මිදුණු විශ්වය මට විශ්වයෙන් ලැබුණු තෑග්ගක් -කුෂාණි සඳරේඛා




මේ දිනවල තිරගත වන ජයන්ත චන්ද්‍රසිරිගේ නවතම සිනමා නිර්මාණය වන ‘මිදුණු විශ්වය’ චිත්‍රපටයේ ගීත ගායනයෙන් එක්වෙන විශාරද කුෂාණි සඳරේඛා සමඟයි මෙවර අපේ පිළිසඳර. ඇය චිත්‍රපට පසුබිම් ගී ගායනයට අමුත්තියක නොවන්නේ අවුරුදු 7-8 ක් වැනි ඉතාම ළදරු වයසකදී පවා පසුබිම් ගායනයට එක්වීමෙන් ලද අත්දැකීම් සපැරූ තැනැත්තියක නිසාය. එසේම ඇගේ මවු පාර්ශ්වයෙන් මෙන්ම පිය පාර්ශ්වයෙන්ද ඇයට මේ හැකියාව ජන්ම ලාභයෙන්ම ලැබෙන්නට ඇති බව අපේ විශ්වාසයයි. මව මායා දමයන්තිය සේම, පියා වික්ටර් විජයන්තද මෙරට සිනමා ඉතිහාසයේ පසුබිම් ගී ගායනයෙහි සුවිශේෂ දක්ෂතා පෙන්වූ ගායක ගායිකාවන්ය. මේ සියල්ලම සමඟම අධ්‍යාපනයෙන් ලද දැනුම, පරිචය සේම නිරන්තර පුහුණුව සහ සත්‍යාභ්‍යාසයෙන් ඇය දින දිනම සිය හැකියාවන් දක්ෂතාවයන් වර්ධනය කර ගන්නීය. මිදුණ විශ්වයට විශ්වයෙන් එහාට යන ගීතවත් හඬක් තිළිණ කරන කුෂානි සඳරේඛා සමඟ කළ පිළිසඳරකි මේ.


‘මිදුණු විශ්වය’ චිත්‍රපටයේ ගායනය ඔබට දැනුණේ කොහොමද?


මගේ හිතේ හීනයක් තිබුණා ජයන්ත චන්ද්‍රසිරිත් සමඟ වැඩක් කරන්න ලැබෙනවා නම් කොච්චර හොඳද කියලා. මම ඒ කාලේ දඬුබස්නාමානය වැනි ටෙලිනාට්‍ය නරඹද්දි පවා මගේ හිතේ මේ ඇල්ම තිබුණා. දඬුබස්නාමානයේ කසුන්ගේ අම්මා ගායනා කරන ගීතය අහද්දි මට ආස හිතුණා. ඒවා අහද්දි දකිද්දි මට හිතුණා මෙයා වෙනම ආකාරයකට හිතන පතන කෙනෙක් කියලා. ඒ නිසා ඔහුත් සමඟ වැඩ කරන්න මම ගොඩාක් ආසාවෙන් හිටියා. ඒ අවස්ථාව මට හිමි වුණා කියන්නේ ඇත්තටම මගේ හීනයක් සැබෑවුණා වගේ වැඩක්. මිදුණු විශ්වයට මගේ සම්බන්ධ ඇත්තටම මට ලොකු අධ්‍යයනයක් පුහුණුවක් කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම මෙහි මට වැඩ කරන්න තිබුණේ මම ඉතාම ආදරය කරන, ගෞරව කරන සංගීත අධ්‍යක්ෂවරයකු සමඟ. ඒ නවරත්න ගමගේ. ඉතින් මිදුණු විශ්වය ගායනය ඇත්තටම මට විශ්වයෙන් ලැබුණු තෑග්ගක්.


 නවරත්න ගමගේ වැනි සංගීතඥයකු සමඟ ඔබ මීට කලින් වැඩ කරලා තිබුණද?


