මට මගේම කියලා දැනුණොත් කාලයක් ලිවින් ටු ගෙදර් ඉඳලා තමයි කසාදයකට යන්නේ-චානුක ප්‍රබුද්ධ

 



චානුක ප්‍රබුද්ධ කියන්නේ නිරූපණ ශිල්පියෙක් විදියට කලා ක්ෂේත්‍රයට ඇවිත් මේ වෙද්දී පුංචි තිරයේ සහ සිනමාවේ නිර්මාණ තුළින් ප්‍රේක්ෂකයින් අතරට එන කඩවසම් දක්ෂ රංගන ශිල්පියෙක්. ශාන්ත සොයිසා මහතාගේ ‘මිතූ’ නාට්‍යය තුළින් රංගනයට ආ චානුක, සකුගේ කතාව, කොළඹ ඉතාලිය වගේ නිර්මාණ තුළින් ප්‍රේක්ෂක මතකයේ රැඳෙන චරිත කරන්නට සමත් වුණා. මේ කාලයේ පවා ඔහුගේ නිර්මාණ කිහිපයක්ම විකාශය වනවා. 


මේ දවස් වල සෑහෙන්න කාර්යබහුලයි වගේ?


කාර්යබහුලයි කියන්නේ අලුත් ටෙලි නාට්‍යය කිහිපයක කටයුතු කළා. ඒ දේවල් ඉදිරියට විකාශය වෙයි. මේ කාලයේ විකාශය වෙන ITN නාලිකාවේ “සික්ස්පැක්“ (Sixpac) සහ හිරු නාලිකාවේ විකාශය වෙන “සිහින ගෙනෙන කුමරියේ“. ඒ නාට්‍යය දෙකේ රූපගත කිරීම් සිදුවෙනවා. ඒ එක්කම පෞද්ගලික ජිවිතේ ගත්තත් ටිකක් කාර්යබහුලයි.


සික්ස්පැක් සඳහා කොහොමද ඇරයුම් ලැබෙන්නේ?


ඇත්තම කියනවා නම් මේ චරිතයට ආරාධනා ලැබෙන්නේ සන්තුෂ් වීරමන්ගේ වැඩක් තියෙනවා කියලා. මම මුලින්ම හිතුවේ මියුසික් වීඩියෝ එකකට වෙන්න ඇති මේ කතා කරන්නේ කියලා. මම මියුසික් වීඩියෝ කරන්නේ නැති හින්දා දෙපාරකුත් හිතලා සන්තුෂ් අයියගේ වැඩක් නිසා බෑ කියන්නත් බැරි නිසා මම ඕකේ කරලා හිටියා. ඕකේ කළාටත් පස්සේ තමයි මම දැනගන්නේ ටෙලි නාට්‍යයක් කරන්නේ කියලා. සික්ස්පැක් තිර රචනා කරලා අධ්‍යක්ෂණය කරන්නේ අසංක සායක්කාර. ඊට පෙර මම අසංක අයියා ලියපු ඉන්ටර් නැෂනල් නාට්‍යයේ වැඩ කරලා තියෙනවා. මේක අසංක අයියා අධ්‍යක්ෂණය කරන පළමු වැඩේ. ඉතා හොඳ වැඩක්. වෙහෙස මහන්සි වෙලා කරන්නන ඕනේ වැඩක්. අනිත් ටෙලි නාට්‍යය රූගත කරන රාමුවෙන් එහා ගිය වෙහෙසකාරී වැඩක්. මම වගේම අනිත් අයත් ජනප්‍රිය තරගයක් කරන්න පුළුවන් පිරිසක් එක්ක වැඩ කරන්නේ. මා එක්ක ඉන්න අනිත් පස් දෙනා ගත්තොත් මම ඒ හැමෝම එක්කම වැඩ කරලා තිබ්බේ නැහැ. තරින්දි එක්ක විතරයි වැඩ කරලා තිබ්බේ. පළවෙනි දවස් ටිකේ පොඩි නුහුරු ගතියක් තිබ්බා. දැන් නම් අපි එක පවුලක්. අපි හය දෙනාම දැන් වෙන් කරන්න බැහැ. අපි හය දෙනාම නැත්නම් ෂුටින් කරන්න බැරි තත්ත්වයක් ඇවිත් තියෙන්නේ. අපි සතුටින් කරන නාට්‍යයක්. මේ සික්ස්පැක් (Sixpac) නාට්‍යය කියන්නේ හාස්‍ය පමණක් මුසු නාට්‍යයක් නෙවෙයි, සමාජයට පණිවිඩයක් දෙන නාට්‍යයක්.


සික්ස්පැක් හි කවීන්, කොහොමද චරිතයක් ද?


