සමහරු හිතාවි මම හරි පණ්ඩිතයි කියලා - මනෝජා ප්‍රනාන්දු




මනෝජා... ඉතින් කොහොමද?


හොඳින් ඉන්නවා. සතුටින් ඉන්නවා.


මේ දවස්වල මොනවද කරන්නෙ?


මේ දවස්වල ධනංජය සිරිවර්ධන අයියා අධ්‍යක්ෂණය කරන 'සිදාදියේ සමනලියෝ' ටෙලිනාට්‍යයේ රූගත කිරීම්වලට සහභාගි වෙනවා. ඒ ටෙලිනාට්‍ය මේ වෙනකොට විකාශය වෙනවා.


ධනංජය සිරිවර්ධනගේ පළමු අධ්‍යක්ෂණය වන 'සිදාදියේ සමනලියෝ' ටෙලිනාට්‍යයේ මනෝජාට රඟපාන්න ලැබෙන්නෙ යශෝධා විමලධර්ම, තරින්දි ප්‍රනාන්දු, මිශෙල් දිල්හාරා ඇතුළු පිරිසක් එක්කයි. මේ රූගත කිරීම් කරද්දි ලැබුණු අත්දැකීම කොහොමද?


ඒක ඇත්තටම අලුත් අත්දැකීමක්. යශෝධා අක්කා එක්ක එකට වැඩ කරන්න ලැබෙයි කියලා ජීවිතේ කිසිමදාක හිතුවෙ නෑ. ඇය ඉතා ප්‍රවීණ, දක්ෂ කලාකාරියක්. යශෝධා අක්කා එක්ක රඟපාන්න අවස්ථාව ලැබුණා. ඒ ගැන මට ගොඩක් සතුටුයි. ඒ වගේම තරින්දි අක්කා, මිෙෂල් වගේම තව අලුත් නංගිලා දෙන්නෙක් එක්ක එකට වැඩ කරන්න ලැබුණා. ගැහැනු ළමයි පස්දෙනෙක් එකට රූගත කිරීම් කරද්දි හරි ජොලි. මම ඒ නිර්මාණය තෝරාගත්තෙම ඒ වෙනස නිසාමයි. ඒ ආසාව නිසාමයි.


ඔබ රංගනයෙදි තෝරාබේරා ගැනීම් කරනවද? නිතර දකින්න ලැබෙන්නෙ නැත්තෙ ඒ තේරීම නිසාමද?


ඔව්.. ඇත්තටම සමහරු හිතාවි මම හරි පණ්ඩිතයි කියලා. හැබැයි මම එහෙම නෑ. මේ මගේ හැටි. ඕනෑම කෙනෙක්ට ඕනෑම දෙයක් කියන්න පුළුවන්නෙ. මම ලැබෙන හැම ආරාධනාවක්ම, අවස්ථාවක්ම බාරගන්නෙ නෑ. නිර්මාණයකට මට ආරාධනාවක් හෝ අවස්ථාවක් ලැබෙද්දි මම මුලින්ම පිටපත කියවනවා. ඒ වගේම අධ්‍යක්ෂකවරයා කවුද කියලත් බලනවා. ඒ අනුව තමයි මම ඒ අවස්ථාව බාරගන්නෙ. මම මෙගා ටෙලිනාට්‍ය නම් බාරගන්නෙ නෑ. මේ නිර්මාණය බාරගන්න ඒ පිටපත සහ ධනංජය අයියා ගැන මගේ තිබුණු ගෞරවය හා විශ්වාසය හේතුවක් වුණා. 'සිදාදියේ සමනලියෝ' කියන්නෙ ධනංජය අයියාගේ පළමු අධ්‍යක්ෂණයයි. ධනංජය අයියට හොඳට ලියන්න පුළුවන්. ඔහුගේ රංගනය, ලිවීමේ හැකියාව වගේම ඔහුගේ අධ්‍යක්ෂණයත් හොඳ ඇති කියලා මම විශ්වාස කළා.


ටෙලිනාට්‍ය රාමුවෙන් මනෝජාව වැඩිය දකින්න නොලැබුණත් රූප රචනාවල ජනප්‍රිය චරිතයක්?


