එදා මම මේ දේ කිව්වා නම් මිනිස්සු හිතනවා මට පිස්සු කියලා- දමිත් අසංක




දිගු නිහැ¾ඩියාවකට පසුව නැවතත් ප්‍රසංග වේදිකාවට අවතීර්ණ වෙලා, පෙර තිබූ රසික ප්‍රසාදයම අඩු නැතිව නඩත්තු කරන දමිත් අසංක සමඟින් මෙවර ‘මව්බිම’ හදගැස්මෙන් අපි සම්මුඛ වුණා. දමිත් සංගීත වැඩ කටයුතු ගැන පමණක් නොවෙයි, ඔහුගේ පෞද්ගලික ජීවිතයේ හැලහැප්පීම් ගැනත් බොහෝ දේවල් අපි සංවාදය අතරවාරයේදී සාකච්ඡා කළා. රහතන්ගම නාගිත ස්වාමීන් වහන්සේගේ පද රචනයෙන් නිමැවුණු ‘කණාමැදිරි එළි’ ගැන යමක් කිව්වොත්?


කණාමැදිරි එළි කියන්නේ ආදර ගීතයක්. පසුගිය මාසයේ තමයි එය YouTube අවකාශයට මුදාහැරියේ. රහතන්ගම නාගිත ස්වාමීන් වහන්සේ ඒ ගීතය රචනා කළා. තනුව නිර්මාණය කළේ මම. ඒ වගේම අජිත් සංජීව පෙරේරා සංගීතයෙන් දායකත්වය ලාබාදුන්නා. ඉතාම නිවුණු ගීතයක් විධියට සහ ඇහුවම නිවෙන්න පුළුවන් ගීතයක් විධියට තමයි මම කණාමැදිරි එළි හ¾දුන්වා දෙන්නේ. මම ආදරණීය ප්‍රේක්ෂයකන්ගෙන් ඉල්ලනවා ටිකක් නිවී සැනසිල්ලේ ඉන්න වෙලාවක මේ ගීතය රසවිඳින්න කියලා. එතකොට නියම රසය දැනේවි.


පසුගිය කාලයේ නිර්මාණකරණයෙන් වගේම ප්‍රසංග වේදිකාවෙන් දමිත් තරමක් දුරට අෑත්වෙන්න බලපෑ හේතු මොනවාද?


මම ගායකයෙක් විධියට ගීත කරන්න ලොකු කාලයක් ගන්න කෙනෙක් නෙවෙයි. එය මාව දන්න හැම ප්‍රේක්ෂකයෙක්ම දන්නවා. මම උත්සාහ කරන්නේ මට ලැබෙන හැමවෙලාවකම අලුත් වැඩකට මගේ අවධානය දෙන්න. මම උත්සාහ කරන්නේ ලොකුකමක් නැතිව යම් අවස්ථාවක් ලැබුණොත් ඒ අවස්ථාව භාවිත කරලා අලුත් ගීතයක් කරන්න. නමුත් බොහොම අවසනාවන්ත විධියට පසුගිය කාලය පුරාවටම මට නිර්මාණ කරන්න බැරිවුණා. ඒකට ලොකුම හේතුව ගෙවී ගිය අර්බුදකාරී කාලසීමාව ඇතුළේ මතුවුණු ගැටලු ටික. අවුරුදු 4ක් විතර කොවිඩ් සහ ආර්ථික අර්බුදය නිසා අපට එකතැන රැඳී ඉන්න සිද්ධ වුණා. ඒ කාලයේ ගොඩක් අය හිතුවේ මම නිර්මාණකරණයෙන් පවා අෑත්වෙලා කියලයි.


ඒ කියන්නේ ඔබ නිර්මාණකරණයෙන් ඉවත් වූ බවට සමාජ මාධ්‍යවල පළවූ සටහන්වල කිසිදු සත්‍යතාවක් නැද්ද?


