කලකිරීම්වලට මාව නිහඬ කරන්න බෑ-උදයන්ති කුලතුංග



පුංචි කාලේ දකින හීන පස්සේ දුවලා ඒ හීන සැබෑ කරගන්න හැම කෙනෙකුට ම බැහැ. නමුත් නිළියක් වෙනවා කියලා හීන දැක්ක ඈ අද රංගන ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ හා ජනප්‍රිය තාරකාවක්. විවාහයත් මවු පදවියත් එක්ක කෙටි කාලයක් නිහඬව හිටපු ඈ උදයන්ති කුලතුංග. මේ ඒ පුංචි පවුල ගැන තොරතුරු යි. 


බොහෝ කලාත්මක නිර්මාණ වලින් දැකගන්න ලැබුණු උදයන්ති දැන් දකින්නේ ඉඳහිට. උදයන්තිගේ අලුත් නිර්මාණ තොරතුරු කොහොමද ..?


ඒක ඇත්ත. ටිකක් වැඩිපුර පවුල් ජීවිතේට මුල් තැන දුන්නා. පසුගිය කාලයේ නිහඬව ඉදලා දැන් ආයෙමත් වැඩ පටන් ගත්තා. මේ දවස්වල අලුත් නාට්‍යයකට සම්බන්ධ වුණා “මේක තමයි ජීවිතේ“ කියලා . ලක්මින් අමරදේව මහත්මයාගේ නිර්මාණ දායකත්වයක්. ඒ නාට්‍යයෙන් ආයෙමත් මාව ටෙලිවිෂනය ඔස්සේ දැකගන්න පුළුවන් කියලා සතුටින් මතක් කරනවා.


කාලයක් නිහඬව හිටියත් වැඩවලින් නම් අඩුවක් නැහැ නේද ..?


රංගන ශිල්පිනියක් හැටියට එක දිගට වැඩකරපු අවස්ථා තිබ්බා. තරුණ කාලේ ලැබුණු හැම නිර්මාණයක්ම භාර ගත්තා. අපිත් මිනිස්සුනේ. කාලය යනකොට විවාහය ගැන පවුල් ජීවිතේ ගැන හිතන්න ඕන. ඒ නිසා එතැනදී තෝරා ගැනිම් කරන්න සිදු වෙනවා. ටික කාලයක් නිහඬව හිටියත් වැඩවලට නම් ආරාධනා ලැබුණා. මාත් එක්ක වැඩ කරපු හැම අධ්‍යක්ෂවරයෙක්ම ඔවුන් අලුත් වැඩක් පටන් ගත්තොත් මටත් කතා කළා. ඒ නිසා ආරාධනා වලින් නම් අඩුවක් තිබ්බේ නැහැ.


නිහඬව හිටපු කාලේ හිතුණේ නැද්ද කලා ජීවිතය මග හැරියේ අපරාදේ කියලා ..?


මම අවුරුදු දෙකක් කිසිම නිර්මාණ කටයුත්තකට සම්බන්ධ වුණේ නැහැ. විවාහයත් එක්ක මම හිතුවා විවාහ ජීවිතේට මුල් තැන දෙන්න ඕන කියලා. ඒත් එක්කම මම ගැබ් ගත්තා. දුව ඉපදුණා. එයා එක්ක කාර්යබහුල වුණා. දැන් තමයි ටිකක් විවේකීව ඉන්නේ දුව ටිකක් ලොකු නිසා. කලාකරුවෝ කොහොමත් කලාවට ආදරේයි. මමත් එහෙමයි. ඒ නිසා තවම කලාවේ නියැළෙනවා. නිහඬව හිටපු කාලේ එහෙම හිතුණේ නැහැ. මොකද පස්සේ රඟපාන්න පුළුවන්නේ කියලා විතරයි හිතුවේ.


කලකිරිම්ද උදයන්තිව නිහඬ කළේ..?