ඔව්. ඔහුත් සමඟ මම ඉනෝකා සත්‍යාංගනි ගේ ‘සින්ඩරෙල්ලා’ චිත්‍රපටයේ වැඩ කරලා තිබුණා. ඒ චිත්‍රපටය වෙනුවෙන් ඔහු මට ලස්සන ගීතයක් නිර්මාණය කරලා තිබුණා. ඊට පස්සේ චිත්‍රපටයකට කියලා මම සම්බන්ධ වෙන්නේ ‘මිදුණු විශ්වය’ චිත්‍රපටයට. නමුත් මම මගේ පළමුවැනි කැසට් පටය කරත්දි නවරත්න ගමගේ මහත්මයාගේ ගීතයක් එකතු කර ගත්තා. ඒ ගීතය රචනා කළේ ප්‍රීති රන්දෙණිය මහත්මිය. කොහොම වුණත් මම ප්‍රිය කරන චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් සහ ප්‍රිය කරන සංගීත අධ්‍යක්ෂවරයෙක් සමඟ වැඩ කරන්න ලැබුණු මේ අවස්ථාව මම හිතනවා මගේ සංගීත දිවියේ මම ලද විශාල වාසනාවක් කියලා. මේක මගේ සංගීත දිවියේ එක්තරා අන්දමක හැරවුම් ලක්ෂ්‍යයක් විදියට මම දකිනවා. විශේෂයෙන් මගේ චිත්‍රපට පසුබිම් ගීත ක්ෂේත්‍රයේ.


මුලින්ම මට ජයන්ත චන්ද්‍රසිරි මහත්මයාගේ වැඩකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙනවා කිව්වම මට විශ්වාස කර ගන්නත් බැරි වුණා. මොකද ඒක මගේ හීනයක් නිසා. මා තුළ පොඩි තිගැස්මකුත් තිබුණා. මොකද මම ඔහුට අවශ්‍ය දේ මොන විදියකින් හෝ දෙන්න ඕන. මුලින්ම මම හිතුවේ ඔහු ටිකක් තද චරිතයක් කියලා. නමුත් ඔහුත් සමඟ වැඩ කරගෙන යත්දි තේරුණා ඔහු කෙතරම් ආදරණිය, නම්‍යශීලී කෙනකුද යන වග. උගත්කම වැඩිවෙන්න වැඩිවෙන්න, බොහෝ දේවල් දැනගන්න දැනගන්න මිනිස්සු හරිම නිහතමානී වෙනවා කියන එකට ඔහු හොඳම උදාහරණයක්.


ජයන්ත චන්ද්‍රසිරි ඔහුගේ චිත්‍රපටයට ඔබේ හැඟිම් ගායනය ලබා ගන්න දුන්න උපදෙස් මොනවද?


ඔහු ඉතාම පැහැදිලිව ඔහුගේ චිත්‍රපට කතාව මට විස්තර කළා. මේ චිත්‍රපටය තල දෙකක දුවන චිත්‍රපටයක් බව, 60 දශකයේ හිටපු පැරැණි, ජනප්‍රිය නිළියක වටා බැඳුණු කතාවක් බව, ඔහු මට විස්තර කළා. අනෙක් පැත්තෙන් ඔහු මට පැහැදිලි කළා මේ චිත්‍රපටය පුරා ඩිවලොප් කරලා තියෙන්නේ ඉතාම වටිනා නිළි රැජිනක ගේ කතන්දරයක් බව. ඇයට තමයි මට පසුබිම් ගායනය කරන්න තියෙන්නේ කියන එක ඔහු මට මුලින්ම අවබෝධ කෙරෙව්වා. ඔහු මට කිව්වා දැන් ඔබගේ හඬ ඒ කාලයේ නිළියකට පසුබිම් ගීත ගායනා කරන කෙනෙකුගේ ආකාරයට වෙන්න ඕන කියලා. මේ චිත්‍රපටය මා ඉස්සරහා මවලා පෙන්නන විදියට ඔහු මට කතාව කිව්වා.අපි පළමු වතාවට නවරත්න ගමගේ සමඟ ජයන්ත චන්ද්‍රසිරිගේ නිවසේදි හමු වුණා. ඇත්තටම මේ චිත්‍රපටයේ වැඩ කරත්දි මට මතක් වුණේ ඒ කාලේ අපේ අම්මලා වැඩ කරන යුගයේ සිදුවුණු, අම්මා මා සමඟ කියලා තියෙන දේවල්. ඒ කාලෙදිත් චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා, සංගීත අධ්‍යක්ෂවරයා, ගායක ගායිකාවන්, වාදන ශිල්පීන් එකට එකතු වෙලා මේ වගේ සාකච්ඡා කරමින් වැඩ කරන ආකාරය ගැන අම්මා මට නිතර කියලා තිබුණා. මෙතනදි සිදුවුණෙත් එවැනි දෙයක්මයි. අපි එකට එකතු වෙලා සාකච්ඡා කරමින් මේ ගීත පුරුදු වෙන්න පටන් ගත්තා. ‘මිදුණු විශ්වය’ ගීතය නවා අයියා පුදුම විදියට මට පුහුණු කෙරෙව්වා. මගේ තිබුණු ශිල්පිය ගුණාංග ඇරෙන්න, ඔවුන්ගේ චිත්‍රපටය වර්ණ ගන්වන්න ඕන විදියට මාව පුරුදු කරමින් ඔවුන් මාව හැසිරෙව්වා. ඒක මට ඉගෙන ගන්න ගායන පාසලකට ගියා වගේ දෙයක් වුණා. මට නොලැබුණ ඇරියස් එකක් කවර් කරනවා වගේ හැඟීමකින් මගේ හිත පිරිලා තිබුණේ. බොහෝ වෙලාවට අපි කරන්නේ තනියෙන් ඇවිත් අදාළ කොටස නිම කරලා වන එකනේ. සමහර අවස්ථාවල මා සමඟ යුග ගී ගයන කෙනාවත් මට මුණ ගැහෙන්නේ නෑ. නමුත් මේ චිත්‍රපටයේ එහෙම වුණේ නෑ. අපි ඔක්කොම එක පවුලක් වගේ තම තමන්ගේ කොටම උපරිමයෙන් කරන්න උත්සාහ කළා. ජයන්ත අයියා හැම තිස්සේම මෙහි ප්‍රධාන නිළි චරිතය වුණු රාජිනී ගේ චරිතය මට මතක් කර දෙමින්, ඒ ඒ අවස්ථාවන්වලදි ඇය හැසිරෙන්නේ කොහොමද, ඇයට දැනෙන සංවේදනා මට දැනෙන විදියට විස්තර කරන්න පටන් ගත්තා. ඊට පස්සේ මම ඇය වෙලා මේ ගීත ගයන්න පටන් ගත්තා.


