සිහින මාලිගා මවන්නේ නැහැ ඒ නිසා ජීවිතය හරි පහසුයි- ප්‍රියා රණසිංහ

gossiplanka image 2
රංගන ශිල්පිනියක්, අධ්‍යක්ෂවරියක්, නිෂ්පාදකවරියක්, ඇඳුම් නිර්මාණ ශිල්පිනියක්, ගුරුවරියක් වන ප්‍රියා රණසිංහ නොහොත් ප්‍රියා ස්වර්ණකාන්ති අතුකෝරාල උපන්නේ අනුරාධපුරයේ වුවත් ඇයගේ පියා කඩවතයි. මව වෑබඩයි. ඒ දෙදෙනාම ගුරුවරු වූ නිසා ප්‍රියාට උපදින්න සිදු වූයේ අනුරාධපුරයේයි. පවුලේ බාලයා සහ එකම ගැහැනු දරුවා වූ ඇයට අයියලාම තිදෙනෙකි. අනුරාධපුර කුඹුක්වැව පාසලෙන් මූලිකව ද පසුව කැකිරාව මධ්‍ය මහා විද්‍යාලයෙන් ද මහනුවර පුෂ්පදාන බාලිකා විද්‍යාලයෙන් ද කොළඹ සුජාතා විද්‍යාලයෙන් ද ඇය අධ්‍යාපනය ලැබුවාය.


“අම්මයි, තාත්තයි දෙන්නම ගුරුවරු වෙලා ඉඳලා පසුව විදුහල්පති තනතුරු දැරුවා. ගුරු මාරුවීම් නිසා අනුරාධපුරයේ ඉන්න කාලේ තමයි මං ඉපදුණේ. ටික කාලයක් ඒ පරිසරයේ අපූර්වත්වය මම අත්වින්දා. වැවෙන් නාන්න යනවා. අය්යලා වැවෙන් මාළු අල්ලනවා. හරි විනෝදයි. ගමේ අයගෙන් අම්මා තාත්තා දෙන්නටම විශාල සැලකිල්ලක් සහ ගරුත්වයක් ලැබුණා. ගමේ හැමෝම වාගේ තමන්ගේ අස්වැන්නෙන් යම් කොටසක් අපේ ගෙදරටත් ගෙනත් දුන්නා. අම්මා, තාත්තා දෙන්නාත් ගමේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් අප්‍රමාණව වෙහෙසුණා. ගමේ දරුවන් වෙනුවෙන් නොයෙකුත් උදව් කළා. තාත්තා කැකිරාව ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති ලෙස සිටි කාලයේදී හදිසියේ අසනීප වුණා. ඒ වෙලාවේ අම්මා ස්ථාන මාරුවක් හදාගෙන අපි ඔක්කොමලා එක්ක කඩවතට ආවා. තාත්තා‍ගේ අසනීපයට සාත්තු කරන්නයි, අපි හතරදෙනාව බලාගන්නයි අම්මාට තනිවම බැරි නිසා අපේ පුංචි මාව එයාලාගේ මහනුවර ගෙදරට අරන් ගිහින් පුෂ්පදාන බාලිකා විද්‍යාලයට මාව ඇතුළත් කළා. මට වයස අවුරුදු එකොළහ වගේ වෙද්දි තාත්තා නැති වුණා. අයයලා තුන්දෙනා මට කිසි තැනක යන්න එන්න නිදහසක් දුන්නේ නැහැ. චිත්‍රපටියක් වුණත් එයාලා බලලා ඇවිත් හොඳයි නම් විතරක් මාව එක්කගෙන ගියා. නටන්න, රඟපාන්න කිසි දෙයක් බැහැ. සිනමා පත්තරයක් බැලුවත් කෑ ගහනවා. හොරෙන් හොරෙන් මං ඒවා බැලුවා. පත්තරවල නළු නිළියෝ ගැන තිබුණු විස්තර කියවන්න මම හරිම ආසයි. අම්මාගේ ස්ථාන මාරුවක් නිසා ටික කාලයක් මීරිගම මධ්‍ය මහා විද්‍යාලයටත් මම ගියා. ඒ පාසලේ මගේ පන්තියේ තමයි පුණ්‍යා හීන්දෙනියගේ අක්කාගේ දුව හිටියේ. සමහර දවස්වලට ඉස්කෝලේ ඇරිලා මගේ මිතුරියත් එක්ක මම ගිහින් පුණ්‍යා හීන්දෙනියව බලලා එයා එක්ක කතා කරලා එනවා. මට හරි ආසයි. කොළඹ සුජාතා විද්‍යාලයට ආවාට පස්සේ මම පාසල ඇතුළේ කලා කටයුතුවලට සම්බන්ධ වුණා. අයයලා ඒ ගැන දැන ගත්තේ නැහැ. ගුරුවරු, යාළුවෝ මගේ රඟපෑම් අගය කළා.”



