මට නම් ජනප්‍රියත්වය වගකීමක් - රවීන් කනිෂ්ක






දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යයේ ‘අනුහස්’ ලෙස ලාංකේය ටෙලි ප්‍රේක්ෂකයාගේ හදවතෙහි ලැගුම් ගත් ආදරණීය, කඩවසම් තාරුණ්‍යය වූ රවීන් කණිෂ්ක මේ දිනවල තිරගතවන මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ‘ක්ෂීර සාගරය කැලඹිණ’ සිනමාපටයේ ‘හිරිමලා’ ලෙස ඔබ හමුවට එයි. පුංචිතිරයේ ‘අනුහස්’ වූ සිනමාවේ ‘හිරිමලා’ සරසවිය හා කතාබහට එක්වූයේ මෙසේයි.


ඔබේ කලා ජීවිතයේ ආරම්භය සිහිපත් කළොත්...?


ඇත්තෙන්ම පාසල් කාලයේ මම නළුවෙක් වෙන්න ආසාවක් තිබුණෙම නෑ. හැබැයි ගායන හීනය තිබ්බා. A/L අවසන් කාලයේ මම Dream Star වලට ගොඩාක් ඉදිරිපත් වුණා. Singing Competition ගණනාවකට ගියා. ඒවගේ කැපි කැපී ගියා. එහෙම කැපි කැපීම් ගිහින් දෙරණ Dream Starවලටත් අයැදුම් කළා. එතනින් දෙවැනියා වුණේ


Dream Star වැඩසටහන ඔබේ ජීවිතය වෙනස් කළා. ?


ඔව්, Dream Star දෙවැනියා වුණාට පස්සේ මට ටීවී චැනල්වලින් එක එක ප්‍රෝගෑම්වලට කතා කළා. ඉබචප ඛ්ඪබර වැඩසටහන්වලට කතා කළා. ඒ කාලයේ ඉගෙනීමත් කළා. සින්දු හදන ඒවත් කළා. 2011දී වගේ Dream Star වුණත් වසර 5ක්, 6ක් විතර එකඑක ප්‍රෝගෑම් කළා. ඒ වසර 5, 6 ඇතුළත මම ගොඩාක් දේ ඉගෙනගත්තා. කැමරාවට මුහුණදෙන විදිහ, වේදිකාවක හැසිරෙණ විදිහ ඉගෙනගත්තා, ඒ අතරෙදී තමා මට අනුහස් වෙන්න ලැබුණේ. 2015දී වගේ ‘දෙවෙනි ඉනිම’ට කතා කළා. ඒ කතා කළේ මගේ නොයෙකුත් වැඩසටහන් දැකලා දෙරණ ආයතනයේ සභාපති ලක්සිරි වික්‍රමගේ මහතා, ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ සාරංග මෙන්ඩිස් මහතා, පිටපත් රචක සමන් එදිරිමුණි වැනි පිරිස.


ඔබ රංගන ක්ෂේත්‍රයට එන්නේ හැදෑරීමකින් අනතුරුවද ?


මම ටිකටික හැමදේම ප්‍රායෝගිකව ඉගෙනගත්තා. මුලින්ම ඇක්ටින් කරන්න ගියේ නැහැ. වෙනත් රූපවාහිනී වැඩසටහන් කරද්දි ඒවගේ තාක්ෂණික ක්‍රම ප්‍රගුණ කළා. තනියෙන් හැමදේම ඉගෙනගත්තා. ප්‍රායෝගික දැනුම හා අත්දැකීම් අපට ගොඩාක් වටිනවා. ප්‍රායෝගිකව අපි වැඩ්ඩෙක් විය යුතුයි කියන මතයේ මම ඉන්නේ. වැඩේදී වැඩ්ඩෙක් වෙන්න ඕන. පොතේ වැඩ්ඩෙක් වුණාට වැඩක් නැහැ . අපේ හැකියාවයි වටින්නේ. හඬ නෙවෙයි වැඩයි ඕන. වැඩත් එක්ක දැනුම ලැබිය යුතුයි.මගේ දරුවකුට වුණත් මම උගන්නන්නේ විභාගවලින් වැඩ්ඩෙක් වෙනවට වඩා වැඩවලින් වැඩ්ඩෙක් වෙන්න කියලයි. විභාග පාස් කිරීම නම් සල්ලිවලටත් කරගන්න පුළුවන්. ඒත් ප්‍රායෝගික දැනුම, අත්දැකීම් තමයි වටින්නේ.