 දැන් චිත්‍රපටය තිරගත වෙනවා. රංගනය ගැන වගේම මේ චිත්‍රපටයේ ඔබේ ගායනය ගැනත් බොහෝ දෙනා කතා වෙනවා. මොනවද ඔබට ලැබෙන ප්‍රතිචාර?


චිත්‍රපටයේ නරඹපු මුල්ම දවසේ ඇත්තටම මට ඇඬුණා. ඒ වගේම තමයි නරඹන බොහෝ දෙනා මගේ ගායනය ගැන ඉහළින්ම කතා කරනවා. ගායන ශිල්පිනියකට ඇත්තටම වටින්නේ ඒ ලැබෙන ප්‍රතිචාර තමයි. ඉතින් මේ දිනවල ඒ ප්‍රතිචාර විඳීමින් ඉන්නවා. ඒ වගේම මට කියන්න ඕන මේ චිත්‍රපටයට දායක වුණු බුද්ධික ජයරත්න, උද්දික ප්‍රේමරත්න, උදාරි වර්ණසූරිය, චූලක්ෂි රණතුංග ඇතුළු සියලු දෙනා ඉතාම ලස්සනට මේ වැඩේ කරනවා. එකට එකතු වුණු පවුලක් වගේ මේ වැඩේ කරලා තියෙනවා කියන එක බලන ඕන කෙනකුට තේරෙනවා. අපි ශිල්පීන් වශයෙන් මේ වැඩේට සම්බන්ධ වෙලා ඉගෙන ගත්තා වගේම නරඹන්න එන ප්‍රේක්ෂකයන්ටත් රසාස්වාදය වගේම ඉගෙන ගන්න දේවලුත් බොහොමයක් තියෙනවා.


 ඔබ උදාරිට පසුබිම් ගායනා කරන පළවෙනි අවස්ථාවද මේ?


නෑනේ. මිට කලින් ප්‍රියන්ත කොළඹගේ ගේ ‘ආදරණිය කතාවක්’ චිත්‍රපටයේ මම පසුබිම් ගිත ගැයුවේ උදාරිටයි. 2016 වසරේ හොඳම ගායිකාවට හිමි සරසවිය සම්මානය මට ලැබුණේ ඒ වෙනුවෙන්. මෙවර මිදුණු විශ්වයේ උදාරිට කියන මේ ගීතය ලිව්වේ මුධුමනි අක්කා.. ඒ කියන්නේ ජයන්ත චන්ද්‍රසිරිගේ ආදරණිය බිරිඳ මධුමනි හපුආරච්චි. විශේෂයෙන් මේ වෙලාවේ මතක් කරන්න ඕන මේ ගීතයේ තනුවයි පදරචනයයි දෙකම කිරියි පැණියි වගේ එකට ගැළපිලා තියෙනවා. හැමදෙනාගෙම අවධානයට යොමුවුණු මේ ගීත මේ විදියට ගයන්න මාව හසුරවපු ජයන්ත අයියා වගේම සංගීතය නිර්මාණය කළ නවා අයියගේ සුසංයෝගය තමයි විශේෂ හේතුවක් වුණේ. නවා අයියා මගේ හඬ පරාසය කොහොමද කියලා හිතලා මාවත් මවාගෙන, ඒ වෙනුවෙන් රඟපාන උදාරිත් මවාගෙන තමයි මේ ගීත නිර්මාණය කරලා තියෙන්නේ. එතකොටනේ මගේ කටහඬේ තිබෙන විලාශයන් තව තවත් ඉස්මතු වෙන්නේ. මගේ හඩ පරාසයට ගැළපෙන්නේ නැති තැනක හැදුවා නම් ඒක ඔය තරම් ලස්සන වෙන්නේ නෑනේ.


