මම කාගෙවත් හිත් නොරිද්දන සුහද කෙනෙක්-ශිරෝමි ෆ්ර්නැන්ඩු




වේදිකාගත වූ තම පළමු නිර්මාණයෙන්ම අතිසාර්ථක රංගන ශිල්පිනියක් වූ ඇය වේදිකාව අතික්‍රමණය කළ සොඳුරු ආදරණීය රංගන ශිල්පිනියකි. දුන්න දුණුගමුවේ, මකර රාක්ෂයාගේ ඒකාධිපති, කපුටු බෝල ඉතාලියේ කතාවක්, බඹරු වගේ, ප්‍රාණ ඇපකරුවා වැනි වේදිකා නාට්‍ය රැසකින් ඇය තම ප්‍රතිභාව විදහා දක්වා තිබේ. ඊට අමතරව පුංචි තිරයෙන්ද  විවිධ ආදරණීය චරිත රැසකින් හමුවන ඇය මේ දිනවල විකාශය වන හීනයකි මේ ආදරේ, රැල්ල වෙරළට ආදරෙයි සහ සංසාරිනී යන ටෙලි නාට්‍ය තුළින් බොහෝ රසික ප්‍රතිචාර ලබමින් සිටියි. ආදරණීය, නිහතමානී ප්‍රවීණ රංගන ශිල්පිනියක් වන ශිරෝමි ෆ්ර්නැන්ඩු  සමඟින් අදහස් බෙදාගත්තේ මෙලෙසින්. 


කොහොමද මේ දවස්වල ගෙවන ජීවිතේ?


ජීවිතේ දුක සතුට දෙක සම සමව ගෙවීගෙන යනවා. මේ දිනවල පුංචි මානසික සිත්තැවුලකින් තමයි කාලය ගත වෙන්නේ. මොකද මගේ අම්මා අසනීපයෙන් ඉන්න නිසා.


මේ දිනවල ඔබ නිරතවන කලා කටයුතු ගැන කතා කරමුද?                 


ඇත්තටම මේ දිනවල මගේ ටෙලි නාට්‍ය කිහිපයක්ම නාළිකා කිහිපයකම විකාශය වෙනවා. ස්වාධීන රූපවාහිනි සේවයෙන් හීනයකි මේ ආදරේ ටෙලි නාට්‍යත්, හිරු නාළිකාවෙන් රැල්ල වෙරළට ආදරෙයි සහ සංසාරිනී යන ටෙලි නාට්‍ය විකාශය වෙනවා. ඒ වගේම වේදිකා නාට්‍ය කිහිපයකටත් මේ දිනවල රංගනයෙන් දායක වෙනවා.


ඔබ රංගනයෙන් දායකවන ටෙලි නාට්‍යවල ඔබේ චරිතවලට ලැබෙන ප්‍රතිචාර කොහොමද?                 


මම ටෙලි නාට්‍ය තුනේදී රඟපාන්නේ සේවිකාවක්, මවක් සහ බිරියක් වැනි එකිනෙක වෙනස් වූ චරිත තුනක්. ඒ නිසාම වෙන්න ඇති, ආදරණීය රසික රසිකාවියන්ගෙන් ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.


ඔබ දායක වූ වේදිකා නාට්‍ය සහ ටෙලි නාට්‍ය නිර්මාණ ගැන කතා කළොත්?


මම රංගනයට පිවිසෙන්නේම වේදිකා නාට්‍ය තුළින්. ඒ ලීලානන්ද ගජනායක මහත්මාගේ සංවිධානයෙන් සරසවි සම්මාන උළෙලට ඉදිරිපත් කළ වේදිකා නාට්‍යයකින්. පසුව දුන්න දුණුගමුවේ, මකර රාක්ෂයාගේ ඒකාධිපති, කපුටු බෝල ඉතාලියේ කතාවක්, බඹරු වගේ, ප්‍රාණ ඇපකරුවා වැනි වේදිකා නාට්‍ය රැසකට රංගනයෙන් දායක වුණා. මේ වන විටත් ඉල්ලන් කෑම, අපි දඟකාරයෝ වැනි වේදිකා නාට්‍ය කිහිපයකටම රංගනයෙන් දායක වෙනවා. පසුකාලීනව යම රජ සිරි, කුසල්, ගින්දරී වැනි චිත්‍රපට කිහිපයකටත් රංගනයෙන් දායක වුණා. ඒ හැම එකක්ම රිලීස් වෙලායි තියෙන්නෙ. මෑත කාලයේදී නම් රටේ පැවැති වාතාවරණයත් එක්ක වැඩිය සිනමාව සමඟ සම්බන්ධ වුණේ නැහැ.