රූපවාහිනියේ ජනප්‍රිය නළුවා සම්මානයටත් ඔබ එකදිගට හිමිකම් කිව්වා. ...?


ජනප්‍රිය යනු ආදරයයි, ප්‍රියතාවයි. මට නම් ජනප්‍රියත්වය කියන්නේ ලොකුම වගකීමක්...ජනප්‍රිය රැල්ලට මම එච්චර ආස නෑ. ඒත් මම ජනප්‍රිය රැල්ලේ උග්‍ර රසිකයෙක්. සමාජ මාධ්‍ය නම් මම භාවිතා කරන්නේ නැහැ. ඒත් මට ආදරය කරන කොල්ලේ, කෙල්ලෝ මම සමාජ මාධ්‍යයේ නැතත් මාව අප්ඩේට් කරනවා. ජනප්‍රියත්වය මට නම් පට්ට වගකීමක්....


ඔබ කියන පට්ට වගකීම නමැති ජනප්‍රියත්වය තුළ ඔබේ හැසිරීම....?


අපට වගකීමක් තියෙනවා ජනප්‍රියත්වය තුළින් ආදර්ශයක් වෙන්න. අපේ පොඩි පොඩි දේ බලාගෙන ඉගෙනගන්න අය ඉන්නවා. අපි දිහා බලලා යම් දේවල් උකහාගන්න කුඩා වැඩිහිටි පරම්පරාවක් ඉන්නවා. අපි ගැන අප්පිරියාවක් ඇතිනොවෙන්න අපි හැමදේම කරන්න ඕන. මම මගේ තාත්තට පස්සේ මයිකල් ජැක්සන්ට, ෂාරුක් ඛාන්ට ආදරෙයි. ෂාරුක්ගෙන් මට නොහිතන දෙයක් වුණොත් මට කොච්චරනම් රිදෙයිද..? ඒ ෂාරුක් ගැන මට හිතෙන විදිහ. ඒවගේ තමයි අපේ ජනප්‍රියත්වය එක්ක අනෙකාට වන බලපෑමත් වැඩියි. කෙනෙකුට එය ආභරණයක් වෙන්නත් පුළුවන්. ඒකයි මම කලිනුත් කිව්වේ මට නම් ජනප්‍රියත්වය පට්ටම වගකීමක් කියලා.


දැනට ඔබ රඟපෑ චරිතවලින් ඔබ කැමති චරිතයක් හෝ කරන්න කැමති චරිතයක් හෝ තියේද....?


එහෙම අදහසක් නැහැ. අනුහස් බැලුවොත් එයා අහිංසකයි, සංවේදියි. ජනතා ආදරයත් ලැබුණා. අමු වැද්දෙක්ගේ චරිතයක් කළත් ඒකමයි. මම මෙහෙම චරිතයක් කරන්න ඕන කියලා ආසාවක් නෑ. රංගන ශිල්පියෙක්ට වර්ගීකරණයක් අවශ්‍ය නෑ. මම කලාවන් රැසකට අයිතියි. හැමෝටම බලන්න බැරි, නොතේරෙන චරිත මම කරන එකක් නැහැ. අනුහස් අභියෝගයක්. ඒ චරිතයට වසර 6ක පළපුරුද්ද තිබ්බා. වැද්දගේ චරිතය ගත්තොත් ඒකත් අභියෝගයක්.


රංගනයේදී ඔබ බැරියර්ස් දාගෙන ඉන්නවද....?


මෙහෙමයි, මගේ ප්‍රතිපත්ති කිහිපයක් තියෙනවා, මට ආදරය කරන අය “අනේ මේ මොකද්ද වුණේ?” කියලා හිතන මට්ටමේ දේවල් කරන්න යන්නේ නැහැ.


වැඩ කරන්න කැමති අධ්‍යක්ෂවරු ඉන්නවද....?


පෞද්ගලිකව ප්‍රවීණයන්ගේ ඇසුරට මම හරිම ආසයි. සෝමරත්න දිසානායක සර්, සුනිල් ආරියරත්න සර්, ජැක්සන් සර් වගේ අය එක්ක වැඩ කරන්න ආසයි. ඒවගේම තරුණ අය එක්කත් වැඩ කරන්න පුළුවන්. ඔවුන්ගේ නිර්මාණශීලීත්වයයි මම නම් සලකලා බලන්නේ. නිර්මාණශීලීත්වය අනුව ජ්‍යෙෂ්ඨයන්ද, නවක අධ්‍යක්ෂවරුන්ද කියා මට භේදයක් නැහැ. නිර්මාණශීලීත්වය මත ඔවුන් ඕන කෙනෙක් සමඟ මම වැඩකරන්න ආසයි.


