කලාව තේරුම් ගත්තු කෙනාට නිරුවත කියන්නේ මැජික් එකක් නෙවෙයි-චමත්කා ලක්මිණී




ඇය මෙරට කලාව තුළ උඩුගං බලා පිහිනන්නියකි. බොහෝ රංගන ශිල්පිනියන් දායක වීමට තබා කතා කිරීමටවත් මැළි වන මාතෘකා ඔස්සේ සිය රංගන ප්‍රතිභාව විදා හළ අෑ සිනමාව මෙන්ම මේ වන විට ටෙලි නාට්‍ය හරහාද සමාජය තුළ  අලුත් කතිකාවක් ආරම්භ කරමින් සිටින්නීය. තමා සම්බන්ධ වූ පළමු නිර්මාණයේ සිටම අති විශාල ප්‍රේක්ෂක අවධානයක් දිනා ගත්  ඈ “චමත්කා ලක්මිණී” නම් වේ. 


ඉතිං චමත්කා කොහොමද අලුත් තොරතුරු?


මේ දවස්වල බූඩි කීර්තිසේනගේ මිනි සීරීස් එකක (කෙටි නාට්‍යයක) වැඩ කටයුතු සිද්ධ වෙනවා. ඒකත් කලින් කරපු හියුමන් එරර්ස් වගේම ඒ for Apple ලේබලය යටතේ සිද්ධ වෙන වැඩක්. බූඩි කීර්තිසේන වැනි අග්‍රගණ්‍ය නිර්මාණකරුවෙක්ගේ නිර්මාණයක  ලංකාවේ අති දැවැන්තම චරිත සමඟ වැඩ කරන්න ලැබීම මට ලොකු ආඩම්බරයක්. ඊට අමතරව තව ශෝට් ෆිල්ම් කිහිපයකම වැඩ කරනවා. ඔය සේරම කරගෙන බොහෝම සතුටින් ඉන්නවා.


වෙනස් ආකාරයේ කලාවක් හොයන මිනිස්සු අතරේ චමත්කා කියන්නේ ‘අයිකන්’ එකක් කියලා කිව්වොත්?


වෙනස් ආකාරයේ කලාවක්ද දන්නේ නෑ. නමුත් මම මං තුළ කලාව හොයන මනුස්සයෙක්. මම ආසයි අලුත් දේවල් කරන්න. ඒකෙන් අදහස් වෙන්නේ කවුරුත් මීට කලින් නොකරපු දේවල් කරනවා කියන එක නෙවෙයි. මට දැනෙන වැඩ ටිකක් කරන්න මම කැමැතියි. රංගනය මගේ හැමදේම. මම ඒ වෙනුවෙන් සෑහෙන කැප කිරීමක් කරනවා. මේ හැමදේම එක්ක මට ඕනි මම කරන චරිතයට උපරිම සාධාරණයක් ඉෂ්ට කරන්න. ඒ වගේම ඒකේ ප්‍රතිඵලය මිනිස්සු දකිද්දි චමත්කා කලින් එකට වඩා වෙනස්  චරිතයක් කරලා ඒ අයට දැනෙනවා නම් මට ඒ ඇති.


මේ වනතුරු දායක වූ නිර්මාණයන්වල ඔබේ රංගනය  සම්බන්ධයෙන් ඔබ තෘප්තිමත්ද?


ඔව් අනිවාර්යයෙන්ම. මේ කාලය ඇතුළත කරපු මගේ කිසිම නිර්මාණයක් සම්බන්ධයෙන් මගේ පසුතැවීමක් නෑ. මම සම්බන්ධ වුණු හැම නිර්මාණයක් සඳහාම මම ලොකු අවදානමක් අරගත්තා. ඒ වගේම මම ඒ හැම රංගනයකටම මගේ  උපරිමය ලබා දුන්නා. අද වනතුරු මම මගේ හැම රංගනයක් ගැනම බොහෝම තෘප්තිමත්.


කලාව ඇතුළේ  ඔබේ හැරවුම් ලක්ෂ්‍යය ගැනත් කතා කරමු?


