මේ තරම් ජනතා ආදරයක් කොච්චර වටිනවාද - දුෂේනි ද සිල්වා




ලාංකික රූ රැජින තරඟයෙන් ජයග්‍රහණය හිමිකර ගැනීමෙන් පසු ඇය රංගන කලාවට එක් වන්නේ වයඹ පළාතේ ඇතුගල් පුරවරයෙනි. මේ දිනවල ස්වර්ණවාහිනී රූපවාහිනී සේවයෙන් සතියේ දිනවල ඇය රාත්‍රී 08.30ට අප හමුවන්නීය. ඒ යුගයේ ජනප්‍රියතම ටෙලි නාට්‍ය ලෙස සම්මානයට පාත්‍ර වූ ‘පාර දිගේ’ ටෙලි නාට්‍යයේ ‘බන්ටි’ හෙවත් ‘සරණි’ගේ ද්විත්ව චරිතයෙනි. එම චරිතයේ ඇගේ රංගන සාර්ථකත්වය කොතෙක්ද යත් මීට මාස දෙකකට පෙර පැවති 2023 සුමති ටෙලි සම්මාන උලෙළේ දී ඇය හොඳම ජනප්‍රියතම නිළිය ලෙස ද 2022 රයිගම් ටෙලීස් සම්මාන උලෙළේ දී මීට සති කිහිපයකට පෙර දී ද සම්මාන හිමි කර ගත්තාය. හිරු නාළිකාවේ විකාශය වන සංසාරිණී ටෙලි නාට්‍යයෙන් ද අපේ ආලින්දයට එක්වන්නීය පාරදිගේ ටෙලිනාට්‍ය වෙනුවෙන් ලැබූ එම සම්මානයේ ජයග්‍රාහී උණුසුම ද සමඟින් මෙවර අපේ කතා බහට එක්වූයේ දුෂේනි මියුරංගි නම් ජනප්‍රියතම යොවුන් රංගන ශිල්පිනිය‍යි.


ප්‍රථමයෙන්ම සුබ පතනවා ඔබ ලැබූ ජයග්‍රහණයට.


ගොඩාක් ස්තුතියි අයියා ගොඩක් සතුටුයි අයියේ මෙහෙම මට කතා කළාට.


දැන් ක්ෂේත්‍රයට ඇවිත් කොච්චර කල්ද?


මම ක්ෂේත්‍රයට එන්නේ 2016 වසරේ දී එතකොට දැන් අවුරුදු හතක් (07) වෙනවා. මේ කාලය තුළ අවුරුද්දක් විතර මං ඉන්දියාවට ගිහින් හිටියා. ඊට පස්සේ කොරෝනා ආවත් එක්කම ඒත් අවුරුද්දක් වගේ කිසිම වැඩක් නැතුව ඉන්නත් වුණා.


ඔබ රඟපෑ දීර්ඝතම ටෙලි නාට්‍ය ආදරය ගින්දරක් කියන ටෙලි නාට්‍ය ද?


නෑ.... ඒක මගේ ප්‍රථම ටෙලි නාට්‍ය රංගනය කොටස් එකසිය අනූ හයක් (196)ක් වගේ තමා එකේ ගියේ.


ඊට පස්සේ දුෂේනි නිර්මාණ කීයකට විතර දායක වුණාද?


මං එහෙම මහ ගොඩක් කියලා ටෙලි නාට්‍ය වලට සම්බන්ධ වුණේ නැහැ. ලැබුණු ඒවා හොඳීන් තෝරා බේරාගෙන තමා වැඩ කළේ. වෙනස් වෙනස් චරිත කරන්න තමා මම වැඩි කැමැත්තක් තිබුණෙ.


එතකොට ඔබේ ප්‍රථම මෙගා ටෙලි නාට්‍යය දැන් ස්වර්ණවාහිනියේ යන පාර දිගේ ටෙලි නාට්‍ය ද?


ඔව්... ඒක තමා මම මේ වෙද්දිත් වැඩ කරගෙන යන දීර්ඝතම ටෙලි නාට්‍යය.


දැන් ඒකේ කොටස් කීයක් විතර විකාශය වෙලා තියෙනවද?


කොටස් හාරසිය පනහක් (450) ක් වගේ ගිහින් තියෙනවා.


දුෂේනි එහි රඟපාන චරිතය ගැනත් කියමු?


බන්ටි පස්සේ ඒ චරිතය සරණි බවට පත්වෙනවා. මේක ඩබල් ඇක්ටින් හෙවත් ද්විත්ව චරිතයක්. මෙහිදී දුෂේනි වන මට ඒ චරිතය තුළ කටයුතු කරන්න ඊට අනුගත වෙන්න කෙටි කාලයක් ගත වුණා. මොකද සද්ධා අයියා ලියපු සරණි චරිතයට දුෂේනිට යම් යම් සමානකම් තිබුණත් ඒක හාත්පසින්ම වෙනස් චරිතයක්. නමුත් දැන් අවුරුදු දෙකක් (02) තිස්සෙම මම මෙහි රඟපෑමට එක්වීමත් සමඟ ඊට අනුගත වෙලා දැන් එය සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා හමාරයි.


