නිරුවත් චරිතයකට හිත හදා ගන්න අමාරුයි-සැලෝන් මුණසිංහ

 


ධනුෂ්කට ලව් කරපු අනගි කියූ සැණින් බොහෝ දෙනෙක්ට ඇයව මතක් වෙනවා. අනගිගේ චරිතය සමගින් සැලෝන් මුණසිංහ තවත් චරිත කීපයකින්ම මුණ ගැහෙනවා. මේ නිසා අද අපි ඇයට කතා කළා.




මේ දවස්වල කරගෙන යන වැඩ මොනවද?




මේ දවස්වල ලලයි ලිලයි ලයි, මී මැස්සෝ සහ ප්‍රාර්ථනා යන ටෙළි නාට්‍ය විකාශය වෙනව. ඒ නාට්‍ය හැරුණහම තවත් ටෙළි නාට්‍ය තුනක විතර වැඩ කරගෙන යනව. ඒ අතර හඬ කැවීම් ශිල්පිනියක් විදිහට එම්ලි ටෙලි නාට්‍යයේ බීඩී ගේ චරිතයට හඩ කවනව.




නිර්මාණයක ප්‍රධාන චරිතය නොවී මෙච්චර කාර්ය බහුල වීමේ රහස මොකක්ද?




මුලින් ම තමන් තමන්ගෙ දක්ෂතාවය ගැන විස්වාසයක් ඇතිකර ගන්න ඕන. මම මේ තැනට එන්නේ අවුරුදු දොළහක් තිස්සෙ මේ ක්ෂෙත්‍රයේ දුක් විඳලා. තමන් කරන දේ පිළිබඳ තමන් ලබන අධ්‍යාපනය, තමන් කාන්තාවක් වග දැන සිටීම සහ ගැහැනියකට තියෙන්න ඕන බය තමන් තුළ තියෙනව නම් අපිට ඕනම දේකට මුහුණ දීල ඉදිරිය කරා යන්න පුළුවන්. මට වඩා ලස්සන ගැහැනු ළමයි ඕනතරම් මේ ක්ෂෙත්‍රයේ ඉන්නව. නමුත් රංගනය කියන්නෙ මොකක්ද කියන දේ හෝ කැමරා කෝණයකට රඟපාන්න දන්නෙ නැතිව මේ ක්ෂෙත්‍රයේ වැඩ කරන්න බැහැ. එහෙම දැනුමක් නැතිව ලස්සන ගැන විතරක් විස්වාස කරල ක්ෂේත්‍රයට ආවත් ටික කලකින් මැකී යන්න වෙනව. මම විස්වාස කරනව මට මේ ක්ෂේත්‍රයේ වැඩ තියෙන කෙනෙක් විදිහට රැඳෙන්න ඉවහල් වුණේ රූපයට වඩා මගේ දක්ෂතාවය හා මගේ ඉගෙනීම.




නිළියක් වෙන්න හීන දැක්කෙ කොයි කාලෙද?




මගේ හීන කාලෙන් කාලෙට වෙනස් වුණා. නීතීඥවරියක් වෙන්න, ගුවන් සේවිකාවක් වෙන්නත් මට හීන තිබුණා. ඔය අතර මගේ පාසල මගේ රංගන දක්ෂතාවය හඳුනා ගන්නව. ඒ වෙනුවෙන් මගේ පාසලට මම හැමදාමත් හිස නමා ආචාර කරනව. කුරුණෑගල ලක්දාස් ඩි මෙල් විදුහල තමයි මගේ පාසල. උසස් පෙළටත් මම නාට්‍ය හා රංග කලාව තෝරගන්නෙ ඒ වෙත්දි නිළියක් වීමේ හීනයක් මට තිබුණ නිසයි. පසුව මම රංගනය ගැන ඉගෙන ගන්න කුරුණෑගලින් කොළඹට එනව. මහේන්ද්‍ර පෙරේරා සර් තමයි මගේ දක්ෂතාවය ප්‍රසිද්ධ කලාවට හඳුනාගන්නෙ. සර්ගේ රංගන පාසලෙන් තමයි මම නිළියක් විදිහට කළ එළි බසින්නෙ.