මම මෙතෙක් කරපු චරිතවලට වඩා වෙනස් චරිතයක්. ගොඩක් අය ඇහුවේ ඇයි මේ චරිතය භාරගත්තේ මේකේ ලොකු දෙයක් කරන්න නැහැනේ කියලා. ඒක එක පැත්තකින් ඇත්ත වුණත්, මම ඒ චරිතය කරන නිසා තමයි අනිත් හැමෝගෙම චරිතවල වෙනස් වීම පෙන්වන්න පුළුවන්. මම කරන්නේ IT රැකියාවක් කරන චරිතයක්. ඒ මිනිස්සු ඇත්තටම කාර්යබහුලයි. ඒ අයට එළියේ ලෝකයක් හරිම අඩුයි. මේක තමයි අපි ගෙවන ඇත්ත ජිවිතේ. ඒ නිසා මම හිතන්නේ ඒ වගේ චරිතත් අපි කරන්න ඕනේ. අපි හය දෙනාගේම චරිත එකිනෙකට වෙනස් වූ චරිත. අපි හය දෙනාම කතා කරලා ඒ ඒ චරිතවලට සාධාරණයක් කරන්නේ. අපි හය දෙනාම මෙහි ප්‍රධාන චරිත. මේ චරිත ඉදිරියට වෙනස් වෙනවා. පිටපත ලියන්නෙත් අධ්‍යක්ෂකතුමා විසින්ම වීම නිසා එයාට ඕනේ වෙලාවක වෙනස් කිරීමේ හැකියාව තියෙනවා.


සිනමාවෙන් එන්න තියෙන නිර්මාණ මොනවද?


ප්‍රියන්ත කොළඹගේ ගේ අලුත්ම නිර්මාණය වන මන්දාරා හි ප්‍රධාන චරිතයකට රංගනයෙන් දායක වුණා. ඒක බොහෝදුරට මේ වසරේදී රිදී තිරයේ දැකගන්න ලැබෙයි. ඒ හැර චිත්‍රපටවලට නම් ආරාධනා ලැබෙනවා. නමුත් මම එතනදී තේරීමක් කරනවා. මොකද අපි හරි විදියේ චරිතයක් නොකලොත් ඒක මුළු අනාගතයටම බලපානවා. මට තව රංගනය ගැන හදාගන්න දේවල් සහ කල් තියෙනවා. ඒ නිසා මට කිසිම හදිසියක් නැහැ. මම චිත්‍රපට පමණක් කරනවා කියන තැනක මම නැහැ. මම ආවේ පුංචි තිරයෙන්. ඒ නිසා පුංචි තිරයේ සහ සිනමාවේ ලැබෙන හොඳ නිර්මාණවලට දායක වෙනවා.


චානුක රංගනය තුළ නියැලෙන්නේ වෘත්තිමය වශයෙන්ද නැත්නම් වෙනයම් ක්ෂේත්‍රයකටත් සම්බන්ධ ද?


මේ වෙද්දී මම අධ්‍යාපන කටයුතු අවසන් කරලා තියෙන්නේ. ඕස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාලයක බිස්නස් මැනේජ්මන්ට් උපාධිය සම්පූර්ණ කළා. මේ කාලේ මම මගේම කියලා ව්‍යාපාරයක් පටන් ගන්න ඉන්නේ. ඒකත් එක්ක තමයි මේ දිනවල මම කාර්යබහුල වෙලා ඉන්නෙත්. 


කලාකරුවන්ගේ පෞද්ගලික ජිවිතේ ගැන ප්‍රේක්ෂකයින් දන ගන්න කැමතියි, නමුත් චානුක පෞද්ගලික ජිවිතේ ගැන කතා කරන්න වැඩිය කැමති නැහැ නේද?


මම පිළිගන්නවා අපේ පෞද්ගලිකත්වය ගැන ප්‍රේක්ෂකයින් ආසයි දන ගන්න. නමුත් මම ඇත්තටම මගේ පෞද්ගලිකත්වය ගැන කතා කරන්න කැමතිම නැහැ. මම විශ්වාස කරන්නේ ප්‍රේක්ෂකයින් මාව දකින්න ඕනේ රංගන ශිල්පියෙක් විදියට පමණයි. ඒ අය දන්නේ නැහැ මම මේ තත්ත්වයට ආවේ කොහොමද කියලා. මම හරිම වෙනස් චරිතයක්. හැමෝම කියන දේ අහන කෙනක් නෙවෙයි. මට හදාගන්න ඕනේ ආදර්ශමත් දෙයක් කිව්වොත් ඒ ගැන මම නැවත නැවත හිතලා බලලා පිළිගන්නවා. මගේ ජීවිතේටම යාළුවෝ ඉන්නේ ඇඟිලිවලින් ගණන් කරන්න පුළුවන් තරම් සුළු පිරිසක්. අපි අම්මා තාත්තා දෙයක් කිව්වොත් අනිවාර්යෙන් අහනවනේ. ඒ පැත්තෙන් ගත්තම මේ වෙද්දී මගේ අම්මා තාත්තා ජිවතුන් අතර නැති නිසා මට බලපෑමක් කරන්න පුළුවන් පිරිසකට ඉන්නේ මගේ අක්කලා දෙන්නා ඇතුළුව මම ළඟින්ම ආශ්‍රය කරන හරිම සුළු පිරිසක්. එතනින් එහාට මම හිතන්නේ නැහැ අනිත් අය මගේ පෞද්ගලික ජිවිතේ දැන ගන්න ඕනේ කියලා.


