අපි ආදරේ කරන්න පටන් ගත්තේ කොහොමද කියලා අදටවත් දන්නේ නැහැ- හංසිණී විමල්සිරි




හංසිණී විමල්සිරි මේ නම කෙනකුට නුහුරු වෙන්න පුළුවන්. නමුත් මේ රූපය හා කටහඬ වගේම සංගීතේ ටෙලිනාට්‍යයට නිශානි ටීචර් වුණු ඈ නම් කවුරුත් හොඳින් හඳුනනවා. ඉස්සර හංසිණීව බොහෝ දෙනෙක් හඳුනාගෙන හිටියේ ඩ්‍රීම්ස්ටාර් හි ගී ගැයූ තිස්සමහාරාමයේ හංසිණී ලෙසයි. රංගනයත් සමඟ ඈ නිළියක් හැටියට හඳුනා ගත්තා. දැන් ඈ ආදරණීය දුවණියක් ඉන්න අම්මා කෙනෙක්. ඇයගේ සැමියා නවීන්. ඔහු සංගීතේ නාට්‍යයේ ඇයගේ සැමියාට රංගනයෙන් දායක වෙනවා. සෑබෑ ජීවිතේ වගේම ටෙලි කැමරාව ඉදිරියේත් බිරිය සැමියා විදිහට රඟපාන ඔවුන් ගැනයි මේ කතාබහ.


ඉස්සර තිස්සමහාරාමයේ හංසිනී කියලා හඳුනා ගත්ත බොහෝ දෙනෙක් දැන් ඔබට ආමන්ත්‍රණය කරන්නේ නිශානි ටීචර් කියලා. ගායනයට වගේම රංගනයටත් ප්‍රතිචාර ඉහළයි නේද..?


මම නියෝජනය කළේ දෙරණ ඩ්‍රීම්ස්ටාර් සීසන් 7න්. ඒකාලේ පාර තොටේ දකින බොහෝ දෙනෙක් මාව හඳුනා ගත්තේ අර ලොකු බූට්ස් දාලා සිංදු කියපු තිස්සමහාරාමයේ හංසිණී නේද කියලා. එහෙම මාව හඳුනා ගත් බොහෝ දෙනෙක් දැන් මට කතා කරන්නේ නිශානි ටීචර් කියලා. ඇත්තම කිවුවොත් ඒ චරිතයට බොහෝ දෙනෙක් ආදරය කරනවා. මටවත් හිතාගන්න බැරි තරමට ආදරණීය රසිකයින් ප්‍රතිචාර දක්වනවා. ඒ ගැන ඇත්තටම ලොකු සතුටක් තියෙනවා.


 

ඩ්‍රීම්ස්ටාර් එකට ඔබ භාවිත කරේ අමුතු විලාසිතා. අනන්‍යතාවක් හදාගන්න නේද උත්සාහ කළේ..?


ඔව්. මට ඕන වුණා ඒ රියැලිටිකරණය ඇතුළේ මටම කියලා අනන්‍යතාවක් ගොඩ නඟාගන්න. මම දකින දකින විලාසිතා කරන්න කැමැති කෙනෙක් නෙමෙයි . එතැනදි මම ඩෙනිමක් ඇඳලා ලොකු බූට්ස් දාලා ලොකු කරාබුවක් පලඳගෙන මගේ අනන්‍යතාව තියා ගත්තා. මට ඕන විලාසිතාව කිවුවම ඒක හදලා දෙන්න මට හිතවත් නැන්දා කෙනෙක් උදවු කරා. ඩ්‍රීම්ස්ටාර් නිසා මට බොහෝ දෙනෙක් උදවු කරා. මම කැම්පස් යන්න තිස්සමහාරාමයේ ඉදලා කොළඹ ඇවිත් බෝඩ් වෙලා හිටියේ. ඒ බෝඩිමේ කට්ටිය මට වගේම මගේ අම්මටත් නවාතැන් දුන්නා. රසට කෑම ටික හදලා දීලා මට උදව් කළ අය ආදරේ කළ අය හිටියා. ඒ වගේ ලොකු සහායක් තිබ්බ නිසා මගේ කටහඬ හා විලාසිතාවලින් මගේ අනන්‍යතාව තියා ගන්න පහසු වුණා. බූට්ස් දාපු නිසා ඒ ගැන කතා කරපු පිරිසකුත් හිටියා.


