ප්‍රෙඩී සිල්වාගේ අඩිපාරේ යන පුතු ප්‍රගීත්

gossiplanka image 1
ප්‍රෙඩී සිල්වා ලාංකේය සිනමාවේ තවමත් නොබිඳෙන වාර්තාවක් තැබූ කලාකරුවෙක්. අද ඔහු අප අතර නැතත් ඔහු සිනමාව කලාව තුළ තැබූ මතක සටහන් තවමත් ජීවමානයි. රසඳුන අද අපේ කතානායකයා බවට පත් වෙන්නේ ප්‍රෙඩී සිල්වාගේ ආදරණිය බාල පුතණුවන් වන ප්‍රගීත් සිල්වා…


කොහොමද ජීවිතේ?


ජීවිතේ හොඳයි. සුපුරුදු රැකියාව කරන අතරේ තාත්තාගේ ගීත ගායනා කිරීම් සිදු කරනවා.


ප්‍රගීත් රැකියාවක් කරන ගමන් ද කලාව කරන්නේ?


ඔව්. මම පෞද්ගලික ආයතනයක රියැදුරු රැකියාවක් කරනවා.


කොහොමද ප්‍රසංග කටයුතු?


සාමාන්‍යය මට්ටමින් තියෙනවා. අප්‍රේල් මාසයේ නම් ප්‍රසංග කිහිපයක්ම තිබුණා. ලැබෙන ඇරයුම් අනුව ප්‍රසංග වලට සම්බන්ධ වෙනවා.


ලැබෙන ප්‍රතිචාර කොහොමද?


ප්‍රතිචාර නම් ඉතා ඉහළ මට්ටමින් තියෙනවා. මම මේ ක්ෂේත්‍රයට ඇවිත් දැන් අවුරුදු දෙකක් විතර වෙනවා. හැමෝම අහන්නේ ඇයි මෙච්චර කාලයක් ආවේ නැත්තේ කියලයි.


තාමත් තාත්තාගේ සින්දු පමණද වේදිකාවේ ගායනා කරන්නේ?


ඔව්. තාත්තාගේ සින්දුවලට තමයි ඉල්ලුම තියෙන්නේ. මට දැනෙන විදිහට අපේම ගීත කළාට වැඩක් වෙන්නෙත් නැහැ. තවත් කාලයක් යනකම්ම ඉල්ලුම තියෙන්නේ තාත්තාගේ


ගීතවලට. ඒ ඉල්ලුමට තමයි මම ගීත ගයන්නේ.


ඒ වුණාට ප්‍රගීත්ගේම ගීතත් කරන්න හිතුවේ නැද්ද?


එහෙම අදහසක් නැතුවත් නෙවෙයි. හැබැයි තාත්තලගේ ගීත ගයන පුත්තුන්ගෙන් බොහෝ වෙලාවට බලාපොරොත්තු වෙන්නේ තාත්තලාගේ ගීතම තමයි. ඒක මට විතරක් තියෙන ප්‍රශ්නයක් නෙවෙයි.


විදෙස් සංචාර වලට ගිහින් තියෙනවද?


තවම නම් නැහැ. සංචාර කිහිපයකට කතා කරගෙන යනවා. සමහර විට ඉදිරියේදී යන්න ලැබෙයි.


තාත්තාගේ ගීත අතරින් ප්‍රගීත් වැඩියෙන්ම කැමති ගීතය මොකක් ද?


මම කැමතිම මධුරුවතී කියන ගීතයට.


කූන් කූන් හැංගි හැංගි කනට පිඹිනවා.


ආන් ඕං මදුරුවති ඇඟට වහනවා


ඩාන් ඩොන් ඇණයට මිටි පහර වදිනවා.. ඒ ගීතය නම් වැඩිපුර කට්ටිය අහලත් නැතුව ඇති. හඳ මාමා වගේ


ගීතවලට මම වැඩියෙන් ප්‍රිය කරනවා.


