මම තාමත් පෙම්වතියක් නෙමෙයි-නෙතූ ගම්ලත්




අතීතයේ දිනක ඇය තත්සරන්නියක වූවාය. ඒ ඇය සතුව තිබූ වයලීන් වාදන හැකියාව නිසාය. එය ඇයට වාසනාව ගෙන ආවාය. නමින් නෙතූ ගම්ලත් වන ඇය රුක්මාල් නිරෝෂ්ගේ තත්සරන්නිය හි ප්‍රධාන භූමිකාව වූ අමිලියා වූයේ එලෙසිනි. එසේ තත්සරන්නියක ලෙස ආරම්භ කළ රංගන දිවිය මේ වන විට විවිධ ඉසව් කරා විසිරී ගොසිනි. ඇය මේ දිනවල ස්වාධීන රූපවාහිනී නාළිකාවේ විකාශය වන ජානුහි නොෂිකා ලෙසින් ඔබ හමුවට එන්නීය.


 


ජානු ටෙලි නාට්‍යය මේ දවස්වල ගොඩක් ජනප්‍රියයි. කොහොම ද නොෂිකට ලැබෙන ප්‍රතිචාර?


නොෂිකා කියන්නෙ කපටි, නපුරු, ගුප්ත චරිතයක්. එයාව තේරුම් ගන්න අමාරුයි. එයාගෙ වාසිය වෙනුවෙන් ඕනෑම දෙයක් කරන කෙනෙක්. හර්ෂණ බෙත්මගේ අයියගේ ඒ කියන්නෙ රන්දිගෙ පළවෙනි වයිෆ් විදිහට තමයි මං ඉන්නේ. ගොඩක් කල් ආදරය කරලයි විවාහ වෙන්නේ. නොසිතූ වෙලාවක මෙයාලට බබෙක් ලැබෙන්න එනවා. ඒත් නොෂිකා ෆිගර් එක අවුට් යාවි කියලා බබාල හදන්න කැමැති නෑ. නොසිතූ මොහොතක එයාට බබෙක් ලැබෙන්න එනවා. එයා ඒකට කැමැති නෑ. බබා ලැබුණම ෆිගර් එක අවුට් යනව කියලා ළමයට කිරි දෙන්නෙත් නෑ. මේ නිසා දෙන්න අතරේ ගැටලු ඇතිවෙලා ඒවා දුරදිග ගිහින් නොෂිකා බබාවයි රන්දිවයි අතහැරලා යනවා. දරුවෙක් එක්ක අසරණ වෙන රන්දි දරුව නිසා තවත් විවාහයක් කරගන්නවා. දෙවෙනි බිරිය දරුවාට හරිම ආදරෙයි. කලක් ගියාම නොෂිකා නැවත එනවා දරුවා ඉල්ලගෙන. ඔය විදිහට තමයි කතාව ගලාගෙන යන්නේ. නොෂිකාට ප්‍රතිචාර ගොඩක් ලැබෙනවා. නොෂිකා මේ දවස්වල ගොඩක් බැණුම් අහන චරිතයක්. ඒ නිසා බැණලා, දොස් කියලා තමයි ගොඩක් ප්‍රතිචාර ලැබෙන්නේ. මේකෙදි හර්ෂණ බෙත්මගේ අයියගෙන් ලොකු සහායක් ලැබුණා. ඒ ගැන මතක් කරන්නම ඕන. මං හොඳින් ඒ චරිතය කරන නිසානෙ මට ප්‍රේක්ෂකයො බැණලා ප්‍රතිචාර දක්වන්නේ. ඒ නිසා සතුටුයි.


ජානු ටෙලි නිර්මාණයට ඔබට ආරාධනා ලැබෙන්නේ කොහොමද?


ජානු අධ්‍යක්ෂ හසුන් සමීර අයියා තමයි මට මේ චරිතයට ආරාධනා කරන්නේ. මාව ඔළුවෙ තියාගෙන තමයි එයා ඒ චරිතය ලියලා තියෙන්නේ. ඔහු මට කිව්වා මෙහෙම චරිතයක් තියෙනවා මං ඔයාව ඔළුවෙ තියාගෙන තමයි මේක ලිව්වෙ කියලා. ළමයෙක් ඉන්න අම්ම කෙනෙක්ගේ චරිතයක් නිසා මට බය හිතුණා මගේ පෙනුමට මේක ගැළපේවිද කියලා. මං හසුන් අයියාගෙන් ඇහුවා මේක මට ගැළපේවිද කියලා. ඒ පාර හසුන් අයියා ඒ චරිතය ගැන පැහැදිලි කළා. වෙස්ටර්න් පෙනුම තමයි මේකට ඕන කියලා. ඊට පස්සෙ මං කැමැති වුණා. සමහර වෙලාවට ඒ චරිතයට හැඟීම් ගොඩක් පෙන්නන්න ඕන. ඒ තැන්වලදි හසුන් අයියා මෙහෙම කරන්න, මෙහෙම කරන්න කියලා ඒ චරිතය ගොඩනඟන්න ලොකු සහායක් දෙනවා.