 


සංගීතේ ටෙලි නාට්‍යයෙන් පස්සේ නිර්මාණ සඳහා ආරාධනා වැඩිපුර ලැබෙන්න ඇති නේද? ඒත් ඔබව දකින්නේ ඒ නිර්මාණයෙන් විතරයි. ඇයි විවාහයත් එක්ක නීතිරීති දා ගත්තද..?


ආරාධනා බොහොමයක් ලැබුණු කාලයක් තිබුණා. නමුත් මම සම්බන්ධ වුණේ නැහැ. මේ නාට්‍යයෙන් පස්සේ මම දීර්ඝ නාට්‍යවලට සම්බන්ධ වෙන්නේ නැහැ කියලා හිතාගෙන ඉන්නවා. චිත්‍රපට හෝ වේදිකා නාට්‍ය කෙටි නාට්‍ය වලට ආරාධනා ලැබුණොත් සම්බන්ධවෙන අදහසකින් ඉන්නේ. ඒ නිසා තමයි වෙනත් නාට්‍යවලින් දැනට දකින්න නැත්තෙ. දුව ඉපදුණාට පස්සේ එයාට වැඩි කාලයක් දෙන්න ඕන වගේම සංගීතය පැත්තට වැඩිපුර සම්බන්ධ වෙන්න ඕන කියලා හිතුවා. මට හස්බන්ඩ් නිතිරීති දාන්නේ නැහැ . නමුත් මම දාගත්ත සීමාවන් ඇතුළේ මම වැඩ කරන්නේ මොනා කරන්න ගියත්.


 

ඒ නිසාද ඔක්කොම පැත්තකින් තියලා උපකාරක පන්ති ගුරුවරියක් විදිහට වැඩ කරන්න හිතුවේ..?


කට හඬින් හා හැකියාවෙන් ප්‍රයෝජනයක් ගන්න ඕන කියලා හිතුව. එහෙම හිතාගෙන තමයි වොයිස් ට්‍රේනින් වගේම 6 සිට 11 දක්වා සංගීත විෂය ඉගැන්වීම් කටයුතු ආරම්භ කළේ. පටන් අරන් ටික කාලයක් වෙනවා. මම කරන්නේ ඔන්ලයින් ක්ලාස්. හිතුවේ නැහැ ඒ පැත්තෙන් සාර්ථක වෙයි කියලා. නමුත් හිතුවටත් වඩා මගේ පන්තිවලට සම්බන්ධ වෙන දරුවෝ වැඩි වුණා. ඒ නිසා වැඩි කාලයක් ඒ පැත්තටත් යොදවනවා.


 


නිශානිගේ චරිතයේදී ගැබ් ගත් දර්ශන රූගත කරද්දී ඔබ සැබෑ ජීවිතයේදීත් ගැබ් ගෙන හිටියේ. ඒ දර්ශන රඟපාන්න අසීරු වුණේ නැද්ද ..?