ජීවිතයේ හීන සේරම හැබෑ කරගෙනද ඉන්නෙ?




නැහැ. මම හැමදාම හීන දකින ඒ හීන පසුපස යන කෙනෙක්. මේ වෙත්දි මගේ ජීවිතයේ හීන හතරක් තියෙනව. එක මගේම කියල ව්‍යාපාරයක අයිතිකාරියක් වෙන එක. දෙක මේ ක්ෂෙත්‍රයේ ඉදිරියට ගිහින් හොඳම නිළිය ලෙස සම්මාන ලබන එක. තුන මගේ ම පිටපතකට අධ්‍යක්ෂවරියක් වෙලා නිර්මාණයක් එළිදක්වන එක. හතර හොඳ අම්ම කෙනෙක් වෙන එක.




මේ අවුරුදු දොළහට මිස් වෙච්ච දේවල් තියෙනවද?




සමහර ලස්සන වැඩවලට අඬගහල ඒවා නොලැබී ගිය තැන් තියෙනව. නමුත් මම හිතනව සමහර දේවල් අපේ ජීවිතවලින් මගහැරිලා යන්නෙ ඒවා පසුපස දිවයන්න නෙවෙයි. ඒවා තමන්ට හිමි නැති නිසයි. ඒ නිසා කිසි දෙයක් මට නොලැබී ගියා කියන හිතේ දුක්ක නැහැ. මට රඟපාන්න බැරි චරිත තමයි නිරුවත් දර්ශන ඇතුළත් චරිත. එවැනි චරිත ගොඩක් ඇවිත් අතහැරල තියෙනව. නිළියක් කියන්නෙ ඕනම චරිතයක් රඟපාන්න පුළුවන් කෙනෙක් තමයි. නිරුවත් චරිතයක් වුණත් කලාත්මකව රඟපාන්න පුළුවන්. එවැනි කලාත්මක චරිත රඟපාන අයට මම ආචාර කරනව. නමුත් මට නිරුවත් චරිතයක් රගපාන්න හිත එකඟ කරගන්න අමාරුයි. ඒ නිසා මම එවැනි චරිත අතහැරියා. නිරුවත් චරිත රඟ පෑවේ නැති වුණාට සමාජයේ යථාර්ථය පෙන්වන්න පුළුවන් ඕන තරම් චරිත තියෙනව. මම ඒ චරිත රඟපානව. මේ දවස්වල ටෙලි නාට්‍ය පහක වැඩ කරගෙන යනව.




ගමෙන් හා පවුලෙන් ඈත් වෙලාද




මගේ පවුලේ අම්මයි අක්කල දෙන්නයි ඉන්නෙ. තාත්තා ජීවතුන් අතර නැහැ. අක්කල දෙන්න මට වඩා ගොඩක් වැඩිමහල්. මම මුලින්ම කුරුණෑගල ඉඳන් අම්මත් එක්ක වැඩවලට ආව ගියා. පස්සෙ අපේ හිතවත් ගෙදරක නැවතුනා වැඩවලට පහසුවට. මේ වෙත්දි මම මගේම තැනක පදිංචිවෙලා ඉන්නෙ. හැබැයි තවම මටම කියල ගෙයක් දොරක් හදාගෙන නැහැ.




තවමත් අවිවාහකයි නේද?




ඔව්. මම හිතනව මට විවාහ වෙන්න නිසි වයස තවම ඇවිත් නැහැ කියල.




විවාහය ගැන තවම හිතල නැතත් ඔබ පෙම්වතියක් නේද?




මම පෙම් කරන කෙනෙක් ඉන්නව. ඒ දේවල් ඉදිරියේ කොහොම වෙයිද කියල කියන්න දැන්ම බැහැ. නමුත් මම මේ මොහොතේ පෙම්වතියක්. අපි ආදරයට ආදරය කරනව නම් ආදරයට ගෞරව කරනව නම් ආදරය අපේ ළඟ රැඳෙනව කියල මම විස්වාස කරනව.



Previous Post Next Post