‘ක්ෂීර සාගරය කැලඹිණි’ චිත්‍රපටය ගැනත් එහි ඔබේ චරිතය ගැනත් කීවොත්...?


සයිමන් නවගත්තේගම ශූරීන්ගේ මෙම නවකතාව ඇත්තෙන්ම බරක් තියෙන, සාහිත්‍යමය වටිනාකමක් සහිත හොඳ නවකතාවක්. මේ සිනමා නිර්මාණය මගේ පළමු සිනමා රංගනය වීම විශේෂත්වයක්. ඒවගේම මේක විශාල අත්දැකීමක් වුණා. මෙහි ‘හිරිමලා’ කියන චරිතය මම කරන්නේ. (‘හිරිමලා’ කියන්නේ හිරිමල් වයස කියන අදහස.) මේ චරිතය නිරූපණයට විශාල වෙහෙසක් ගත්තා. ඒක ඇත්‍තටම රංගන අභ්‍යාසයක් වුණා. මෙම චිත්‍රපටයේ විශේෂත්වයක් තමයි කිසියම් රටක්, කිසියම් ආගමක්, ජාතියක්, ජන කොට්ඨාසයක් මෙහි නියෝජනය වෙන්නේ නැහැ. හැම චරිතයකටම විශේෂ නමක් කියලා නැහැ. මෙයට ගොඩාක් මහන්සි වුණා. ඒ මහන්සියේ ප්‍රතිඵල අද අත්විඳීනවා ලැබෙන හොඳ ප්‍රතිචාර, විචාර දැක්කම. මේක රූගත කිරීම් කරන කාලයේ සුනිල් ආරියරත්න සර් කිව්වා මේක එයාගේ අවසාන නිර්මාණය කියලා. ඒකනම් මහ අහස, පොළොව නුහුලන කතාවක් කියා මට හිතෙනවා. ඒක එසේ නොවේවා කියා මම ප්‍රාර්ථනා කරනවා. සුනිල් සර්, ජැක්සන් සර් මෙහිදී මට විශාල සහයෝගයක් දුන්නා ‘හිරිමලා’ නිර්මාණය කරගැනීමට.


‘ක්ෂීර සාගරය කැලඹිණි’ රූගත කරන සමයේ සිදුවූ අමතක නොවන සිදුවීම් ආවර්ජනය කළොත්..?


මෙහි ලොකේෂන් තිබ්බේ යාල, රන්මිහිතැන්න, දඹුල්ල, කණ්ඩලම වගේ දුෂ්කර ප්‍රදේශවල. මාර කට්ටක් කෑවා. ඒත් ඒ කාපු කට්ට හරිම රසයි. ඒ කට්ටේ සුන්දර ප්‍රතිඵල අද තියෙනවා. පට්ට අව්වක් තිබ්බේ. රූගතකිරීම් අවසන් කර ගෙදර එද්දි අප්‍රිකානු ජාතිකයෙක් ගෙදර ආවා වගේ මම ගෙදර ගියේ. ඒ තරමටම සම කළුවෙලා ගියා. මාස 03ක් ෂූටින් තිබ්බා. ඒවගේම කොවිඩ්වලින් ඒකාලේ පහරකෑවා. සෙට් එකේ හිටිය ගොඩාක් අය පොසිටිව් වුණා. රූගතකිරීම් නවත්තන්න වුණා. නතර කරකර තමා වැඩේ ඇදගෙන ගියේ....ඒවගේම තව අමතක නොවෙනම දෙයක් වුණා, කතාවේ හැටියට ‘හිරිමලා’ ඒකියන්නේ මම අධිරාජ්‍යයාගේ ඉල්ලීමට ගහ උඩ පැලක් හදනවා, ඒ පැල ඇතුළේ තිබුණු පත්තු කරපු පහනක් එහෙමෙහෙ වෙලා මුළු පැලම එකපාරම ගිනි ගත්තා. ඒකනම් මාරම දෙයක් වුණේ. අමතකම වෙන්නේ නෑ. එහෙම විනාශ වුණු පැල කලා අධ්‍යක්ෂ ධම්මික හේවාදුවත්ත දවසින් අපට හදලා දෙනවා. ඒවගේම කැලේ සිටින අපේ ආරක්ෂාවට වනජීවී නිලධාරීන් පවා යොදවලා හිටියේ...