මෙතැනදී මට මතක් වෙන්නේ මගේ පළමු චිත්‍රපටය. නාලක විතානගේ මහත්මයා අධ්‍යක්ෂණය කරපු ‘සරුංගල්’ චිත්‍රපටය. මගේ පළමු චිත්‍රපට රංගන නිසාම මට පුළුවන් වෙනවා ජනාධිපති සම්මාන උළෙලේ වේදිකාව උඩට නැඟලා සම්මානයක් ගන්න. ඒක තමයි මට  හම්බෙන මොටිවේශන් එක.


ඒ වගේම ‘හුස්ම’ චිත්‍රපටයට මම මගේ මුළු ජීවිතේම වගේ  කැපකළා. මම ඒ රංගනය වෙනුවෙන් අතිවිශාල අවදානමක් ගත්තා. එහෙම බලද්දි ‘හුස්ම’ චිත්‍රපටයත් මගේ ජීවිතේ තවත් හැරවුම් ලක්ෂ්‍යයක්.


ඊට අමතරව මට තවත් පුළුවන්, මගේ උපරිමය මීටත් එහා කියන හැඟීම මට ඇති වුණේ හියුමන් එරර්ස් නිසා. ඔය තුන තමයි මගේ රංගනයේ හැරවුම් ලක්ෂය විදිහට මම දකින්නේ.


ඔබ හිතන ආකාරයට ලාංකික ප්‍රේක්ෂකාගාරය තුළ අඩ නිරුවත පිළිබඳව තිබෙන ආකල්පය මොන වගේද?


අඩ නිරුවත  හෝ නිරුවත වේවා මේ හැමදේම අපි කරන්නේ කලාව එක්ක. කලාව තේරුම්ගත්ත පුද්ගලයාට  මේක  අමුතු මැජික් එකක් නෙවෙයි. නිර්මාණයකට නිරුවත හෝ අඩ නිරුවත යොදාගන්නේ රස වින්දනය සඳහා අවශ්‍ය පමණට විතරයි නම් ඒක ඇතුළේ මැජික් එකක් හොයන්න දෙයක් නෑ. හුස්ම කරපු කාලේ හිටපු ප්‍රේක්ෂකාගාරය නෙවෙයි 2023 වෙද්දි ඉන්නේ. පහුගිය  අවුරුදුවල කොරෝනා නිසා කොටු වුණු මිනිස්සු එළියට ආවේ නැවුම් මිනිස්සු විදිහට. ඒ මිනිස්සු කලාව හොයන්න පුරුදු වුණා. මොකද ගෙවල් ඇතුළේ හිටපු කාලේ ඒ මිනිස්සු බොහෝ කලා නිර්මාණ රස වින්දා.


ඒත් එක්කම මට තෙරුම් ගියා හුස්ම චිත්‍රපටය එළියට දාද්දි හිටපු ප්‍රේක්ෂකාගාරයට වඩා හියුමන් එර.ර්ස් කරලා එළියට දාද්දි ඉන්න ප්‍රේක්ෂකාගාරය වෙනස්. ඔවුන්ගේ ප්‍රතිචාර වෙනස්. එහෙම  බලද්දි අද වෙද්දි කලාව ඇතුළේ අඩ නිරුවත හෝ නිරුවත අමුත්තක් නෙවෙයි මිනිස්සුන්ට.


ඔබේ ඇතැම් රංගනයන් සම්බන්ධයෙන් එල්ල වුණු ප්‍රේක්ෂක ප්‍රතිචාර දරාගත්තේ කොහොමද?


මම ලොකු විශ්වාසයකින් වගේම එයින් ඇතිවෙන්න පුළුවන් බලපෑම ගැන සිය දහස් වතාවක් හිතලා තමයි නිර්මාණයකට දායක වෙන්නේ. මොකද රංගනයකින් මට වෙන හානිය වළක්වා ගැනීමේදී මම තනි වුණොත් මට ඒකට ලොකු සටනක් කරන්න වෙන නිසා. නමුත් මම දායක වෙච්ච හැම නිර්මාණයකම අධ්‍යක්ෂවරුන් නිර්මාණය එළියට දැම්මට පසුවත් ඒකේ ගුණාත්මකභාවය වෙනුවෙන් පෙනී හිටියා. ඒ දේවල් එක්ක මට හැම වෙලේම මම දායක වුණේ ගුණාත්මක නිර්මාණයක් වෙනුවෙන් කියන දේ කෙලින් කියන්න ශක්තිය ලැබුණා.