මීට දින කිහිපයකට පෙර පැවති 2023 සුමති ටෙලි සම්මාන උලෙළේදී ඔබ ජනප්‍රියතම නිළිය ලෙස සම්මානයට පත් වෙනවා නේද?


2017 වසරේදී මං ලාංකික රූ රැජින බවට පත්වෙනවා. ඊට පස්සේ මේ 2023 දී තමා ජනප්‍රිය හොඳම නිළිය සම්මානය මට මේ විදිහට ලබාගන්න පුළුවන් වුණෙ. ඒක මං ලබපු ලොකු ජයග්‍රහණයක්.


ඔබව එලෙස සම්මානයට පාත්‍ර වෙන්න ජනතා ප්‍රසාදයෙන් මනාප කොච්චරක් නම් ලැබුණද?


හරියටම ගාන මතක නෑ. දාහත් ලක්ෂ ගණනක් මට හිතාගන්නවත් බැරිතරම් මගේ ඒ චරිතයට මිනිස්සු බැන්නා. එහෙම වෙලත් මේ තරම් ආදරයක් මේ සියයට සීයක් (100%) පිරිසිදු ජනතා මනාපය හා ආදරයක් සරණි හෙවත් දුෂේනි වන මට ලැබීම මම අගය කරනවා. මං ඔවුනට හිස නමා ආචාර කරනවා ඒ වෙනුවෙන්.


මේ අවස්ථාවේ දුෂේනිට පවුලේ උදවියගෙන් ලැබුණු ප්‍රතිචාර කොහොමද ?


එදා සම්මාන උලෙළට යන්න මගේ තාත්තත් මාත් එක්ක ආවා. මං එන්න කියලත් නෙමෙයි. එයාම හිතලා ආවේ. මීට පෙර රූ රැජින කිරුළ මං හිමිකරගත් දවසෙත් එතැනට යන්නත් තාත්තා මාත් එක්ක ආවා. එදා මෙන් අදත් එයා ඉස්සරහම මං සම්මානය ගන්නවා එයා ගේ සියසින්ම ඒක දැකලා ගොඩාක් සතුටු වුණා. ඒ වගේම මගේ අම්මා, මල්ලි, ඥාති හිත මිත්‍රාදී අයත් ගොඩක් සතුටු වුණා. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕනේ පාරදිගේ ටීම් එක සද්ධා අයියා ශිවා සර් ඇතුළු හැමෝම අපි හරිම එකමුතුයි. ඒ එකමුතුකමම තමා මේ ජයග්‍රහණයට හේතුවක් ලෙස මං දකින්නේ.


ඉස්සරහට දුෂේනිව අපිට දකින්න ලැබෙන නිර්මාණත් තියෙනවද?


මං රංගනයෙන් දායකවුණු සිංහබාහු චිත්‍රපටය ඉදිරියේදී තිරගත වීමට නියමිතයි. එහි සියයට අනූ අටක්ම (98%) රූගත කිරීම් කටයුතු නිමා කරලයි තියෙන්නෙ. ළඟදීම එයිනුත් මාව දැකගන්න පුළුවන් වේවි. තව පාර දිගේ ටෙලි නාට්‍යයේද තවත් අලුත් නිර්මාණ කිහිපයකම වැඩ කටයුතු මේ දවස්වල කරගෙන යනවා ඒවායේ රූගත කිරීම්වලට දායක වෙමින්


අවසාන වශයෙන් දුෂේනි ට කියන්න තියෙන්නෙ මොනවද?


මම මීට පෙර කිව්වා වගේම මගේ ප්‍රේක්ෂක ජනතාවට මං ගොඩක් ආදරෙයි. බන්ටි හෙවත් සරණි ලෙස දුෂේනිව මේ තැනට ගෙන ආවේ ඒ අය තමා ඒ ගැන මට දරාගන්න බැරි තරම් සතුටක් තමයි තියෙන්නේ මේ සම්මානය මගේ නෙවෙයි ඔවුන්ගේ කියලා තමා මට කියන්න වෙන්නේ මොකද මේ තරම් අමාරු කාලෙක මං වෙනුවෙන් එක රුපියලක් හරි වැය කරල ඉර්ඉ එකක් යවලා මාව ජයග්‍රහණය කරා යොමු කළ ඔවුන්ට මම හැමදාමත් ණයගැතියි.


 




Previous Post Next Post