ඔව්.. හැබැයි රූප රචනා වුණත් මම වැඩිපුර කරලත් නෑ. ඒකත් තෝරලා තමයි බාරගන්නෙ. ඒ විදිහට රූප රචනා දහයකට වගේ සම්බන්ධවෙලා වැඩ කරලා තියෙනවා. ඒවායෙන් බොහොමයක් ඉතා ජනප්‍රිය වුණා. රූප රචනාවලින් තමයි මම මුලින්ම මේ ක්ෂේත්‍රයට ආවෙ.


ඒ අවස්ථාව ලැබුණෙ කොහොමද?


මුලින්ම අභිෂේකා විමලවීර අක්කගේ 'නිස්සාර සංසාර හීනේ අතීතේ' ගීතයේ රූප රචනාවට සම්බන්ධ වීමට ලැබුණා. චමිල් පතිරණ අයියා තමයි මාව ඒ නිර්මාණයට සම්බන්ධ කළේ. 'නිස්සාර සංසාර හීනේ' ගීතයේ රූප රචනාව අධ්‍යක්ෂණය කළේ චමිල් අයියා. මේ වෙද්දි චමිල් අයියාගේ ටෙලිනාට්‍යයක චරිතයකටත් මම සම්බන්ධවෙලා ඉන්නවා. ඉතින් මට ගොඩක් සතුටුයි.


ඔබ සිනමා නිර්මාණයකටත් සම්බන්ධ වුණා කියලයි ආරංචිය?


ඔව්.. හැමදේටම කලින් මම මුලින්ම සිනමාවට තමයි සම්බන්ධ වුණේ. මම සිනමා නිර්මාණ දෙකකට සම්බන්ධ වුණා. එක නිර්මාණයක් මේ වසරේදි තිරගත වේවි කියලා විශ්වාස කරනවා. ඉතින් ඒ නිර්මාණවලින් මාව දැකබලා ගන්න පුළුවන් වේවි.


නිළියක් වීම පුංචි කාලේ මනෝජා දැකපු හීනයක්ද?


නෑ. මට රංගන ශිල්පිනියක් වෙන හීනය කවදාවත් තිබුණෙ නෑ. හැබැයි මම පුංචි කාලෙ නර්තනය ඉගෙන ගත්තා. මම කලාවට ආසා කළා. හැබැයි කවදාවත් නිළියක් වෙන හීනයක් තිබුණෙ නෑ. රූපවාහිනියෙන් නිළියක් ලස්සනට රඟපාද්දි මම හරිම ආසාවෙන් ඒ දිහා බලාගෙන හිටියා. පුංචි කාලේ පණ්ඩිතකමට මම කණ්ණාඩිය ඉස්සරහට ගිහින් තනියම ඒ දේවල් රඟපෑවා. ඒ නිසා පුංචි කාලෙම මාව නර්තනය සහ රංගනය පිළිබඳව හදාරන්න යොමු කළා. මම නාට්‍ය හා රංග කලාව පාසලේදි උසස් පෙළටත් ඉගෙන ගත්තා. මම මුලින්ම ඇරුව්වල විද්‍යාලෝක විදුහලෙන් ඉගෙන ගත්තා. ඊටපස්සෙ නුගේගොඩ ශාන්ත ජෝසප් බාලිකාවෙන් ඉගෙන ගත්තා. පුංචි කාලෙ මම ටිකක් ලැජ්ජා ළමයෙක්. ඒ නිසා පාසලේ වේදිකාවට මම වැඩිය සම්බන්ධ වුණේ නෑ.


ඔබගේ ඉදිරි බලාපොරොත්තු මොනවද?


මම ලොකු බලාපොරොත්තු තියාගෙන ජීවත්වෙන කෙනෙක් නෙමෙයි. ලංකාවෙ ආර්ථිකයත්, මේ වටපිටාවත් එක්ක අපිට බලාපොරොත්තු තියාගෙන ජීවත් වෙන්න අමාරුයි. මට මගේ ව්‍යාපාරයක් පටන්ගන්නත් පොඩි බලාපොරොත්තුවක් තියෙනවා. හැබැයි ඒ ගැනත් ලොකු බලාපොරොත්තු නෑ. මම අද මේ මොහොතේ ජීවත් වෙන කෙනෙක්.


 දිශානි





Previous Post Next Post