දිනිති - සංගීත් විවාහය සිද්ධ වුණේ ඔන්න ඔහොමයි

 


දිනිති - සංගීත් කියන්නෙ සමාජ මාධ්‍යවල ඉතාම ජනප්‍රිය යුවළක්. අද වන විට ඔවුන් ආදරවන්තයන් කියන එකත් රහසක් නොවෙයි. පසුගිය දිනෙක හොර රහසේම ඔවුන්ගෙ විවාහය සිදුවුණා කියන පුවත පළ වුණෙත් සමාජ මාධ්‍යවලමයි. ඒකත් ඉන්දියාවෙදි කියලයි ආරංචිය. හැමෝම දන්න මේ ආදරණීය යුවළ හොරෙන්ම විවාහ වුණේ ඇයි කියන කුකුස නිසාම ඒ ගැන සොයා බලන්න හිතුවා. ආරංචියේ හැටියට නම් කතාව ඇත්ත. ඒ බලද්දි ඒක උදේෂ් ඉන්දුලගේ වැඩක්. අපි උදේෂ්ව අපේ කතාබහට එක්කර ගත්තේ මේ කතාවේ සුලමුල හරියටම දැන ගැනීමේ අදහසින්


“සමාජ මාධ්‍ය කලඹපු දිනිති - සංගීත් විවාහය සිද්ධ වුණේ ඇත්තටම මගේ ඕනෑකමට. ඒ මගේ “සත්ලං“ කියන සින්දුවට. ඒක ලෝකෙ පුරාම ජනප්‍රිය වුණු දමිළ සින්දුවක්. මේ ඒකට කරපු කවර් සෝන් එක. මේ සින්දුව ගොඩක් ජනප්‍රිය නිසා මට හිතුණා මේකට සිංහල වර්ෂන් එකක් කළා නම් හොඳයි කියලා. මුලින්ම අපි ඕඩියෝ එක කරලා අවුට් කළා. ඒක කරලා දැන් මාසෙකට වැඩියි. මගේ බිරිය දිල්හාරා, දිනිති, සංගීත් එකතු වෙලා ඕක ටික් ටොක් කරලා සෝෂල් මීඩියා දැම්මා. ඒක මාර විදිහට වයිරල් වුණා.


ඊට පස්සෙ තමයි අපිට හිතුණෙ මේකට වීඩියෝ එකක් කළා නම් හොඳයි කියලා. අපි කට්ටියම කතා වෙලා තමයි ඔය වගේ කන්සෙප්ට් එකක් හැදුවේ. දමිළ තරුණියක්, සිංහල තරුණයෙක් යොදාගෙන ටැමිල් වෙඩිං එකක් විදිහට කරමු කියලා, ඒ විදිහට ප්ලෑන් කළේ ලස්සන වැඩක් කරන්න හිතාගෙන. මේකෙ සිංහල පද රචනය පියුමි සමනක්කොඩිගේ. සංගීත සංයෝජනය හේසංක පණ්ඩිතගේ. දිනිති, සංගීත් වගේම ඒ දෙන්නත් අපේ ළඟම යාළුවෝ. මීට කලින් මේකට සිංහල වර්ෂන් එකක් කවුරුත්ම කරලා තිබුණෙත් නැහැ. අපිට ඕන වුණේ වෙනස් විදිහකට, පොඩි තීම් එකකට, ලස්සන වැඩක් කරන්න විතරයි. හැමෝම කරන ඒවට වඩා වෙනස් විදිහකට කරන්න ඕන නිසා තමයි අපි ඒකට ඩාන්සින් පැත්තත් එකතු කළේ. ටැමිල් ඩාන්සර් කෙනෙක් විදිහට බාස්කර් වගේම සංචනත් ඩාන්සින්වලින් සම්බන්ධ වුණා. අධ්‍යක්ෂණය ලක්මාල් සිංහාරගේ සහ තිසුම්. ඒක සංස්කරණය කළේ කසුන්. ඒ හැමෝගෙන්ම ලොකු සහායක් ලැබුණා. ටැමිල් ගතියක් ගන්න ඕන නිසා අපි ඒක රූගත කළේ බම්බලපිටිය සහ කළුබෝවිල කෝවිල්වල. දවසකින් වගේ ෂූට් කළා. හැමෝම බලාගෙන ඉන්න දිනිති සංගීත් විවාහය සිද්ධ වුණේ ඔන්න ඔහොමයි. ෆොටෝ ෂූට් එකක් වුණත් වෙඩිං එකක් වගේම කළා. ඒව තමයි මේ දවස්වල සෝෂල් මීඩියාවල වයිරල් වෙන්නේ. එයාලටත් ගොඩක් ඇමතුම් එනවලු හොරෙන්ම විවාහ වුණා නේද අහලා. ඕඩියෝ එක මේ වෙද්දි එෆ්.එම්. වල යනවා. ඒක මම සජීවීව ගායනා කරලත් තියෙනවා. ඒකටත් ගොඩක් ප්‍රතිචාර ලැබුණ නිසා අපිත් හිතුවා වීඩියෝ එකත් කළා නම් හොඳයි කියලා. වියදමක් දැරුව වුණත් ලස්සන නිමාවක් ලැබුණු නිසා සතුටුයි.


ළඟදිම මගේ ඔරිජිනල් සින්දුවක් එළිදකිනවා. ඒකට පළවෙනි අඩිතාලම තමයි මේ තිබ්බේ. දේදුණු ආකාසේ චිත්‍රපටයට මං ගායනා කරපු ‘මල් කලඹ‘ ගීතය ජනප්‍රියම ගීතයට සම්මානිත වුණාට ඒක මගේ එකක් කියලා කවුරුත් වැඩිය දැනන් හිටියෙ නෑ. සම්මානෙ ගන්න ගියහම කවුරුත් අහනව අනේ ඔයාද ඒක කිවුවෙ කියලා. ඒ වගේම මේකත් මගේ එකක් කියල කවුරුත් හිතන එකක් නෑ. ගායනයට අමතරව සංගීත්ගෙ යාළුව විදිහට මාත් මේකට රංගනයෙන් දායක වුණා. දැනටමත් ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. වැඩේ සාර්ථකව යනවා. මේකට සම්බන්ධ වුණු මගෙ යාළුවො ටික වගේම බිරිය දිල්හාරා, පුතා වර්ණ වගේම මස්සිනා දිලුම් සම්පත්වත් මතක් කරන්න ඕන. එයාල ලොකු සපෝට් එකක් දුන්නා. දිනිති සහ සංගීත් කියන්නේ හරිම සතුටෙන් ඉන්න ආදරණීය යාළුවො දෙන්නෙක්. මේ වැඩේදි මට පුදුමාකාර සහායක් දුන්නා. දිනිති සංගීත් වෙඩිං එකට මං කියන සින්දුව අහන්න කියලා ඔයාලටත් ආරාධනා කරනවා.“





Previous Post Next Post