කලකිරීම් කියන දේ ඕනෑම කෙනෙකුට එන්න පුළුවන්. මම කවදාවත් කලාව හා පුද්ගලික ජීවිතේ පටලවා ගත්තේ නැහැ . ඒ වගේම කියන්න ඕන මම කවදාවත් කලාවෙන් ඈත් වෙන එකක් නැහැ කියන එක. කියමනක් තියෙනවානේ කලාවට සම්බන්ධ වුණු කෙනෙකුට ඒක උණක් වගේ කියලා. ඒ උණ මටත් තියෙනවා ඒ නිසා පුද්ගලික ජීවිතේ මොන වෙනස්කම් ආවත් කලාව මගෙන් ඈත් වෙන එකක් නැහැ. කලකිරිම් වලට මාව එහෙම නිහඬ කරන්න කියන්නත් බැහැ. මොකද මට කලාව නිසා බොහෝ දේ ලැබිලා තියෙනවා. පුංචි කාලේ ඉඳලා තිබ්බ හීනයක් තමයි නිළියක් වීම. මගේ පවුලේ අයත් සැමියාත් මට සහය දෙනවා. මට තියෙන්නේ උපරිම දේ නිර්මාණ වලට දෙන්න. රසිකයින් අපෙන් බලාපොරොත්තු වෙන දෙයක් තියෙනවා. ඒ දේ රංගනය තුළින් දෙන්න ඕන ඒ ආදරේ වටිනවා. ඒ දේ එක්ක මම මැරෙනකල් කලාව එක්ක ඉඳියි


දැන් නම් උදයන්ති ආදරේ විඳින ගමන් සතුටින් පවුල් ජීවිතේ ගත කරනවා. ඒ සතුට ආරක්ෂාව දෙන ආදරණීය සැමියා මුණ ගැසුණේ කොහොමද කියලත් කියමු..?


2019 අවුරුද්දේ තමයි මට අකිලව අහම්බෙන් මුණගැහෙන්නේ. කොරොනා කාලේ ගෙදරට හිර වෙලා හිටපු දවසක මම මගේ යාළුවෙකුගේ ගෙදර ගියා. එයාගේ යාළුවෙක් අකිල. එයත් එදා ඇවිත් හිටියා. එතැනදී දැන හඳුනාගෙන අපි කතාබහ කළා. යාළුවෝ වගේ ආශ්‍රය කරමින් ඉන්නකොට තමයි එයාට මම ගැන අදහසක් ඇවිත් තිබ්බේ. එයා මට යෝජනා කළේ මම ඔයාව මැරි කරන්න කැමති මොකද කියන්නේ කියලා . ඊට පස්සේ මාසයක් විතර තමයි ආශ්‍රය කළේ. එයාව මට තේරුම් ගන්න පුළුවන් වුණා හොඳ කෙනෙක් කියලා . මාසයක් ඇතුළත් අපි විවාහ වුණා . ඇත්තටම කිව්වොත් අවුරුදු ගණන් ආදරේ කරලත් තේරුම් ගන්න බැරි වෙන අවස්ථා කෙනෙකුට එන්න පුළුවන් . නමුත් මට කෙටි කාලයකින් එයාව තේරුම් ගන්න පුළුවන් වුණා. ඒක වාසනාවක්. ප්‍රමාද වෙලා හරි කෙනා ලැබුණම ජීවිතේ සතුටින් ගෙවන්න පුළුවන් . මමත් දැන් ආදරේ එක්ක සතුටින් ජීවත් වෙනවා.


දැන් හිතෙනවා ඇති නපුරූ දේ මග හැරුණේ ඔහුව මුණ ගස්සන්න කියලා ..?


නොගැළපෙන දේවල් ජීවිතෙන් ඈත් වෙන්නේ හොද දේ ලැබෙන්න වෙන්න ඇති. අපිම තමයි තේරුම් ගන්න ඕන අපිට හරි දේ නොගැළපෙන දේ මොනාද කියන එක. නරක දේවල් ඕනෑම කෙනෙකුට වෙන්න පුළුවන. ඒවා අත්දැකීම් කර ගත්තොත් තමයි දවසක හරි දේ තෝරා ගන්න පුළුවන් වෙන්නේ. මට හරි දේ ලැබුණා . හැලහැප්පිම් එන්න පුළුවන් . හොඳ නරක එක්ක ජීවිතේ ඉස්සරහට ගලාගෙන යනවා. අනාගතේ කියන්න බැහැ මොනා වෙයිද කියලා . නමුත් දැන් හරිම සතුටින් ජීවත් වෙනවා.