අයයලා කොතරම් විරුද්ධ වුවත් ප්‍රියාගේ රංගන කුසලතා සිඳ බිඳ දමන්නට හැකි වූයේ නැත. ‘ඇයි ද කළු පින් නොකළේ’ නාට්‍ය ප්‍රියා නිර්මාණය කරන්නේ කොළඹ සුජාතා විද්‍යාලයේ උසස් පෙළ විද්‍යා විෂයයන් හදාරමින් සිටියදී ය. එසේ ම ඇය නර්තනයට ද දක්ෂ වූවා ය. උසස් පෙළ අවසන් කර ගුරු පුහුණු විභාගයකට සූදානම් වෙමින් අමතර දැනුම සඳහා ගණිතය පන්තියකට යද්දී ඒ පන්තියක ඉගැන්වූ සරත් රණසිංහ ගුරුවරයා සමඟ කුලුපගව ඉතා තුරුණු වියේදීම ඇය විවාහ වූවාය. ඔහු ඇයගේ සිතැඟි වටහා ගනිමින් කලා ලොව දොරටු විවර කර ගැනීමට ඇයට මඟ හෙළි කර දුන්නේය. ඔහු ද ගීත රසවින්දනයට මහත් සේ ප්‍රිය කළ කලාවට ළැදි කෙනෙකි.


“මගේ සැමියාගේ යාලුවෙක් වන නිමල් සිල්වා අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයක දෑස් අඳ පුංචි ගැහැනු දරුවාගේ චරිතයට මගේ පුතා වන සුමුදු රණසිංහ තෝරා ගෙන එහි රූගත කිරීම් යාපනයේ සිදු කළා. පුතා එක්ක මමත්, සැමියත් ගිහින් ඒ දින කිහිපයම දර්ශනතලයේ සිටියා. එහිදී රූගත කිරීම්වලට සම්බන්ධ වෙලා සිටි ජයසේකර අපෝන්සුගේ ඇරයුමින් අලුත් නාට්‍යයක් සඳහා අත්පොත් තැබුණා. ‘සීමා බන්ධන’ නමින් එය නම් කළා. විමල් කුමාර ද කොස්තාගේ බිරිඳ වසන්ති සහ මම මේ නාට්‍යයේ නිෂ්පාදන වියදම් දැරුවා. මගේ සැමියා සරත් රණසිංහ තමයි ඒ සඳහා මට මුදල් ලබා දුන්නේ.”



අශෝක නිශ්ශංකගේ ‘කඩදාසි ඔරු’ වේදිකා නාට්‍යයේ ද පසුව ආචාර්ය නිහාල්සිංහගේ ‘මල්දෙනියේ සිමියොන්’ හි සුළු චරිතයක් ද ඇය රඟපෑවා ය. පසුව ලංකාවේ ප්‍රථම ටෙලි නාට්‍ය වූ ‘දිමුතු මුතු’ හි දේවිකා මිහිරාණිගේ නෑනාගේ චරිතය වන සිරියාවතී නම් නපුරු චරිතය රඟපෑමෙන් පසු ඇයට ඉතා සෞම්‍ය චරිත නිරූපණයන් සඳහා ඇරයුම් ලැබී නැති තරම් ය. බහුතරයක් චරිත ඇය රඟපා ඇත්තේ නපුරු චරිතය. ටෙලි නාට්‍ය සිය ගණනක රඟපෑ ඇය බන්දුල විතානගේ අධ්‍යක්ෂණය කළ ‘අසල්වැසියෝ’ ටෙලි නාට්‍යයේ ‘සුරංගනී’ චරිතය නිසා බොහෝ කතාබහට ලක් විය. නාලන් මෙණ්ඩිස්ගේ ‘අපේ ඇත්තෝ’ ටෙලි නාට්‍යයේ ද ඇයගේ චරිතය ජනප්‍රිය විය. ‘දූ දරුවෝ’ නාට්‍යයේ ද ඇය දක්ෂ ලෙස රඟපෑවා ය. ඒ අතර ‘නිරානන්දය,’ නාට්‍යය ද අමතක නැත.


“ඉස්සර නාට්‍යයකට අපි ගියේ ලැබෙන චරිතය ගැන හැදෑරීමක් කරලා. ඒ සම්බන්ධ පොතපත කියවලා අපි පෙර සූදානම් වෙනවා. අනික මම වැඩක් භාර ගත්තාම ඒක අවසන් වනතුරු හැමදාම නියමිත වෙලාවට දර්ශණතලයට ගියා. මට අදාළ රංග කාර්යය නිසි පරිදි ඉටු කළා. එකම දවසේ වැඩ කිහිපයක් භාර අරගෙන කෙනෙකු අපහසුතාවට පත් වන ආකාරයට වැඩ කළේ නැහැ. එහෙම කරලත් මේ කාලේ අපට කලා කටයුත්තකට ඇරයුම් ලැබෙන්නේ නැත්තේ ඇයි කියලා මට හිතෙනවා. සමහරවිට අද කාලේ හැටියට අපේ දක්ෂතා ප්‍රමාණවත් නැතුව ද මන්දා. හැබැයි ඉතින් සමහර නාට්‍ය දකිනකොට නම් හිතෙනවා රඟපෑමේ හැකියාව තියෙන අයට ඒවායේ පෙනී සිටින්න බැහැ තමයි කියලා. මොකද ඒවාගේ රඟපාන්න නැහැනේ. කැමරාව ඉස්සරහා ලස්සනට සැරසිලා ඉන්න විතරයි තියෙන්නේ. කොහොම වුණත් හොඳ නිර්මාණයකට ඇරයුම් ලැබුණොත් මම සම්බන්ධ වෙනවා. ඒ වගේම නිෂ්පාදකවරයෙක් ඉදිරිපත් වෙනවා නම් හොඳ නිර්මාණයක් අධ්‍යක්ෂණය කරන්න මම කැමතියි.”