මම විවාහ වුණේ 2019 අවුරුද්දේ. ඒත් එක්කම වගේ මම ගැබ් ගත්තා. බොහෝ ගැබිනි කාන්තාවන් ඒ කාලය පුරාම හරිම අසීරුවෙන් කාලය ගත කරන විදිහ දැකලා තියෙනවා. මොන හේතුවක් නිසාද දන්නේ නැහැ මට කිසිම අමාරුවක් තිබ්බේ නැහැ. නිතරම වමනේ ගියේ නැහැ. කුස ලොකු වෙද්දී බර ගතිය විතරයි දැනුණේ. කකුල් ටිකක් ඉදිමුණා. එච්චරයි. දරුවා ඉපදෙන්න සති දෙකක් තියෙද්දිත් මම ෂූටිං ගියා. ජූලි 10 ෂූටිං නතර කළා. ජූලි 26 බබා ලැබුණා. ඇත්තටම කිවුවොත් බොරු බඩක් දාගෙන ගැබ් ගත්ත චරිත රඟපාන්න ලැබුණට වඩා මට මෙහෙම පහසු වුණා. ඒ ෆීලිං තාත්වික වුණා කියන්න පුළුවන්.


ආදරණීය සැමියා නවීන් ඉදිරියේ සංගීතේ නාට්‍යයේ රඟපෑමේදි අපහසුතාවට පත් කරපු තැන් ඇති..?


අපහසුතාවට පත් වුණු අවස්ථා අනන්තයි. සමහර වෙලාවට අපි දෙන්නා තරහා වෙලා දවස් ගණන් කතා නොකර ඉඳලා ශූටිං ගිහිං කතා කරන්න වුණු අවස්ථා තියෙනවා. තරහා පෙන්නන්න බැහැනේ. අනිත් එක මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් රඟපාන අවස්ථාවේ නිදහසේ වචන පාවිච්චි කරන්න බැහැ. හස්බන්ඩ්ගේ අාත්මගරුත්වය ගැන හිතන්න ඕන. එයාව අපහසුතාවට පත් කරන්න බැහැ. වචන පාවිච්චි කරද්දී පරිස්සමින් කතා කරන්න ඕන. ඒ වගේ දේ හැරුණාම මට හස්බන්ඩ් එක්ක ඕන චරිතයක් වාරණයකින් තොරව කරන්න හයියක් තියෙනවා. එයත් එක්ක රඟපාන එක ඇත්තටම පහසුයි. චරිතයටත් උපරිම සාධාරණයක් කරන්න පුළුවන්


 

නොදැන හිටපු දෙන්නෙක් එක වහලක් යටට එන්න තරම් බැඳීමක් ගොඩ නඟාගන්නේ ඔය නාට්‍ය නිසා නේද ..?


ඒකනේ. එයා දෙරණ ඩ්‍රීම්ස්ටාර් සීසන් ෆයිව්. මම සෙවන්. නමුත් අපි ලොකුවට දන්නේ නැහැ දිනුෂ දිසානායක අයියයි මමයි එකම නාට්‍යයක රඟපෑවා. දෙන්නගේම කුලුඳුල් නිර්මාණය. එයාගේ යාළුවෙක් තමයි නවීන්. ඒ හිතවත්කම එක්ක සංගීතේ නාට්‍යයේදි කතාබහ කරා. අවුරුද්දක් විතර යාළුවෝ වගේ හිටියා. අන්තිමට දෙන්නා ආදරේ කරන්න පටන් අරන්. ඒ කොහොමද කියලා අදටත් මමවත් නවීන්වත් දන්නේ නෑ. ඊට පස්සේ අපි විවාහ වුණා. 2019 අවුරුද්දේ. එයා හොඳ අවබෝධයෙන් ජීවත් වෙන කෙනෙක්. තර්ක කර කර ප්‍රශ්න මත්තේ ඉන්නේ නැහැ. අනිත් එක එයා ගැහැනු අයට ගරු කරන කෙනෙක්. එයාව මගේ හිතට තදින් වදින්න එක හේතුවක් ඒක. ඊට පස්සේ අපිට දුව ඉපදුණා. එයාගේ නම චේ නිෂේල්. අවුරුදු තුනකට කිට්ටුයි එයාට. අම්මගේ වගකීමත් දරනවා. සියලු දේට මට නවීන් උදවු කරනවා.


 

දුවගේ ප්‍රතිචාර කොහොමද ..?