ඔහු නීතිය එක්ක කටයුතු කරන කෙනෙක්. ඒ නිසා ඔබ වටේට ගෙතුණු කට කතා ගැන ඔහු බුද්ධියෙන් දකින්න ඇති..?


රැකියාව අදාල නැහැ ජීවිත ගළපා ගන්න. අපේ සමාජයේ හැටියක් තමයි කාගේ හරි ඇදයක් හොයා ගන්න එක. කොහොම හිටියත්. ගොඩක් ලස්සන කෙනෙක් තව කෙනෙකුට කැතට පේනවා. රූපය වුණත් ගතිගුණ වුණත් එහෙමයි. කෙනෙකුගේ කතා එක්ක මනුස්සයෙක්ව මනිනවා නම් ඒක වැරදියි. මම අත්දැකිමෙන් විඳලා තියෙනවා එක යාළුවෙක් ගැන තව කෙනෙක් වැරදියට කියලා මමත් එයා එහෙම වෙන්න ඇති කියලා හිතාගෙන ඉදලා එයාව ආශ්‍රය කළාට පස්සේ එයා හොඳ කෙනෙක් කියලා දැණුනු අවස්ථා. මිනිස්සු අද කාලේ කාටද කතා නොකියන්නේ. ඒක දුර්වලකමක්. මඩ ගහන එක ට්‍රෙන්ඩ් එකක් වෙලා ඒකෙන් ජනප්‍රිය වෙනවා. ප්‍රයෝජන ගන්නවා. මම නම් කවුරු දිහාවත් වැරදියට හිතන්නේ නැහැ . අකිලත් එහෙමයි. අකිල ඒවා ගැන නොහිතනම කෙනෙක්.


ඔහු කැමතිද ඔබ රංගන ශිල්පිනියක් හැටියට දකින්න..?


ඔව්. හස්බන්ඩ් කැමතියි මම හොඳ චරිත වලින් නිර්මාණ වලට දායක වෙනවට. ඒක මගේ රැකියාව විතරයි . එයා මාව තේරුම් අරන් ඉන්නේ. එයාගේ අකමැත්තක් නැහැ.


ඔහුට ඔබේ විලාසිතා ප්‍රශ්නයක් වෙලා නැද්ද ..?


ලස්සන රූපයක් තියෙනවා නම්. ශරීරයට ගැලපෙන විලාසිතාවක් කරන්න ඕන. මම අදින්නේ එහෙමයි . මම 18දි කරපු විලාසිතා දැන් කරන්න බැහැ , මගේ වයස හා මම මවක්. බිරිඳක් . ඒ නිසා කොහොමත් විලාසිතා ඇතුළේ මම තෝරා ගැනිම් කරනවා. අකිල එහෙම නීතිරිති දාන්නේ නැහැ , මොකක් හරි අඩුපාඩුවක් තිබ්බොත් කියනවා. ඒත් මෙහෙම ඉන්න මේක කරන්න එපා කියලා කියන්නේ නැහැ


දැන් ආදරණීය මවක් කොහොමද දුවත් එක්ක ගෙවන සුන්දර ජීවිතේ ..?


මට පුංචි දුවක් ඉන්නවා. එයා යාරා නිරලි. එයත් එක්ක සෙල්ලම් කරමින් විනෝදෙන් මේ දවස්වල කාලය ගත කරනවා. ගැහැනියක් වුණොත් මවක් විය යුතුයි. ඒක අනිවාර්යයෙන්ම තිබීම වාසනාවක්. මම ඒ වාසනාව අත්විඳමින් සතුටින් ජීවත් වෙනවා . දරුවෙකුට මවක් වීම කියන්නේ පිනක්. කාන්තාවන් දන්නවා ඒ අත්දැකීම ජීවිතේ වෙනම මානයකට රැගෙන යනවා කියලා , ඒක පෙරළියක්. ජීවිතේ වෙනස් වෙනවා. දරුවෝ එක්ක ගනුදෙනු කරද්දී අපේ අම්මා කොහොමද අපිව හැදුවේ කියලා මතක් කරලා දෙනවා. අම්මගේ වටිනාකම පේනවා. දරුවෙක් ජීවිතේට එනවා කියන්නේ ඒ ගැහැනිය වෙනස් කෙනෙක් වෙනවා කියන එකයි. ජීවිතේ පරිණත වෙනවා ඒ අත්දැකීම් එක්ක. මගේ යාරාදුව තමයි මට ඒ සුන්දර අත්දැකීම් දුන්නේ. එයා තමයි දැන් මගේ ජීවිතේ‍ෙම. එයාව සතුටින් තියන එක තමයි මගේ ලොකුම බලාපොරොත්තුව. එයා එක්ක ගෙදරට වෙලා සතුටින් ජීවත් වෙනවා


