සොඳුරු රස්තියාදුව මාව කලාවට යොමු කළා- සේවියර් කනිෂ්ක




දක්ෂ තරුණ රංගන ශිල්පියකු වන සේවියර් කනිෂ්කට පුංචිතිරය, වේදිකාව හා සිනමාව නුහුරු, නුපුරුදු ස්ථාන නොවේ. ලංකාවේ මෙන්ම අන්තර්ජාතිකවද ඇගැයුමට ලක්වූ ඔහු ‘පාංශු’ , ‘වෙඩිනොවදින ළමයි’ වැනි සිනමා නිර්මාණ තුළින් සහ ‘තණමල්විල කොල්ලෙක්’, ‘කොඩි ගහ යට’ ටෙලි නිර්මාණ තුළින් ප්‍රේක්ෂකයාට අමතක නොවන රංගනයන් ඉදිරිපත් කළේය. දක්ෂතාවෙන් හෙබි රංගන ශිල්පියකු වූ සේවියර් කනිෂ්ක රංගනය හා ඔහු කලාව දකින ආකාරය ගැන  සංවාදයකට එක්වූයේ මෙසේය.


ඔබ රංගනයට යොමුවූ ආකාරය සිහිපත් කළොත්...?


රංගනයට යොමුවීමට මට කාරණා හෝ සිදුවීම් කිහිපයක් බලපෑවා කියා මට හිතෙනවා. මූලිකවම පාසල් කාලයේ මගේ මිත්‍රයා ගැන කිවයුතුයි. ඔහු මට පල්ලියේදී හමුවුණේ. ඔහු තුසිත ධනංජය. ඔහු කවි, කෙටිකතා, නවකතා, වේදිකා නාට්‍ය, චිත්‍රපට රසවතෙක්. ඔහු දවසක් මාව එක්කගෙන යනවා ඔහුගේ යාළුවෙක් වුණු දැන් සිටින විශිෂ්ට නළුවකු වන ශ්‍යාම් ප්‍රනාන්දු රඟපෑ, රාජිත දිසානායක අධ්‍යක්ෂණය කළ ‘ආපසු හැරෙන්න බෑ’ වේදිකා නාට්‍යය බලන්න. එහිදී ශ්‍යාම්ව අඳුනගන්න ලැබෙනවා. ඒවගේම සෞම්‍ය ලියනගේ සජීවීව රඟපානවා මම දැක්කා. එයින් පසු මට අවස්ථාවක් ලැබෙනවා ශ්‍යාම් අයියාගේ ළමා වේදිකා නාට්‍යවල වාද්‍ය වෘන්දයේ සාමාජිකයෙක් විදිහට වැඩකරන්න. එතැනදී මේ රංගන ශිල්පීන් රඟපාන හැටි මට අත්දකින්න ලැබෙනවා. රංගනයට මගේ පළමු ආසාව ඇතිවෙන්නේ මේ හරහා කියා කියන්න පුළුවන්..


ඔබේ යාළුවා ඔබව තවතවත් නිර්මාණ නරඹන්න රැගෙන යනවා...?


ඔව්. ඔහු මාව එක්කගෙන යනවා ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේ තිබුණු ආචාර්ය ප්‍රේමසිරි කේමදාස මහත්තයාගේ ‘අග්නි’ ඔපෙරාව නරඹන්න. එහිදී මට මතකයි එහි ‘ප්‍රොමිතියස් දෙවියන්’ විදිහට රඟපෑ එරික් ක්‍රිෂාන්ත නම් රංගන ශිල්පියාගේ රඟපෑම් හා කටහඬ මම රසවින්ඳා. කමල් අද්දරආරච්චිගේ රංගනය, ඉන්දිකා උපමාලිගේ රංගනය, උමාලි තිලකරත්න, සුබුද්ධි ලක්මාලිගේ රඟපෑම් මට අත්විඳීන්න ලැබෙනවා. යොමු කිරීමකටත් වඩා රස්තියාදුවක් එක්ක මේවා බලන්න, රසවිඳීන්න පටන්ගත්තට පස්සේ ඇතිවුණු ආසාව තමයි මේ යොමුවීමට පෙලඹුණේ. ඒවගේම තුසිත ධනංජය යාළුවා මාව එක්කගිය රස්තියාදුවට මට මේ කලාව කිරීමට පෙලඹවීමක් වුණා. ඒවගේම මේ කාලයේදී මම හොටෙල් ක්ෂේත්‍රයේ රැකියාවක් කරමින් හිටියේ. ඒකත් නරක රැකියාවක් නෙවෙයි මම ආසාවෙන් ඒක කළේ. නමුත් තව කෙනෙක් යටතේ රැකියාවක් කරන්න ආසාවක් නැති හින්දා ඒකට තිබුණු ආසාව මේ රස්තියාදුවත් එක්කම නැතිවුණා.