 ඔබේ චිත්‍රපට පසුබිම් ගායනය ඇරැඹෙන්නේ ඔබ ඉතාම ළාබාල අවධියක ඉන්න කාලේ. ඒ ගැන මතක් කළොත්?


1987 තමයි මම මුලින්ම චිත්‍රපට පසුබිම් ගායනයට එක් වෙන්නේ. එතකොට ඇත්තටම කිවුවොත් මම අවුරුදු 7-8 ක ළදැරියක්. සුනිල් සෝම පීරිස් අධ්‍යක්ෂණය කළ සුනිල් ටි ප්‍රනාන්දු නිෂ්පාදනය කළ ‘චණ්ඩි රජා’ චිත්‍රපටයට තමයි මම මුලින්ම පසුබිම් ගිත ගැයුවේ. මට මතක හැටියට ඒ ගීතය ගායනා කළේ ලතා ඇන්ටි සහ ග්‍රේෂන් අන්කල් එක්කයි. ඇත්තටම මගේ ගායන ජීවිතය ඇරඹෙන්නෙම චිත්‍රපට පසුබිම් ගායනයෙන්. මම සරල ගී ගයන්න පෙලඹෙන්නේ ඊට පස්සේ. ගායිකාවක් විදියට ප්‍රේක්ෂකයෝ අතරට මම එන්නේ ‘වරංගනා’ ගීතයෙන්. මම මුලින්ම චිත්‍රපට ගායනයක් කළේ සරත් ද අල්විස් මහතාගේ සංගීතයට. ගී පද රචනය හේමසිරි හල්පිට මහතාගේ. ඒ විතරක් නොවෙයි, ඒ කාලේ මට සිනමා රංගනයටත් අවස්ථාව ලැබුණා. ඉතින් මේ හැම දෙයක්ම චිත්‍රපට පසුබිම් ගායනයට යොමු වෙන්න මට ලොකු උත්තේජන සැපයුවා.


 ඔබ 2016 වසරේ සරසවිය සම්මාන උලෙළේ විශිෂ්ටතම චිත්‍රපට පසුබිම් ගායිකාව වෙනවා. කොහොමද ඒ අත්දැකීම ?


ප්‍රියන්ත කොළඹගේ ගේ ‘ආදරණීය කතාවක්’ චිත්‍රපටයේ ගායනයට තමයි මට ඒ සම්මානය ලැබුණේ. ගීතය ලිව්වෙත් ප්‍රියන්ත කොළඹගේ මහත්මයාමයි. ඒ මතකය මගේ ජීවිතේ කවදාවත් අමතක නොවන සිද්ධීන් අතරට එක්වී තිබෙනවා. මේ ගෙවුණු කාල පරිච්ඡේදය පුරා මම චිත්‍රපට මහ ගොඩක ගීත ගායනා කරලා නෑ. කොපමණ කියල තියෙනවද කියලා මම ගණන් කරලත් නෑ. මට හිතෙන්නේ 25-30ක් වගේ ඇති.


 මිදුණු විශ්වයේ ඔබේ හඬ පරිත්‍යාග කරන්නේ 60 දශකයේ හිටපු නිළියකට. ඒ පැරැණි ගී තනුවලට ගීත ගායනය කරත්දි ඔබට ලැබුණු අත්දැකිම් මොනවද?


ඒ පැරැණි තනුවලට ගීත රචනා කළේත් ජයන්ත චන්ද්‍රසිරි මහත්මයාමයි. ජයන්ත චන්ද්‍රසිරි මහත්මයා ගීපද රචනයටත් දක්ෂයෙක් කියන එක මේ ගීත සාක්ෂි දරනවා. ට්‍රැක් එකකට ආපහු පද ලියන එක ලේසි පහසු කාර්යයක් නොවෙයි. අනිත් එක මේ තනු කාලයක් පුරා ප්‍රේක්ෂකයන්ගේ හදවතේ රැඳුණු තනු. ජයන්ත අයියා මෙතනදි මට කියපු දෙයක් තමයි පැරැණි ගීතයේ රසය එන්න ඕන. නමුත් ඒ විදියටම ෆොටෝ කොපි ගහන්නත් එපා කියන එක. දැන් ඒ ගීත අහනකොට තේරෙනවා ඒ හින්දි තනු ඒ විදියටම නොකියා මගේ විදියට සහ එතුමා කියපු විදියට ගායනා කරලා තිබෙනවා කියන එක. මට ඕනනම් ඒ විදියටමත් ගායනා කරන්න තිබුණා. නමුත් මම යම් යම් තැන් වෙනස් විදියට තමයි ගායනා කළේ.