ඇය ඔබව තිරයෙන් දකිද්දී ප්‍රතිචාර දක්වනවද..?


දවසක් මම රූපවාහිනී වැඩසටහනකට ගියා එයාව මගේ අම්මා ළඟ තියලා. මාව දැකලා එයාට හිනා ගිහිං . මගේ දිහා බලාගෙන ඉදලා තියෙනවා . එයාගේ වයස මාස 11 යි තවම. ලොකු තේරුමක් නැහැ . පුංචි පුංචි ප්‍රතිචාර තමයි ලැබෙන්නේ.


දියණිය නිසා කලාව පැත්තකින් තියන්න උදයන්තිට හිතිලා තියෙනවාද ..?


දරුවෝ නිසා අපි කරන රැකියාවෙන් ඉවත් වෙන්න ඕන කියන තැන මම නැහැ. වගකිම් මම ඉටු කරනවා. එයාගේ රැකවරණය ආදරේ මම නොඅඩුව දෙනවා. මම වගේම අකිල අපේ වගකීමක් ඉටු කරනවා. අපි දෙන්නා වගේම මගේ අම්මා, සහෝදරියගෙනුත් ලොකු ආදරයක් රැකවරණයක් ලැබෙනවා. එයාට කිසිම අඩුවක් නැහැ . ඒ නිසා එයාව මිස් කරගන්නේ නැතුව මම නිර්මාණ වලට සම්බන්ධ වෙනවා. දුව නිසා කලාව පැත්තකින් තියන්න තවම හිතිලා නැහැ .


හස්බන්ඩ් කියන්නෙත් පවුල් ජීවිතෙයි දරුවයි කියලා ඒකාකාරි ජීවිතයක් ගත කරන්න ඕන නැහැ. ඔයා ඔයාගේ වැඩවලට සම්බන්ධ වෙන්න කියලා. එයාගේ සහය තියෙන නිසා මට තවත් පහසුයි.


උදයන්ති තවම ලස්සන මේකප් එකට වඩා ස්වාභාවික ලස්සනට කියලා කියන අයත් ඇති..? ඒ ගැන කියලා අපි කතාබහ ට සමු දෙමු..?


වෙන කාටත් වඩා එහෙම කියන්නේ මගේ හස්බන්ඩ්. එයා ආසම නැහැ මම මේකප් දානවට. එයාට ඕන මාව ස්වාභාවික විදිහට දකින්න. එයාට මාව ලස්සන එහෙමලු. කොහොමත් මම ලොකුවට මේකප් පාවිච්චි කරන කෙනෙකුත් නෙමෙයි මට තනියම ලොකු මේකප් එකක් කරගන්නත් බැහැ . නිර්මාණ වලට සම්බන්ධ වෙද්දී චරිතයට සරිලන මේකප් දානවා. එහෙම නැතුව ගොඩක් වෙලාවට මම ආස හස්බන්ඩ් කැමති විදිහට නැචුරල් බියුටි එකට තමයි . මොකද සමහර අය මේකප් නැතුව දැක්කොත් අඳුරන්නත් බැහැ. මේකප් එකට කෙනෙක්ව ලොකුවට වෙනස් කරන්න පුළුවන්. නමුත් මගේ රසිකයින් මට ප්‍රතිචාර දක්වන්නෙත් මේකප් නැති රූපයට කිව්වොත් හරි. යාළුවොත් කියනවා මේකප් නැතුව හොඳයි කියලා





Previous Post Next Post