විවාහ වෙන්න අදහසක් නැද්ද?


මම දැකලා තියෙන ලෝකය එක්ක විවාහ වෙන්න අදහසක් නැහැ. මම ඉන්නවා නම් ලිවින් ටු ගෙදර් තමයි ඉන්නේ. කෙනෙක් මා එක්ක තර්ක කරන්න පුළුවන් මේ තියෙන සංස්කෘතියත් එක්ක අපි බඳින්න ඕනේ කියලා. එහෙම කියන ගොඩක් අයගේ ඇත්ත ජිවිතවල තත්ත්වය ඔයත් පෞද්ගලිකව දන්නවා මමත් පෞද්ගලිකව දන්නවා. ඒ ඇත්ත හංගගෙන තමයි ඒ අය කතා කරන්නේ. මම දකිනවා මේ සමාජයේ ගොඩක් අය කසාද බැඳලා තියෙන්නේ නමට විතරයි. මට එහෙම වෙන්න කිසිම උවමනාවක් නැහැ. මට මගේම කියලා දැනුණොත් කාලයක් ලිවින් ටු ගෙදර් ඉඳලා තමයි කසාදයකට යන්නේ. ඒත් ඒ දේට දැන්ම නම් අදහසක් නැහැ. කවදා හරි දවසක විවාහ වෙන්න හිතුණොත් අනිවාර්යෙන්ම කියන්නම්. දැනට නම් මම සතුටින් ජිවත් වෙනවා.


ප්‍රේක්ෂක ආදරේ දැනේනේ කොහොමද සහ ඒ ආදරේට චානුක දක්වන ප්‍රතිචාර කොයිවගේද?


මේ වෙද්දී මම කරපු ටෙලි නාට්‍යය බලලා තියෙන ප්‍රේක්ෂකයින් තුළින් මට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. හැබැයි මම මහා ලොකු ජනප්‍රිය කෙනෙක් නෙවෙයි. මට එහෙම වෙන්න උවමනාවකුත් නැහැ. මම රඟපාන්න ආසයි. ඒ නිසා රංගනය තුළින් මම දෙයක් කරනවා. ඒ නිසා ජනප්‍රියතාව හඹා යන්නේ නැහැ. මාව දන්නා අය දන්නවා මම කොහොම කෙනෙක් ද කියලා. මට ආදරේ කරන ප්‍රේක්ෂකයින් පිරිසක් ඉන්නවා. ඒ ආදරේ මම සතුටින් ලබනවා. මට මෙහෙම ආදරයක් ලැබෙන්නේ ශාන්ත සොයිසා මහතා නිසා. ඔහු තමා මාව මේ රංගන ක්ෂේත්‍රයට ගෙනාවේ.


රංගනය තුළ චානුක තියෙන ඉලක්කය මොකක් ද?


හොඳම කියන කැටගරි එකට තමන්ගේ රංගනය ඇගයීමකට ලක්වීම තමයි අපි හැමෝගෙන්ම ඇහුවොත් උත්තරේ වෙන්නේ. මේ වෙද්දී මම නැඟී එන නළුවට සහ ජනප්‍රියම නළුවට නිර්දේශ වෙලා තියෙනවා. හැබැයි ඒ කිසිම වෙලාවක ඒ සම්මාන මගේ කර ගන්න මම මහන්සි වුණේ නැහැ. මම කැමති හොඳ නිර්මාණ කරන්න. මට ලැබෙන්න ඕනේ ඇගයීමක් තියෙනවා මට ඒක ලැබෙයි. හොඳම නළුවා සම්මානය කියන්නේ අභියෝගයක්. ඒ අභියෝගය ජය ගන්න හොඳ නිර්මාණ ලැබෙන්න ඕනේ. ඒ සඳහා වාසනාව තියෙන්නත් ඕනේ. ඒ ඉලක්කයට යන්න වැඩ කරනවා. ඒ එක්කම ලැබෙන්න පුළුවන් ලොකුම සම්මානය තමයි ප්‍රේක්ෂක ජනතාවගේ සම්මානය.






Previous Post Next Post