වේදිකාවේදී වැඩිම ඉල්ලුමක් තියෙන ගීතය මොකක් ද?


මන්නාරම් පිටි වැල්ලේ සහ අලුත් කලාවක් වගේ ගීතවලට.


තාත්තාව එදාට වඩා අද දැනෙන විදිය කොහොමද?


තාත්තා නැති වෙද්දී මට වයස අවුරුදු 17යි. ඒ නිසා එදාට වඩා තාත්තාගේ වටිනාකම අද තදින්ම දැනෙනවා. මට සහ අක්කලා දෙන්නට මේ සමාජයේ වටිනාකමක් ලැබිලා තියෙන්නේ තාත්තාගේ නමට අදටත් රසිකයෝ ගරු කරන නිසා. මට තාත්තා ගැන නිහතමානී ආඩම්බරයක් තියෙනවා.


තාත්තාගේ රුව සහ කටහඬ කියන දෙකම ලැබීම ගැන මොකද හිතෙන්නේ?



ඒක තමයි මට ලැබුණු ලොකුම ආශීර්වාදය. මා එක්ක කතා කරන හැමෝම වගේ තාත්තා වගේමයි කටහඬත් ඒ වගේමයි කියද්දී ලැබෙන සතුට මට වචනවලට ගළපන්න බැහැ.


ප්‍රෙඩී සිල්වා කියන්නේ ලාංකේය සිනමාවේ තවමත් නොබිඳෙන වාර්තාවක් තැබූ කලාකරුවෙක්. ප්‍රගීත්ට රංගනයට ඇරයුම් ලැබුණේ නැද්ද?


ආරාධනා නම් කිහිපයක්ම ලැබුණා. හැබැයි මම එතරම් කැමැත්තක් නැහැ. රැකියාව වැදගත් නිසා ඕවාට යන්න කාලය හොයාගන්න අමාරුයි. සංගීත ප්‍රසංග නම් රෑට තියෙන නිසා රැකියාව එක්කම කරගෙන යන්න පුළුවන්.


එකම වෘත්තිය කලාව බවට පත් කර ගන්න ප්‍රගීත්ගේ අදහසක් නැද්ද?


නැහැ. එහෙම කිසිම අදහසක් නැහැ. ලංකාව වගේ රටක කලාව පමණක් කරලා ජීවත් වෙන්න අමාරුයි. කොහොමත් මම කලාවට එන්න කලින් රැකියාවක නියුතු වුණු කෙනෙක්නේ. ඒ නිසා මම හිතන්නේ රැකියාව කරන ගමන් කලාව කරන එක තමයි හොඳ.


ප්‍රගීත්ගේ පවුල් ජිවිතේ තොරතුරු මොනවද?


මම විවාහකයි. පුතාලා දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නා මොරටුව වේල්ස් කුමාර විද්‍යාලයේ ඉගෙන ගන්නවා. පුතාලා දෙන්නත් සංගීතය ඉගෙන ගන්නවා. මගේ බිරිඳත් එයාගෙම පොඩි ව්‍යාපාරයක යෙදෙනවා.


කොහොමද බිරියගෙන් ලැබෙන සහයෝගය…


බිරිඳ විතරක් නෙවෙයි, අම්මා අක්කා සහ බිරියගේ පවුලේ අයගෙන් විශාල සහයෝගයක් ලැබෙනවා. ඒ සහයෝගය නැතුව මේ ගමන එන්න බැහැ.


ආදරණීය රසිකත්වයට කියන්න දෙයක් ඇති?


ඒ ආදරණිය රසිකත්වයට කියන්න තියෙන්නේ හැමදාමත් ඔය විදියටම ඉන්න කියන එක තමයි. තාත්තාගේ නිර්මාණ අලුත් විදියකට ඉදිරියට ගෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ඉදිරියටත් මා එක්ක ඉන්න කියන ආදරණීය ආරාධනාව කරනවා.

Previous Post Next Post