මේ රැකියාවත් කරන්න වෙන්නේ තවකෙනෙක් යටතේ නේද..? කවුරුන් හෝ ලියපු පිටපතක්,කවුරුන් හෝ ඉහළින් සිට ඔබට කරන්න ඕනදේ කියනවානේ....? හොඳ ප්‍රශ්නයක්..ඔව්, රූපමය කතා කලාව අධ්‍යක්ෂගේ කලාව ඒක මම ඉහළින්ම පිළිගන්නවා. නමුත් ඔහුත්, පිටපත් රචකයාත් යන දෙන්නම අපට ඉඩදෙනවා අදාළ චරිතයට ලේ, මස්, ඇට, නහර දෙන්න. ඒක වෙනත් රස්සාවකින් ලැබෙන්නේ නැහැ.


ඔබ මුල්වරට වෘත්තියමය මට්ටමින් රංගනයේ යෙදුණු දවස මතකද..?එදා ඔබට මොකද හිතුණේ..?


මගේ මතකය නිවැරදි වෙන්න ඕන. සෝමලතා සුබසිංහ අමහත්මියගේ  Paly House  නාට්‍ය කණ්ඩායමේ යොවුන් නාට්‍යයක් තිබෙනවා "විකෘති" කියලා. ඒකේ කෝරසයේ (Chorus) තමයි මම රඟපෑවේ. එල්ෆින්ස්ටන් රඟහලේ තිබ්බේ. පුදුම සතුටක්, නිදහසක් එදා දැනුණේ තමන් කැමති දේ තමන්ට කරන්න ලැබීම ගැන...


ඔබ 2011 වසරේ තමයි වෘත්තිය මට්ටමින් රංගනය පටන්ගත්තේ. එදා රංගනය ගැන සිතූ දෙය අදටත් වලංගුද......?


ඔව්. එදත් මම රංගනය ගැන හිතුණේ ඒක මගේ ආත්ම ප්‍රකාශනය කියලා. පාසල් කාලයේ මමත් චිත්‍ර ඇන්දා, සින්දු කිව්වා, ඒත් මේ තරම් ආසාවෙන් ස්වයං අධ්‍යයනය කරන්න හිතුණු, අත්විඳීන්න පුළුවන් වුණු කලාව වුණේ රංගනයයි. ඉතින් එදා වගේම අදත් රංගනය සම්බන්ධයෙන් මට තියෙන්නේ විවිධ චරිත නිරූපණය හරහා ලැබෙන දුක සතුට තමයි. රංගනය කියන්නේ මෙන්න මේකයි කියලා උත්‍තරදෙන්න තරම් මම පරිණත නෑ. නමුත් මම මේක පිළිගන්නවා, රංගනය කියන්නේ රසවින්දනය සඳහා වූ කලාවක්.


ස්වයං අධ්‍යයනය සහ අධ්‍යයනය පමණක් ඇතිද රඟපෑමට...?


ඕක හරිම විවාදපන්නයි කියලා මට මේවෙද්දී හිතෙනවා. මාත් අධ්‍යයනය කළ කෙනෙක්. මමත් Play House නාට්‍ය කණ්ඩායම් ඩිප්ලෝමා කණ්ඩායම් දෙකටම සහභාගී වුණා. ඒකෙන් බොහොමයක් ඉගෙනගත්‍තා. නමුත් ලංකාවේ සහ ලෝකයේ ඕනතරම් ප්‍රබල උදාහරණ තියෙනවා රංගන ශිල්පියා ඔවුන් කරන නිර්මාණ හරහාම පන්නරය ලබා ඔවුන්ගේ හැකියාව දියුණු කරගත්ත අවස්ථා. නමුත් ලංකාවේ කලාව කර්මාන්තයක් හැටියට නොදියුණු තත්ත්වයක. මම කැමතියි තවදුරටත් ඇකඩමිය අධ්‍යයනය කරන්න ස්වයං අධ්‍යයනයත් සමඟ.


දැනට රඟපෑ චරිතවලින් ආසාවෙන්ම කළ චරිතය.....?


ඊළඟට කරන්න ඉන්න එක. කවදා ඇහුවත් මම කියන්නේ ඊළඟට කරන්න ඉන්න එක කියලයි. මම වැඩකරලා තියෙන්නේ ගොඩාක් අඩුවෙන්..ඒකටත් ගොඩක් හේතු තියෙනවා. ඒනිසා කරපු හැම චරිතයකටම යම් සූදානමක් එක්ක සහ අදාළ අධ්‍යක්ෂ එක්ක කතා කරලා සෙසු රංගන ශිල්පීන්ගේ සහයෝගයත් එක්ක කරපු හැම චරිතයකටම මම ආසයි.