අපි එයාට කියලා තියෙනවා වරදක් වුණොත් සොරි කියන්න කියලා. නාට්‍යයේ මගේ කලින් සැමියාට රඟපාන්නේ කුමුදු අයියා. එයා බීලා ඇවිත් රණ්ඩු කරන අවස්ථාවල මම එයාට කෑගහන බණින තැන් තියෙනවා. දුව ඒවා බලලා “අම්මා නෝටී.. සොරි කිවුවේ නැහැ අංකල්ට...” කියනවා. අපි දෙන්නගේ සින්දු යද්දී කටහඬ අඳුර ගන්නවා. ඒ වගේ ප්‍රතිචාර හොඳයි කියලා තමයි දක්වන්නේ. වැඩිය නාට්‍ය පෙන්නන්නේ නැහැ. තවම එයා පුංචි දරුවෙක්. නමුත් දකිද්දී ඒ එයාගේ අම්මා තාත්තා කියලා දන්නවා.


 

ලස්සන කටහඬක් තියෙද්දි හිතෙන්නේ නැද්ද රඟපාන්න ඇවිත් ගායනය මඟහැර ගත්තේ අපරාදේ කියලා ..?


අපරාදේ කියලා හිතුණු අවස්ථා එමටයි. මට ඕනෑම භාෂාවක ගීතයක් මගේ පරාසය ඇතුළේ ගයන්න පුළුවන්. නවීන් මට කියලා තියෙනවා ඒ ගැනත් හිතන්න කියලා. එයත් එක්ක ගීතයක් කරන්න හිතුවත් කතාවක් තියෙනවානේ වඩුවගේ ගෙදර පුටුව නැහැ කියල. ඒ වගේ තමයි එයා අනිත් අයට සින්දු කර කර ඉන්නවා වැඩක් කරමු කියලා වැඩේ පටන් අරන් වෙන වැඩක් ආවම මේ වැඩේ මඟ ඇරෙනවා. උත්සාහ කරනවා සංගීතයට වැඩි ඉඩක් දීලා මඟහැරුණු තැන් ඇති කරගන්න.


 

කේ ජී චිත්‍රපටයේ ගීතයක් ඔබේ හඬින් ගයා එය සමාජ මාධ්‍යයේ වයිරල් වෙලා ඔබට ඊට ඉහළ ප්‍රතිචාර ලැබුණා, ඉන්දියාවෙනුත් ඔබට අවස්ථා ලැබුණා නේද ..?


ඔව්. එක අවස්ථාවකදි මම ඒ චිත්‍රපටයේ ගීතයක් ගායනා කළා. ඒක වයිරල් වෙලා බොහෝ දෙනෙක් ප්‍රතිචාර දක්වලා තිබුණා. ඒ වගේම මට ඉන්දියාවේ කොන්සට් එකකටත් ආරාධනා ආවා. ඒ ආරාධනාව පිළිගත්තා. නමුත් ගියේ නැහැ. ඒ මම ගැබ් ගත්ත නිසා. ඩොක්ටර් කිව්වා ෆ්ලයි කරන්න පුළුවන් නමුත් මම වගකීම ගන්නේ නැහැ කියලා. ඊට පස්සේ මම හිතුවා මට ඉපදෙන්න ඉන්න දරුවා ඊට වඩා වටිනවා කියලා ඒක මිස් කරගත්තා. ඉන්දීය චිත්‍රපට දෙකකට පසුබිම් ගායනයටත් ආරාධනා ආවා. ඒවා ආදරණීය විදිහට ප්‍රතික්ෂේප කළා. ඒවට නම් නවීන් මට දොස් කිවුවා. දුර්ලභ අවස්ථා නැති කර ගත්තා වෙන අයට අවස්ථා ලැබෙන්නේ නැතුව දුක් වෙනවා කියලා.


 

ඔහු කතෝලික ඔබ බෞද්ධ..?