 

ඔබ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නෙ?


ඒ දවස්වල මං වයලින් විශාරද විභාගය කරලා හිටියේ. මට හොඳට වයලින් වාදනය පුළුවන්. ඔය අතරෙ රුක්මාල් නිරෝෂ් අයියා වයලින් වාදනය කරන්න පුළුවන් ගෑනු ළමයෙක් හොයලා තිබුණා. මං ගැනත් දැනගෙන මට කතා කළා. ඔඩිෂන් එකෙන් මාව තේරුණා. ඊට පස්සෙ තමයි මගේ කුලුඳුල් රංගන අත්දැකීම විදිහට තත්සරන්නිය නාට්‍යයේ අමීලියා කියන ප්‍රධාන භූමිකාවට රංගනයෙන් දායක වුණේ. අමීලියා කියන්නේ අම්ම නැතුව තාත්තත් එක්ක තනියම හැදුණ වයලීනයත් එක්කම දුක, සතුට බෙදාගන්න චරිතයක්. ගොඩක් ප්‍රතිචාර ලැබුණු, ජනප්‍රිය වුණු චරිතයක්. ඊට පස්සේ ජාතික රූපවාහිනියෙ ටීවී ප්‍රසන්ටර් කෙනෙක් විදිහට වැඩ කළා. ටෙලි නිර්මාණ කිහිපයකටම සම්බන්ධ වුණා. ඒ අතරින් කැලුම් උඩුවාවලගේ බ්ලැක් ෆූල්, සුපුන් රත්නායකගේ තුම්පනේ ටෙලි නිර්මාණවල ප්‍රධාන චරිතවලින් දායක වුණා. තුම්පනේ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණු චරිතයක්.



ඔබට මෙතෙක් ලැබුණු බොහෝ චරිත බටහිර ආරෙ ඒවා. ඔබත් බටහිර ආරට කොටුවෙලාද?


මගේ පෙනුම නිසා ද මන්දා මට ගොඩක් දුරට ලැබුණෙ බටහිර පන්නයේ චරිත. කොටු වුණා කියලා කියන්නත් බෑ. ඒ චරිතයට මාව ගැළපෙන නිසා වෙන්න ඇති මට කතා කරන්නේ. මට තාම ඒ වගේ ගැමි චරිතයකට ආරාධනා ලැබිලා නැහැ. කොහොම වුණත් මාත් හරි ආසාවෙන් ඉන්නෙ ගැමි චරිතයක් කරන්න.


 

ගෙදරින් ලැබෙන සහාය ගැන සඳහන් කරමු නේද?


මගේ තාත්තා ආමි ඔෆිසර් කෙනෙක්. අම්මා හෙද සේවයට විදෙස්ගතවෙලයි ඉන්නේ. මට මල්ලි කෙනෙකුත් ඉන්නවා. මුලින්ම නම් ගෙදරින් කැමැති වුණේ නැහැ මං රංගනයට යොමු වෙනවට. ඒත් දැන් නම් එයාල ගොඩක් කැමැතියි මං රඟපානවට. එයාලගෙනුත් ලොකු සහායක් ලැබෙනවා.


 

ඉදිරි කටයුතු ගැන සඳහන් කළොත්?


මේ දවස්වල අලුත් නිර්මාණ දෙකකට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒවා ඉදිරියේ දී විකාශයට නියමිතයි. මං වයලින් විශාරද දක්වා කරලා තියෙනවා. වෝකල් පැත්තෙන් ඉන්දියන් ඩිප්ලෝමා දක්වා හදාරලා තියෙනවා. මානව සම්පත් කළමනාකරණය පිළිබඳ උපාධිය හදාරන ගමන්ම රංගන කටයුතුවලත් නියැළෙනවා. ඉදිරියේ දී මගේම කියලා ගීතයක් නිර්මාණය කිරීමේ බලාපොරොත්තුවකුත් තිබෙනවා.


 

නෙතූගෙ ආදරය ගැනත් කියමු නේද?


තාම පෙම්වතියක් නම් නොවෙයි. හැමදේම සුදුසු කාලෙදි, සුදුසු වෙලාවට ලැබෙයි. හොඳම දේවල් හම්බවෙන්නෙ හොඳම කාලෙට කියනවනේ. අපිට ඒක ලැබෙනකන් අපි හදිස්සි නොවී ඉන්න ඕන කියලයි මං හිතන්නේ. හිතන්නෙවත් නැති වෙලාවක බලාපොරොත්තු වුණු ආදරය ලැබෙන්නත් පුළුවන්.


 




Previous Post Next Post