මේ ගීත දහස් ගාණක් අහපු ගීත. හැබැයි ඒ විදියටම ඇහෙන්නත් බෑ. ඒ රසය නසන්නත් බෑ. මේක ගායිකාවකට අභියෝගයක් නොවෙයිද?


අනිවාර්යයෙන්ම අභියෝගයක්. ඒ රසය නොනසන්නත් ඕන. ඒ සඳහා ලියපු නව අර්ථපද අර්ථ ගන්වන්නත් ඕන. නිළියගේ රූපයට සරිලන හඬ පරාසයකුත් ඕන. ඒ අතරම මගේ ආරට මේ ගීත ගයන්නත් ඕන. ඉතින් ඒක අභියෝගයක් නොවෙයිද? මේ චිත්‍රපටයේ මංගල දර්ශනය බලපු බොහෝ ප්‍රවීණයෝ මේ ගීත ටිකට ආකර්ෂණය වෙලා මට හරියට ප්‍රශංසා කළා. ආශීර්වාද කළා. හරිම ලස්සනට කියලා තියෙනවා කියලා කිව්වා. ඉතින් ආශීර්වාදෙම මට ඇති.


 ඔබේ මව සහ පියා දෙදෙනාම ලංකාවේ චිත්‍රපට ගායන ක්ෂේත්‍රය තුළ නමක් දිනා ගත්තවුන්. ඒ ආභාසයත් ඔබේ මේ ගමනට පිටිවහලක් වෙන් ඇති?


මගේ අම්මා හා මම ගත්තම අපි දෙන්නා මේ ක්ෂේත්‍රය තුළ අහසට පොළොව වගේ. ඔවුන් කරපු දේවල් මට කරන්න බැහැ. මගේ තාත්තාත් එහෙමයි. නමුත් මේ දෙන්නගේ දියණිය විදියට ඔවුන්ගේ ජාන මටත් ඇති. අම්මා මේ ගීත ටික අහලා හරියට සතුටු වුණා. තාත්තාත් හිටියා නම් අනිවාර්යයෙන් සතුටු වෙයි. මට චිත්‍රපට ගායනයේදි පෙරදිග සංගීතය ඇසුරු කර ගත් මේ විදියේ ගායනයක් කරන්න අවස්ථාව ලැබිලා නෑ. බොහෝ විට මට ලැබිලා තියෙන්නේ බටහිරට නැඹුරු ගීත. ඉතින් ඒ නිසා මේක මට හොඳ හැරවුම් ලක්ෂ්‍යයක්.


 චිත්‍රපට පසුබිම් ගීත ක්ෂේත්‍රයේ ඉදිරිය කොහොම වෙයිද?


මම ඒක දකින්නේ බොහොම සුබවාදීව. අපේ රටේ ඉතාම දක්ෂ පිරිසක් ඉන්නවා. දක්ෂ ගායක ගායිකාවන් ඉන්නවා. සංගීත අධ්‍යක්ෂවරුන් ඉන්නවා. අපි හොඳ දේ කළොත් අපට හොඳ දේ ලැබෙයි.


 අනාගත ඉලක්ක මොනවද?


මට ඉලක්ක නෑ. මට ආසාවන් තියෙනවා. තව හොඳ නිර්මාණ ටිකක් කරන්න ආසාවක් තියෙනවා.


 අලුත් නිර්මාණ කටයුතු මොනවද?


අයිස්ක්‍රීම් චිත්‍රපටයට අලුතින් ගීතයක් කළා. ප්‍රියන්ත කොළඹගේ ගේ ‘මන්දාරා’ චිත්‍රපටයට ගීත ගායනා කළා. උපුල් ශාන්ත සන්නස්ගල කරන්න හදන ‘නිර්වාන්’ චිත්‍රපටයට ගීත ගායනා කළා. ඒ සමඟම පහුගිය කාලේ කසුන් සමඟ කළ ‘සරා සඳේ සිරියාවි’ ගීතය අලුත් විදියට එළි දැක්වූවා.


 




Previous Post Next Post