එයත් එක්ක මම පල්ලි යනවා. එයා පන්සල් යන්න එනවා. නමුත් අපි ආගම බදාගෙන ජීවත් වෙන්නේ නැහැ. පුළුවන් උපරිමයෙන් කාටහරි උදවු කරගෙන පුළුවන් විදිහට හොඳින් ජීවත් වෙන්න තමයි බලන්නේ.


 


තිස්සමහාරාම දෙබරවැව පාසලට ගිය නීපා හංසිණී සංගීතයට සම්බන්ධ වෙන්නෙත් අහම්බයකින්. ඒ ගැන කියලා කතාබහ අවසන් කරමු..?


මම උසස් පෙළ කරන්න සංගීතය තෝරා ගත්තේ නැහැ. මම විශාරද අන්තිම විභාගය කළේ නැහැ. විශාරද එකට කලින් විභාගේ මට ප්‍රථම සාමාර්ථ්‍යයක් තියෙනවා. සාමාන්‍ය පෙළ කරන ගමන් එය කළේ. විශාරද අවසන් විභාගය කරන්න බැරි වුණා. අපේ පාසලේ කේ. වී කුමුදුනී කියන සංගීත ගුරුවරිය මතක් කරන්න ඕන. ඇය තමයි මගේ සංගීත හැකියාව ඉස්මතු කරගන්න උදවු කළේ. ඇය හැම දරුවටම එක විදිහට සලකන්නේ. දක්ෂයා කොහොම හරි ඇදගෙන යනවා. ඒ වගේම රසිකා ටීචර් මතක් කරන්න ඕන.. ඒ මිස් තමයි මගේ රංගන හැකියාව හඳුනාගෙන පාසලේදි අවස්ථාව දුන්නේ. දවසක් ළමා නාට්‍ය තරගයකට යවන්න ළමයි තෝරනවා. මම මොනිටර් මගේ පංතියේ ළමයි අරන් මම ගියා. පැත්තකට වෙලා මම බලාගෙන හිටියා. හැමෝම දුන්නු එක රඟපාලා පෙන්නනවා. මිස් මාව බලෙන්ම දැම්මා ගිහිං ඔයත් කරන්න මම කියන නිසා කරලා බලන්න කියලා. අන්තිමට මම ඒ අවස්ථාවට සම්බන්ධ වුණා තේරුණෙත් මම. සම්බන්ධ වුණු රාජ්‍ය නාට්‍ය උ‍ෙලළේ අපේ නාට්‍ය ජයග්‍රහණය කළා. ටවර් හෝල් රඟපාන්නත් පුළුවන් වුණා. නමුත් ඒ තරගෙන් දිනුවේ නැහැ. ඊට පස්සේ කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙනවා. මගේ අම්මා තමයි ඩ්‍රීම්ස්ටාර් ඇප්ලයි කරන්නේ. හැමදාම තරගෙට සම්බන්ධ වෙන්නේ ඔන්න අම්මේ අද තමයි මම ඉන්න අන්තිම දවස කියලා. ඒත් හැමදාම මම තරගෙන් ඇතුළට ගියා. අන්තිම වෙනකල්ම. ඒක නම් අහම්බයක් තමයි. මගේ අම්මා මාව විශ්වාස කරලා මාව ඒ තැනට යොමු කළා. තාත්තා අසනීපයෙන් හිටපු නිසා තරග දෙක තුනකට වඩා බලන්න එන්න නැතුව ඇති. ඒත් අම්මා හැමදාම මාව ආරක්ෂා කළා. තාත්තා වෙනුවෙන්. ලැබෙන පොඩි වෙලාවෙත් මම නිදි මහන්සියට. කෑම කැවුවෙත් අම්මා තමයි. තරගෙදි ගොඩක් අය උදව් කරා. නම් නොකීවත් ස්තුති කරනවා ඔවුන්ට සහා මගේ පවුලේ සියලු දෙනාට.





Previous Post Next Post