සිනමා ක්ෂේත්‍රය තුළ ඔබ පැමිණි ගමන් මඟ පිළිබඳව තෘප්තිමත්ද? 


ඇත්තටම ඔව්. මම මට ලැබුණ චරිතවලට ලොකු සාධාරණයක් කළා. මම ගොඩක් කැමැතියි රංගනය තුළින් මගේ ජීවිතයට ලැබුණු දේවල්වලට.


දක්ෂ චරිතාංග නිළියක් වශයෙන් ඔබ චරිත තෝරා ගැනීමේදී සැලකිලිමත් වන දේවල් මොනවාද?


මම මගේ පෞද්ගලික ජීවිතේ පිළිබඳව ගොඩක් හිතන කෙනෙක්. ඒ නිසාම මගේ පවුලේ අයගේ ගෞරවය පිළිබඳව චරිත තෝරා ගැනීමේදී සැලකිලිමත් වෙනවා. මගේ පවුලේ අයටත් මටත් හානියක් නොවන චරිත මම තෝරා ගන්නවා.


ඔබ දීර්ඝ කාලයක් වේදිකා නාට්‍යය රංගනයේ යෙදුණු රංගන ශිල්පිනියක්. නමුත් වේදිකා නාට්‍ය අධ්‍යක්ෂණයට යොමු නොවුණේ ඇයි?


ඇත්තටම වේදිකා නාට්‍ය අධ්‍යක්ෂණයට යොමු වන්න තරම් සිතිවිල්ලක් මට ඇවිත් නැහැ. මම තවමත් රංගනය පිළිබඳව හදාරන කෙනෙක්. ඒ නිසා ඒ වගේ දෙයකට යොමුවන්න තව ගොඩක් කල් තියෙනවා කියලයි මට හිතෙන්නේ.


වර්තමාන නළු නිළියන් එක්ක වැඩ කරන එක ඔබට මොන වගේ අත්දැකීමක්ද?


වර්තමාන නළු නිළියෝ අපිත් එක්ක වැඩ කරනකොට අපි ගැන ලොකු ගෞරවයකින් තමයි වැඩ කරන්නේ නමුත් ඒ අයට වඩා ගොඩාක් මුහුකුරා ගිය කෙනෙක් නොවෙයි කියලයි මට නම් හිතෙන්නේ. කොහොම වුණත් ඇතැම් වර්තමාන නළු නිළියන් නම් රංගනයට අවධානය යොමුකරනවා බොහොම අඩුයි කියලා හිතෙනවා. මේ ක්ෂේත්‍රයට වර්තමාන නළු නිළියන් එනකොට ආදීනව දැනගෙන අවබෝධයෙන් එනවා නම් ගොඩාක් හොඳයි. 


හොඳ තිර පිටපත් අඩුයි කියලා සමාජයේ මතයක් තිබෙනවා. ඒ ගැන ඔබ මොකද හිතන්නේ?


එවැනි නිර්මාණත් තිබෙනවා. නමුත් හොඳ තිර පිටපත් අඩුයි කියලා කියන්නත් බැහැ. පසුගිය කාලයේ හොඳ තේරුමක් තිබෙන හරවත් ටෙලි නාට්‍ය බොහොමයක් රසික රසිකාවියෝ ගොඩාක් ආදරයෙන් වැලඳ ගත්තා.


ක්ෂේත්‍රය තුළ ඔබට පැමිණි අභියෝග මොනවාද?


ඇත්තටම රංගන ක්ෂේත්‍රයේදී මට කිසිම දෙයක් අභියෝගයක් වුණේ නැහැ. මොකද මම සිත් නොරිදවන, වෙලාවට වැඩ කරන වගේම හැමෝම එක්ක සුහදව වැඩ කරන කෙනෙක්. සෑම නිර්මාණයක්ම  සතුටින් වැඩ කරලා අවසන් කරන්නයි පුරුදු වෙලා තිබෙන්නේ.


ඔබේ අනාගත බලාපොරොත්තු මොනවාද? 


මගේ ශක්තිය මගේ ආලෝකය මගේ අම්මා. ඒ නිසාම මට දැනට යම් බලාපොරොත්තුවක් තිබෙනවා නම් ඒ මගේ අම්මා සුවපත් වීම පමණයි.


නිශානි සවින්දිකා රාජපක්ෂ


Previous Post Next Post