ලාංකික නිර්මාණයන්  තුළ ලිංගිකත්වයක් පිළිබඳව එළිපිට සාකච්ඡා කිරීම පිළිබඳව ඔබේ මතය?


මගේ විශ්වාසය ලිංගිකත්වය සම්බන්ධයෙන් චිත්‍රපටයකින් කතා කරනවට වඩා ටෙලි නාට්‍යයකින් කතා කරද්දි ඒක වැඩි පිරිසක් ග්‍රහණය කරගන්නවා. මොකද ලංකාව ඇතුළේ චිත්‍රපට සඳහා ඉන්නේ අඩු රසිකයන් ප්‍රමාණයක් නිසා.


විශේෂයෙන් හියුමන් එරර්ස් වැනි නිර්මාණය ස්වාධීන රූපවාහිනිය හරහා විකාශනය වීමත් එක්ක ඒක අති විශාල ප්‍රේක්ෂකයන් පිරිසක් ළඟට ගියා. අපි ලිංගිකත්වය කියන මාතෘකාව හංගන් ඉන්න අවශ්‍ය නෑ. ඒකට බය වෙන්න ඕනි නෑ. විශේෂයෙන් මේ නිර්මාණ රාත්‍රි දහයෙන් පස්සේ රූපවාහිනිය හරහා විකාශනය වීමත් සමඟ ඒක ග්‍රහණය කර ගතයුතු පිරිස වෙත යනවා.


මම හිතනවා ලිංගිකත්වය මැජික් එකක් නොවී, එළිපිට කතා කරන සාමාන්‍ය මාතෘකාවක් බවට පත් වුණානම් අපේ රටේ මේ සිද්ධ වෙන අපරාධ පොඩි ප්‍රමාණයකින් හරි අඩු වෙයි කියලා. අපි මේ කතා කරන්නේ ෆැන්ටසියක් ගැන නෙවෙයි, බහුතරයක් කතා කරන්න බය සමාජයේ තියෙන අමු කොටස ගැන. මම පෙනී ඉඳලා තියෙන්නෙත් ඒ වගේ චරිතවලට.


ලංකාවේ මිනි සීරීස් රැල්ලක් හැදීගෙන එනවා. ඒ ගැනත් කතා කරමු?


ඇත්තටම ඒක බොහෝම හොඳ දෙයක්. ලංකාව ඇතුළේ අපිට අවශ්‍ය තරම් කතා තියෙනවා නිර්මාණවලට ගන්න. මට හිතෙන විදිහට දීර්ඝ නාට්‍යවලට කොටු වෙලා ඉන්න එක කලාකරුවන්ට සිදු වන  අපරාධයක් වගේම ප්‍රේක්ෂකයන්ට වුණත් කාලයක් යද්දි එපා වීමක් වෙන්න පුළුවන්. ඉතිං එහෙම එකේ මිනි සීරිස් නිර්මාණය වෙලා කලාකරුවන්ට විවිධාකාරයේ වැඩ එක්ක සම්බන්ධ වෙමින් තමන්ගේ හැකියාව දියුණු කරගන්න අවස්ථාවක් ලැබෙනවා නම්, ඒ වගේ ප්‍රේක්ෂකාගාරයට හොඳ ගුණාත්මක නිර්මාණ රසවිඳින්න අවස්ථාවක් ලැබෙනවා නම් මම කැමැතියි දිගටම කෙටි ටෙලි නාට්‍ය බිහිවෙනවට.


අවසන් වශයෙන්  හැමදේටම සහාය දෙන පවුල ගැනත් මතක් කරමු?


ඇත්තටම අපේ පුංචි පුතා එක්ක අපි බොහෝම සතුටින් පවුල් ජීවිතය ගෙනියනවා. සැමියයි මායි නියැළෙන්නේ වෘත්තීන් දෙකක. නමුත් අපි ඒක පෞද්ගලික ජීවිතයට අදාළ කරගෙන නෑ. එකිනෙකාට උදවු කරගනිමින් බොහෝම හොඳින් පුතත් එක්ක සතුටින් ආදරෙන් ඉන්නවා.


අක්ෂි මාපා වීරසිංහ





Previous Post Next Post