කොවිඩ් එන්න කලින් සමහර YouTube නාළිකා නිසා ලොකු ප්‍රශ්නයක් උද්ගත වුණා. මා සම්බන්ධ වැරදි ප්‍රතිචාර රැසක් ඒ නාළිකාවවලින් ජනගත කළා. නරකම දේ තමයි ඒ සිදුවීම් මාලාවේ උච්චතම අවස්ථාවේදී කොවිඩ් ව්‍යසනය නිසා මුළු රටම ලොක්ඩවුන් කළා. ඉතින් එතැනින් පස්සේ අවුරුදු 2 1/2ක් පමණ යනතුරු හරියට නිර්මාණයක් කරන්න අවකාශය ලැබුණේ නැහැ. ප්‍රසංග තිබුණේ නැහැ. ඒක අවස්ථාවක් කරගෙන තමයි ඔය YouTube නාළිකාවලින් මම වෙනත් මඟකට පිවිසිලා, දැන් සින්දු කියන්නේ නැහැ කියලා කියාපාන්න උත්සාහ කළේ. නමුත් ඉතින් අවසානයේදී සත්‍ය ජයගත්තා. ප්‍රසංග පටන්ගත්තට පස්සේ මම ආයෙත් වැඩ පටන්ගත්තා. මම බලාපොරොත්තු නොවූ අයත් මට ප්‍රසංගවලට ආරාධනා කළා. මම දැන් වඩා හොඳින් ජීවත් වෙනවා වගේම නිර්මාණකරණයේ නියැළෙනවා. සමහර මිනිස්සු කියන්න උත්සාහ කරපු දේවල් බොරු බවට ඔප්පු වෙලා තිබෙනවා.


මේ මොහොතේ බුදු දහම කෙරෙහි ඔබට ඇති නැඹුරුතාව සම්බන්ධයෙන් ප්‍රේක්ෂකයන් විවිධ මතිමතාන්තර නඟනවා. ඒ නැඹුරුතාව ගොඩනැඟෙන්න පසුබිම සැකසුණේ කොහොමද?


බුදු දහම තමයි මගේ ජීවිතයේ මම ආසම දේ. මම කුඩා කාලයේ සිටම ධර්මය වටහා ගත්ත කෙනෙක්. ධර්මයත් එක්ක ජීවත් වුණු කෙනෙක්. මම විශ්වාස කරනවා මගේ දෛවයේ තිබුණු කුමක් හෝ කාරණාවක් නිසා තමයි මම ගායකයෙක් වුණේ. දෛවය නිසා මම අවුරුදු 19 වෙද්දී මේ රටේ ඉන්න ජනප්‍රියම ගායකයෙක් බවට පත්වුණා. එතැනින් පස්සේ මම සිතාගත්තා මට දැන් මිනිසුන්ගේ සිත් සුවපත් කරන්න තිබෙන්නේ ගීත ගායනා කරලා කියලා. ඉතින් මම ඒ මාර්ගය තෝරාගත්තා. මම ඒ වෙලාවේදී බුදු දහම ගැනවත් ධර්මය ගැනවත් කිසිවක් කතා කරන්න ගියේ නැහැ. හේතුව මම ඒ මොහොතේ එය කතා කළා නම් මිනිස්සු මට අනිවාර්යෙන්ම පිස්සු කියනවා. මිනිස්සු ධර්මය තේරුම් ගන්න පුළුවන් තත්ත්වයක නැහැ. ඔවුන් ඉන්නේ මෝහයෙන්. ඉතින් ඒ නිසා තමයි මම රටේ තැනකට ඇවිල්ලා ජනප්‍රිය ගායකයෙක් වෙලා පසුකාලීනව බුදු දහම ගැන ගොඩක් දේවල් කතා කළේ. නමුත් මම දන්නවා තවමත් මම කියන දේවල් නොවැටහෙන පිරිසක් ඉන්නවා. ඒ කොහොම වුණත් මම හැමවෙලාවෙම සිතන්නේ මම ඉස්සරහට මීට වඩා යමක් බුදු දහම වෙනුවෙන් කරන්න අවශ්‍යයි කියලා.


එදා තිබූ ජන ප්‍රසාදය අදටත් එලෙසම නඩත්තු කරන්න දමිත් අසංකට හැකිව තිබෙන්නේ කුමන කාරණාවක් හේතු කොටගෙනද?


