කියලා. ඒ දැනුණු හැඟීමත් එක්ක මම රංගන දිවියට සඳහටම නැවතීම තියන්න හිතාගත්තා. ඊට පස්සේ මම ව්‍යපාරිකයෙක් ආයතනයක් කරගෙන ගියා. නමුත් පුතාට තනිකම දැනෙන නිසා ඒ ව්‍යාපාරයත් මම නැවැත්තුවා.


පිය සෙ‍ෙනහසට කවි ගී ලියවුණා මදියි කියලා කල්පටත් හිතෙනවා ද?


අනිවාර්යයෙන්ම . අපිට අපේ ළමා කාලය මතක නෑ.මම හැම වෙලාවේම මගේ දරුවා දිහා බැලුවේ මගේ ඇහෙන් නෙමෙයි, එයාගේ ඇහෙන්. ඒ නිසා මට හිතුණා ඒ හැම කැපකිරීමක්ම පුතා වෙනුවෙන් කරන්න. පිය සෙනෙහසට කවි ගී අඩුවෙන් ලියවුණත් තාත්තෙක්ගේ හැඟීම් මහමෙරකට වඩා උසයි, බරයි.


නැවත පරණ කල්පව උපද්දවන්නේ කොහොමද?


මගේ කලා ජීවිතය ඉවරයි කියලයි මම හිතුවේ. මගේ සැලැස්මක් තිබුණා මගේ පුතා එක්ක එංගලන්තයේ පදිංචියට යන්න. එහේ මගේ අයියා පදිංචිව ඉන්නවා. ඉතාම අහම්බයකින් එංගලන්තයේ ඉන්න මගේ අයියාට Ceyworld ආයතනයේ අධිපති ලසිත ගුණසේන මහතාව එක් ප්‍රිය සාදයකදි හමුවෙන්නෙ. ඒ හමුවීමේ ප්‍රතිඵලයක් විදිහට මම නැවතත් රංගන දිවියට පය තබනවා. ඒ මම විතරක් නෙමෙයි මගේ පුතාටත් ඔහු විසින් නිෂ්පාදනය කරන සෑම නිර්මාණයකම රඟපාන්න අවස්ථාවක් ලබා දෙමින්. ඇත්තටම ලසිත මහතාට මාව නැවත උපද්දවපු එකට සම්පූර්ණ ගෞරවය ලබෙන්න ඕනේ. ඊට අමතරව තවත් පුද්ගලයන් කීප දෙනෙක් ගැන මතක් කරන්නම ඔනේ. මදූෂාන් හත්ලහවත්ත අධ්‍යක්ෂණය කරන වාරකන් අස්වැන්න කියන ටෙලි නාට්‍යයේ රූගත කිරීම් මේ දවස්වල සිදු වෙනවා. ඊට අමතරව


ඉරේෂ් ලොකුබණ්ඩාර අධ්‍යක්ෂණය කරන, Ceyworld Media ආයතනයේ ප්‍රධාන පිටපත් රචක සමන්ත කුමාර ගමගේ මහතාගේ කතාව හා තිර රචනයෙන් සමන්විත ප්‍රමාද වැඩියි ටෙලි නාට්‍යයෙත් අරවින්ද වඩුතන්තිරි මහතා අධ්‍යක්ෂණය කරන සත්‍යා චිත්‍රපටයෙත් මගේ රංගන කෞෂල්‍යය ඉදිරියේදී ප්‍රේක්ෂකයන්ට බලා ගන්න පුළුවන්. ඉතිං මේ සියලුම දෙනාත් Ceyworld Media ආයතනයේ ප්‍රධාන නිලධාරියෙකු හා අධ්‍යක්ෂවරයකු වන ප්‍රදීප් ජයන්ත සමරකෝන් මහතාගේත් සහෝදර සබැඳියාව තමයි නැවත මේ ක්ෂේත්‍රයේ ආගමනයට හේතුපාදක වෙන්නේ.


ඔබේ කලින් බිරිය කලා ක්ෂේත්‍රයේ ඉතාම ජනප්‍රිය නිළියක්. කවදා හරි දවසක ඔබට ඇයත් සමඟ එකම නිර්මාණයක රඟපාන්න අවස්ථාවක් ලැබුණොත් ?


සාමාන්‍යයෙන් නිර්මාණ කටයුත්තක එහි රූගත කිරීම් පටන් ගන්න කලින්, නිරූපණ ශිල්පීන් කවුද කියලා දැන ගන්න පුළුවන්. ඉතිං එවැනි මොහොතක ඇය සිටිනවා නම් මම රඟපාන නිර්මාණයක. එය රූගත කිරීම් පටන් ගන්න කලියෙන්ම මම ඒ කටයුත්තෙන් ඉවත් වෙනවා.


ඔබ ආදරය ගැන හිතන්නෙ කොහොමද?


මට හිතන්නේ ආදරය කියන්නේ මිනිස් හදවත් තුළ උපදින හා මියයන තාවකාලික හැඟීමක් විතරයි. සමහර අය මගේ මේ මතය එක්ක එකඟ නොවෙන්න පුළුවන්. නමුත් මට ආදරය හරිම තාවකාලික දෙයක්. හැබැයි ඊට වඩා ලේ බැඳීම මත උපදින ආදරය සදාකාලිකයි කියලා මම විශ්වාස කරනවා.


මම ප්‍රේමය කියන මායාවෙන් එළියට ඇවිත්, ජීවිතය ජයග්‍රහණය කිරිම සඳහා වෙහෙසෙන කෙනෙක්.


ඔබට හිතෙන්නේ ජීවිතයට ඕනේ සිහිනද? එහෙම නැත්නම් අරමුණුද?


සිහින තුළ ජීවත් වෙන මිනිස්සු හරිම සුන්දරයි. අවංකයි. නමුත් අරමුණු කරා යන මිනිස්සු සමහර තැන්වලදී අවස්ථාවාදීයි. ඒක මගේ ජීවිතයේ අත්දැකීම් තුළ මම දැකපු දෙයක්. මම කැමැති සිහින තුළ ජීවත් වෙන්න. ඒ සිහින ඉටුවෙයි කියන බලාපොරොත්තුව එක්ක ඉන්න.





Previous Post Next Post