ඉසුරු පවස, සත්සර නිම්නය, සමනල වසන්තය, පවන සේ ඇවිදින්, ඉර අවර වැනි ටෙලි නාට්‍යවල අධ්‍යක්ෂවරිය වන්නේ ප්‍රියා රණසිංහයි. චිත්‍රපට දහතුනක පමණ රඟපා ඇති ඇය බොහෝ කලක සිට විද්‍යාත්මක මැහුම් ශිල්පය ඉගැන්වීමේ කටයුතුවල නිරත ව සිටින්නී ය.


“මගේ සැමියා හදිසියේ මියගියාම මම පුතා එක්ක තනි වුණා. මගේ පොඩි අයියා ඒ කාලේ උදේ සවස වැඩට යන එන ගමන් මාවයි, පුතාවයි බලන්න ඇවිත් මට උදව් කළා. ඒ වෙද්දි පොඩි අයියත් මං වගේම කොළඹ පදිංචි වෙලා හිටියේ. නමුත් එයාටත් කරදර කරන්න බැහැ කියලා මං කල්පනා කළා. පුංචි කාලේ ඉඳලා මහන්න හැකියාවක් මට තිබුණා. පස්සේ කාලෙක මම ඇඳුම් මැසීම පිළිබඳව විද්‍යානුකූලව ඉගෙන ගත්තා. මගේ ස්වාමියා මිය ගියා‍ට පස්සේ වැඩි දෙනෙකුගේ ඉල්ලීම හා මඟපෙන්වීම නිසා මම ඇඳුම් මැසීමේ ව්‍යාපාරයක් පොඩියට පටන් ගත්තා. දීපිකා ගුණසේකර මහත්මිය තමයි මට ඒ යෝජනාව ගෙනාවේ. මුලදී යාලුවන්ගේ සාරි හැට්ට, පොඩි අයට ගවුම් එහෙම මැහුවා. ටික ටික ව්‍යාපාරය දියුණු වුණා. සහායට කෙනෙක් ගත්තා. රඟපෑම්වලටත් යන අතරතුර මැහුම් වැඩත් කළා. රෑ නිදි වරාගෙන වැඩ කළා. පසුව සේවකයින් තවත් වැඩි වුණා. ව්‍යාපාරය දියුණු වුණා. මගේ පුතාට මම හොඳට ඉගැන්නුවා. එයා හොඳට ඉගෙන ගත්තා. පුතා දැන් විවාහ වෙලා විදේශගතව ඉන්නවා. එයාලාටත් පුතෙක් ඉන්නවා. මුණුබුරාව නම් පොඩි කාලේ දැක්කාට පස්සේ දැක්කෙත් නැහැ. මගෙ පුතා ඉතාම කාර්යබහුල නීතිඥවරයෙක් නිසා ලංකාවට එන්න යන්න එයාට වෙලාවක් නැහැ. කාලෙක ඉඳලා මම මෙහේ තනියම ජීවත් වෙන්න හුරුවෙලා ඉන්නවා. මම ඉන්නේ ගොතටුවේ. මගේ අසල්වැසියන් හැටියට නෙතලි නානායක්කාර, ගීතා කාන්ති ජයකොඩි, පබෝදා සන්දීපනී එහෙමත් ඉන්න නිසා මට ඇත්තටම තනිකමක් දැනෙන්නේ නැහැ. ඒ වගේම මම බැංකොක්වලටත් ගිහින් මැහුම් පිළිබඳ වැඩිදුර හැදෑරීම් කරලා ලංකාවේදීත් ඉගෙනීම් කරලා දැන් මගේම ක්‍රමවේදයකට අනුව ඉතාම සරලව මැහුම් ඉගැන්වීම් කටයුතුත් සාර්ථකව කරගෙන යන නිසා ඒ වැඩත් එක්ක මගේ දවස සතුටින් ගත වෙනවා. විවේකයක් ලැබෙන හැම මොහොතකම පොත් කියවනවා. කලා කටයුතුවලට සහභාගි වෙනවා. හිතවතුන් හමුවෙනවා. ඇත්තටම මගේ සැමියා සරත් රණසිංහගේ වියෝවෙන් පස්සේ ජීවිතයේ බොහෝ දේවල් දරා ගැනීමේ පුදුමාකාර ශක්තියක් මට ලැබුණා. මේ මොහොතේ කරන්න තියෙන දේ මම හරියට කරනවා. අනාගත සිහින මාලිගා මවන්නේ නැහැ. ඒ නිසා ජීවිතය හරි පහසුයි.”

gossiplanka image 1
Previous Post Next Post