වේදිකාවට ඔබේ දායකත්වය...?


වේදිකා නාට්‍ය රැසකටම ආරාධනා ආවා. ඒත් මට කාලය හදාගන්න බැරි ප්‍රශ්නය ඒකට බලපෑවා. වේදිකා නාට්‍යයක් කරද්දී තිබ්බා ගැහුවා න්‍යායට කරන්න බැහැනේ. පෙර පුහුණුවීම් එක්ක වගකීමකින්, කැපවෙලා කරන්න ඕනනේ. වේදිකාවට මම හරිම ආසයි. වේදිකා නාට්‍ය අධ්‍යක්ෂවරුන්ට මම කියනවා මා ගැන බලාපොරොත්තු අත්හරින්න එපා කියලා. වෘත්තිය මට්ටමින් නැතත් අත්දැකීමක් ගන්න හරි වේදිකාවට ගොඩවෙන්න ආසයි..


අලුත් පරපුර ක්ෂේත්‍රය තුළ හැසිරෙන විදිහ වගේම කලාව වෙනුවෙන් කරන කැපවීම් ගැන ඔබේ අදහස...?


කොයි පරම්පරාවේත් හොඳ නරක දෙකම මිශ්‍රව තිබෙනවා. පැරණි පරපුරද, අලුත් පරපුරද කියා වෙනසක් නැහැ. ඔය දෙජාතියෙන්ම හොඳ අරගෙන නරක අත්හරින්න ඕන. අපෙත් කෝටියක් වැරදි අඩුපාඩු තියේවි...


මෙගා ටෙලිනාට්‍ය රැල්ල ගැන මොකද හිතෙන්නේ....?


හැමෝටම තියෙනවා රසඥතාවක් ඒක එකිනෙකට වෙනස්. ගුණාත්මක බව අඩු නිර්මාණයක් කියලා හිතෙනවා නම් ගුණාත්මක බව වැඩි ඒවා තෝරාගන්න පුළුවන්. කොටස් ගණන වැඩියි කියා හිතෙනවානම් අඩු කොටස් ගණනක් තියෙන ටෙලිනාට්‍ය බලන්න පුළුවන්. අපේ රටේ අය හරි විදග්ධයි. කෙනෙකුට වගේම එක් එක් අයගේ කලා රසයට රසඥතාවට අපහාස කරන්න කාටවත් අයිතියක් නැහැ. තමාට නොගැළපෙන දෙයක් වේ නම් එයට අපහාස කරන්න හොඳ නැහැ හරි බුද්ධිමතෙක් නම්. අපේ රටේ තරම් දාර්ශනිකයෝ, විදග්ධයෝ කොහේවත් නැහැ, ඒත් එයාලාගේ වැඩනම් එහෙම නැහැ. විදග්ධයෝ, දාර්ශනිකයෝ වුණාට වැඩ කරන්න ගියහම ෆේල්....ඔන්න ඕකයි ඇත්ත කතාව..


නවතම නිර්මාණ කාර්යයන් ගැන මතක් කළොත්...?


‘දෙවෙනි ඉනිම’ නුදුරේදීම අවසන් වෙනවා. ඊටපස්සේ ඒ නිෂ්පාදන කණ්ඩායමේම අලුත් නිර්මාණයක් විකාශය වෙනවා.. ඒ නාලිකාවේම, ඒ විකාශන කාලයේම. ඒක අධ්‍යක්ෂණය කරන්නේත් සාරංග මෙන්ඩිස් මහතා. තිර රචනය සමන් එදිරිමුණි මහතා. එහි ප්‍රධාන චරිතය කරන්නේත් මමයි. ඊට අමතරව මේ දිනවල අලුත් චිත්‍රපටයක රූගත කිරීම් සිදුවෙනවා. ඒක අලුත් පරම්පරාවේ වැඩක්. ඔක්කොම ඉන්නේ අලුත්ම කට්ටිය..අධ්‍යක්ෂවරයා පවා අලුත්ම කෙනෙක්.


ඔබේ පවුලේ විස්තර කිව්වොත්....?


මගේ ගෙවල් කුලියාපිටියේ. පාසල් ගියේ කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයට....මගේ පවුලේ ඉන්නේ අම්මා, තාත්තා, නංගි, මල්ලි. මල්ලි විදෙස්ගතවෙලා ඉන්නවා. නංගි ගුරුවරියක්.එයත් ළඟදිම විදෙස්ගතවෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා...








 





Previous Post Next Post