එයට පළමු හේතුව තමයි මම හොඳ බෞද්ධයකු වීම. ඒ තුළින් මට මම විධියට ඉදිරියට යන්න හොඳ දැක්මක් ලැබුණා. අනිත් කාරණාව තමයි මට මගේ ජීවිතය තුළ මුණගැහුණු ගුරුවරු. මට සාමාන්‍ය පෙළ ලියනකොට මුණගැහුණු සංගීත් නිපුන් විමලසිරි අලුත්පටබැඳිගේ කියන ගුරුවරයා මට හින්දුස්ථානී රාගධාරී සංගීතය තමයි ඉගැන්වූයේ. ඔහුගෙන් මම සංගීතය වගේම ජීවිතයත් ඉගෙනගත්තා. එසේම මම උසස් පෙළ කරන අවස්ථාවේදී බණ්ඩාරවෙල ධර්මපාල විද්‍යාලයේ මට මුණගැහුණු සම්පත් බටුගෙදර ගුරුවරයාගෙන් මම බොහෝ දේ ඉගෙනගත්තා. මම ඔවුන්ගේ ඇසුරේ හොඳ ගෝලයෙක් විධියට ගොඩනැඟුණා. සංගීතය කියන දේ වටහාගෙන ක්ෂේත්‍රයට ආවා. ඒකයි අදටත් මට එදා තරමටම රසික ප්‍රසාදයක් රැකගෙන මේ ගමන යන්න හැකිවෙලා තිබෙන්නේ. අද ගොඩක් නවක ගායන ශිල්පීන්ට හොඳ ගුරුවරුන්ගේ ඇසුර නැහැ. මාධ්‍ය ඇසුරට වැටිලා ආරම්භයේදීම ඔවුන් වැරදි මාර්ගවල තමයි ගමන් කරන්නේ.


ප්‍රසංගයකට ගියාම වැ¾දුම් පිදුම් ලැබිය හැකි ආකාරයේ කැරිස්මාවක් සහිත ගායන ශිල්පීන් මේ රටේ ඉන්නේ ඉතා අල්ප වශයෙන්. ඒ ස්වල්පයක් පිරිසට ඇතුළත් වන්නට හැකිවීම තුළ ඔබට දැනෙන හැඟීම කුමක්ද?


ප්‍රසංගවලට ගියාම රසිකයන්ගෙ වැ¾දුම් පිදුම් ලැබෙන එක මට විශාල ගෞරවයක්. ඒ වගේම ජයග්‍රහණයක්. එහෙම ගෞරව ලැබෙනකොට අපේ සිතත් තව තවත් පිරිසුදු වෙනවා. තව තවත් යහමඟට එන්න සිතෙනවා. තව තවත් නිර්මාණ කරන්න සිතෙනවා. රසිකයන්ගෙන් ලැබෙන වැ¾දුම් පිදුම් කියන එක හැමෝටම ලැබෙන දෙයක් නෙවෙයි. මම විශ්වාස කරනවා ඒකට යම් පිනකුත් තිබෙන්නම ඕන. මම වැ¾දුම් පිදුම් කියන දේවල් අපේක්ෂා කරන්නේ නෑ. නමුත් එහෙම කරන මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්වත් මම පෙරළා අගය කරනවා. මොකද ඔවුන් තමයි නිර්මාණයක් කරන්න අවශ්‍ය ශක්තිය එන්නත් කරන්නේ. ඒ ශක්තියෙන් තමයි අපි ඉස්සරහට යන්නේ.


දමිත්ගේ ඉදිරි සැලසුම් ගැනත් අපි අවසාන වශයෙන් කතා කරමු.


මට ලොකු හීනයක් තිබුණා සංගීත කණ්ඩායමක් නිර්මාණය කරන්න. නමුත් එය නිර්මාණය කරන්න ගිහිල්ලා මම එක වතාවක් නොවෙයි, දෙවතාවක් තුන්වතාවක්ම පරාජය වුණා. මගේ උත්සාහයන් අසාර්ථක වුණා. නමුත් මම ඒ පරාජය වීම්වලින් ඉගෙනගත්ත දේවල් ගොඩයි. රසිකයන්ට කරපු ඉදිරිපත් කිරීම් ගොඩයි. කොහොම වුණත් ඉදිරියටත් මම සැලසුම් කරනවා. ඒ උත්සාහය නැවත අරගෙන සංගීත කණඩායමක් නිර්මාණය කරන්න. ඒ වගේම මටම කියලා ශබ්දාගාරයක් නිර්මාණය කරගන්නත් ආසාවක් තිබෙනවා. අනිත් වැදගත්ම දේ තමයි දැන් ගීත කළාට ඒ ගීතවලට රූප රචනාවක් නැතිනම් ජනප්‍රියත්වයට පත්වෙන්නේ නෑ. ඉතින් මගේම කියලා රූප රචනා කණ්ඩායමක් නිර්මාණය කර ගැනීමත් ඉදිරියේදී සාක්ෂාත් කරගන්න නියමිත සැලසුමක්.


ප්‍රමේෂ් වික්‍රමසිංහ





Previous Post Next Post