ඔබට අනුව ලංකාවේ හොඳම නළුවා කවුද...? ලොව හොඳම නළුවා..? ඇත්තටම හොඳම නළුවා කියා කෙනෙක් ඉන්නවද..? හොඳ හෝ නරක රංගනයක් කියා බෙදෙන්නේ කොහොමද...?


මෙයා තමයි හොඳම නළුවා කියා එකක් මම නම් විශ්වාස කරන්නේ නැහැ. මම හිතන්නේ ඒ හින්දම තමයි ලෝකයේ සහ ලංකාවේ හැම වසරකම එක් එක් සම්මාන උළෙලවලදී ඒ වසරට අදාළව ප්‍රදර්ශනය වූ නිර්මාණ අතරින් වසරේ හොඳම නළුවා හෝ නිළිය තෝරන්නේ. ඒවගේ නිර්ණායක එකිනෙකට වෙනස්. මම ඒවා ගැන දන්නේ නැහැ. මට අනුව නම් යම් චරිතයක් විශ්වසනීයත්වයෙන් වැඩියෙන්ම ඉදිරිපත් කරන කෙනා තමයි හොඳම නළුවා. ඔයාටත් දවසක එහෙම වෙන්න පුළුවන්. ඒ විශ්වසනීයත්වය දිගටම පවත්වාගෙන යන එක රංගන ශිල්පියාගේ වැඩක්. සමහරවිට එහෙම අයට හොඳම නළුවා කියලා කියනවා වෙන්න පුළුවන්...


වැඩකරන්න කැමැත්තෙන් ඉන්න අධ්‍යක්ෂවරු කවුද..?


තමන් කියන්න හදන කතාව ගැන අඩුම තරමේ මටවත් පැහැදිලිව කියාගන්න පුළුවන් අධ්‍යක්ෂවරයෙක් එක්ක වැඩකරන්න කැමැතියි සහ මාත් ඒ කතාවට කැමැතිනම් වීදි නාට්‍යයක් වුණත් කරන්න කැමැතියි.


වෘත්තියමය තත්ත්වය කියන වචනය කොතරම්දුරට ඔබට වලංගුද...?


මූල්‍යමය තත්ත්වය පැත්තෙන් වෘත්තියමයභාවය බලද්දී මමත් ෆේල්. නමුත් නිර්මාණයක් තෝරාගනිද්දී, එය නිරූපණයේදී, නිර්මාණ වපසරියේ වැඩකරද්දී, මම මගේ උපරිමයෙන් වෘත්තියමයභාවය රැකගෙන වැඩ කරනවා සහ මගේ පැත්තෙන් දියුණු කරගන්න ඕන දේවලුත් තියෙනවා...


ඒ කියන්නේ කලාවේ යෙදෙනවාට වඩා අමාරු ඇති පෞද්ගලික ජීවිතය..?


අපොයි ඔව්. මම හිතන්නේ ඒක කලාවේ නියුතු කෙනෙකුට විතරක් නෙවෙයි ලංකාව ඇතුළෙත්, ලෝකය ඇතුළෙත් ශ්‍රමයට නිසි වටිනාකමක් හැමතිස්සේම ලැබෙන්නේ නැහැ. එහෙමයි කියලා අපි සැලෙන්න ඕනෙත් නෑ. අවශ්‍යතා හා වුවමනා සරල කරගත්තොත් ජීවිතය ටිකක් ලෙහෙසියි. ඒවගේම වගකීම් ඉටුකරන අතරේ අයිතිවාසිකම් වෙනුවන් පෙනී ඉන්නත් ඕනි.


ජනප්‍රියත්වය නැත්නම් මේ සෙලිබ්‍රිටි (Celebrity) කියන තත්ත්වයන් ගැන මොකද හිතන්නේ.....?


කර්මාන්තයක් හැටියට ඒකේ පැවැත්ම සම්බන්ධයෙන් මේ කරුණු දෙක බලපානවා කියලා මම විශ්වාස කරනවා. හැබැයි ඒ දෙක පවත්වාගෙන යන තරම් තත්ත්වයක මම නැහැ. මම ඒකට මහන්සිවෙන්න උත්සහ කරන්නෙත් නැහැ..


මෙගා / දීර්ඝ ටෙලිනාට්‍යවල දකින්න නැත්තේ ඇයි..? ඔබ මෙගා විරෝධියෙක්ද..?


අනේ නෑ, කොහෙත්ම නෑ. ඇත්තටම පැයවලින් ගත්තොත් ලෝක ප්‍රසිද්ධ ‘බ්‍රේකින්ග් බෑඩ්’ ((Breaking Bad) , ‘ගේම් ඔෆ් ත්‍රෝන්ස්’ (Game Of Thrones) වුණත් මෙගා නිර්මාණ. ‘බ්‍රේකින්ග් බෑඩ්’ සීසන් ඔක්කොගෙම මුළු කාලය පැය 60කට වැඩියි. ‘ගේම් ඔෆ් ත්‍රෝනස්’ සීසන්ස් අටේම මුළු පැය ගණන 70කට කිට්ටුයි. අපේ මෙගා ටෙලිනාට්‍යයක් කොටසකට විනාඩි 18 ගාණේ කොටස් 200ක් ගත්තත් පැය 60යි. නමුත් මේ කියන පිටරට සීරීස්වල ඒ පැය ගාණට හෝ එක කොටසකට හෝ විනාඩි 15කට ඒගොල්ලෝ වෙන මහන්සිය, ලබාදෙන වැදගත්කම (Treatment). ඒක අපට වඩා ගොඩාක් දියුණුයි. කතාව වෙනස්  (twist) කරන විදිහ, කතාවේ විකාශනය, චරිතවල විකාශනය, සංස්කරණය කරන විදිහ, සංගීතය, කැමරාකරණය යන කරුණු එක්ක ඒගොල්ලෝ වැඩකරන විදිහ හරිම දියුණුයි. කෙනෙක්ට කියන්න පුළුවන් මේවා ගොඩාක් ලොකු වියදම් යන වැඩ කියලා. නමුත් මේතරම් මුදල් වැයකරන්න බැරි වැඩක් වුණත් අවම වශයෙන් මට නිරූපණය යෝජනා කරන චරිතයේ විකාශය ගැන මූලික අදහසක්, කතාවේ මුලක්, මැදක්, අගක් ගැන පැහැදිලි අදහසක් ඇති ඕනෙම ටෙලිනාට්‍යයක වැඩකරන්න මමත් කැමැතියි. නැතිව දීර්ඝ, මෙගා ටෙලිනාට්‍ය විරෝධයක් මට නැහැ..


මේ දවස්වල මොකද වෙන්නේ.....?


අලුත් වේදිකා නාට්‍ය දෙකක වැඩ පටන් අරන් තියෙන්නේ.එකක් Jungle කියලා, 2016දී එංගලන්තයේ නිෂ්පාදනය වූ නාට්‍යයක්. අපි ඒක පරිවර්තනය කළා. ඒක අගෝස්තු මුලත්, අනිත් නාට්‍යය දෙසැම්බරයේත් වේදිකාගත කරන්න හිතාගෙන ඉන්නවා. ඒ අතර උදාර අබේසුන්දරගේ අලුත් චිත්‍රපටය "Public Domain" (පබ්ලික් ඩොමේන්) ළඟදීම තිරගත වේවි කියා ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. ජගත් මනුවර්ණගේ ‘කොඩි ගහ යට’ ටෙලිනාට්‍යයේ රූගත කිරීම් තවම සිදුවෙනවා. තව චිත්‍රපටයක්, දෙකක් ජිවිතේ වටේ කැරකි කැරකි ඉන්නවා. කොහොමහරි ඒවත් කරනවා...


2011දී ආරම්භ කළ ඔබේ වෘත්තියමය රංගන ජීවිතය තුළ මේ දක්වා උදවු, උපකාර කළ පිරිසක් ඇති ස්තුති කරන්න...


මේක අසීරු ගමනක් කියා මට හිතිලා නම් නෑ. 2011 වැඩකරන්න පටන්ගත්ත දවස්වල ඉඳන් මම මේකමයි කළේ. වෙන දෙයක් කරන්න හිතුවේ නැතිතරම්. නමුත් මා එක්කම මේ ගමනේ ගොඩක් අය ඉන්නවා. එයාලට මම හැමදාම ස්තුතිවන්ත වෙනවා කියලා එයාලා දන්නවා. මම මගේ ප්‍රේක්ෂකාගාරයට ස්තුති කරනවා ලෝකයේ මෙච්චර දියුණු නිර්මාණ රසවිඳීන්න අවකාශයක් තියෙද්දී මම වගේ කෙනෙක් සම්බන්ධ වුණු නිර්මාණ යම් විදිහකට හෝ පිළිගන්නවාට, රසවිඳීනවාට, ඒ වෙනුවෙන් කාලය කැපකරනවට. මොකද අපි මොන දේ කළත් අවම වශයෙන් එක ප්‍රේක්ෂකයෙක් හරි ඉන්න ඕනේ අපි කරන දේ රසවිඳීන්න. ඒ නිසා ඒ අයට බොහෝමත් ස්තුතියි..





 

Previous Post Next Post