බඳින්නන් වාලේ බඳින්න මට බෑ-අමන්දා ජයරත්න



රැල්ල වෙරළත් එක්ක තියෙන්නෙ පුදුමාකාර බැඳීමක්. රැල්ලට වෙරළ නැතුව ඉන්න බෑ වගේම කිසිදාක එක්වෙන්නත් බෑ. ඒත් ඒ ආදරේ වෙනස් වෙන්නෙත් නෑ. ඒ වගේම තමයි සුදු මැණිකෙගෙ ආදරෙත්. සුදු මැණිකේ අපට හමුවන්නේ හිරු නාළිකාවේ විකාශනය වන රැල්ල වෙරළට ආදරෙයි ටෙලි නාට්‍යයෙන්. ධීවර තරුණයෙක් වන ශිවාට ආදරේ කරන වීරවර්ධන මුදලාලිගේ එකම දුව සුදු මැණිකෙ ලෙසින් ඔබේ ආලින්දයට එන ඇය අමන්දා ජයරත්න. අප ඇය කතාබහට එක්කර ගත්තේ මේ දිනවල සමාජ මාධ්‍යවල දක්නට ලැබෙන අලුත්ම “ෆොටෝ ෂූට්“ එක ගැන දැනගන්නත් එක්කමයි.


අමන්දා මේ දවස්වල සමාජ මාධ්‍යවල කතාබහට ලක්වන චරිතයක් වෙලා. මොකක් ද මේ සමාජ මාධ්‍ය කලඹන ෆොටෝ ෂූට් එක? 


මේක මගේ හිතේ කාලෙක ඉඳන්ම තිබුණු ආසාවක්. මට ආසාවක් තිබුණා නැවක ෆොටෝ ෂූට් එකක් කරන්න. ඒක රැල්ල වෙරළට ආදරෙයි ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්න කලින් ඉඳන්ම තිබුණු ආසාවක්. බලාපොරොත්තුවක්. ඉතින් මේ පාර උපන් දිනේ දවසෙ ඒක ඉෂ්ට කරගත්තා. ඒ ෆොටෝ තමයි මේ දවස්වල සමාජ මාධ්‍යවල ශෙයාර් වෙන්නෙ.


මේක මුහුදෙ කරපු ෂූට් එකක්. කොහොමද ඒ අත්දැකීම?


රැල්ල වෙරළට ආදරෙයි ටෙලි නාට්‍යයේ ෂූටිං බොහෝ දුරට මුහුද ආශ්‍රිතවම සිදුවන නිසා මුහුද කියන එක මට ලොකුවට වෙනසක් දැනුණෙ නෑ. ටෙලි නාට්‍යයෙදිත් බෝට්ටුවලින් මුහුදෙ යන දර්ශන ෂූට් කළා. ඒ නිසා බයක් දැනුණෙත් නෑ. මුහුද මැද හරියෙදි මේ ෂූට් එක කළේ. නැවේ පිටත ප්‍රදේශය තමයි ලෝකේෂන් විදිහට යොදා ගත්තේ. බැල්කනි එකක් තිබුණෙ නම් නෑ. නෙට් දාල තිබුණා. ස්ථාන කිහිපයකම ගත්තා. මට ඕන වුණේ වෙනස් දෙයක් කරන්න. මම නිතර නිතර ෆොටෝ ෂූට් කරන කෙනෙක් නෙවෙයි. සාමාන්‍යයෙන් උපන්දිනේට විතරයි ෆොටෝ ෂූට් එකක් කරන්නෙ. ඒකට ටිකක් වෙනස් දෙයක් කරනවා.


රැල්ල වෙරළට ආදරෙයිහි සුදු මැණිකෙ මේ දවස්වල ටිකක් නපුරු වෙලා නේද? කොහොමද ලැබෙන ප්‍රතිචාර?


සුදු මැණිකෙ කියන්නේ ගොඩක් අහිංසක ආදරණීය චරිතයක්. සල්ලිකාර වීරවර්ධන මුදලාලිගෙ එකම දුව විදිහට සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන්න පුළුවන්කම තියෙද්දියි එයා ධීවර තරුණයෙක් වන ශිවාට ආදරේ කරන්නෙ. තමන්ගෙ මවුපියන් පවා අතෑරල ඒ ආදරේ ළඟට යන්නෙ. නොයෙක් හැලහැප්පීම් එක්ක මේ දවස්වල දෙන්නට වෙන්වෙන්න වුණත් ඒ ආදරේ වෙනස් වෙන්නෙ නෑ. සුදු මැණිකෙ ජූඩ්ව බඳින්නෙත් ශිවාගෙ ජීවිතේ බේරගන්න හිතාගෙන මිසක් ශිවාව අමතක කරල නෙවෙයි. ඒ පීඩනය නිසයි මේ දවස්වල චරිතය නපුරු වෙලා තියෙන්නේ. දුක, සතුට, තරහ මේ හැම දෙයක්ම මුසුවුණු චරිතයක් මේක. මං ගොඩක් කැමැතියි එකම චරිතයෙ වුණත් වෙනස් ස්වරූපයන් තියෙනවට. ඒ නිසා සුදු මැණිකෙගෙ චරිතය මං ගොඩක් ආසාවෙන් කරන්නේ.ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. සුදු මැණිකෙ නපුරු වුණත් ප්‍රේක්ෂක ආදරේ අඩුවක් වෙලා නෑ.


හදිසියේම වීරවර්ධන මුදලාලිගෙ ඒ කියන්නෙ සුදු මැණිකෙ තාත්තාගෙ චරිතය මාරු වෙනවා. සුදු මැණිකෙයි තාත්තයි නිතර ගැටෙන චරිත දෙකක් නිසා ඒක ඔබට දැනුණෙ කොහොමද? 


රංගන ශිල්පියෙක් හෝ ශිල්පිනියක් වුණහම ඔය වගේ අභියෝග එනවා. මටත් ඒ අභියෝගය ආවා. මුලින් මගේ තාත්තට හිටියෙ බිමල් අයියා. දැන් ඉන්නෙ ගයාන් අයියා. ඒ දෙන්නම ගොඩක් දක්ෂ රංගන ශිල්පීන්. ඒ නිසා ලොකු වෙනසක් දැනුණෙ නැහැ.


අමන්දා කියන්නෙ නිතර දකින්න ලැබෙන චරිතයක් නෙවෙයි. ඒ ආරාධනා ලැබෙන්නෙ නැති නිසා ද?


රැල්ල වෙරළට ආදරෙයි ටෙලි නාට්‍යය පටන් ගත්ත කාලෙ ඉඳන්ම ආරාධනා ලැබුණා. චිත්‍රපටිවලටත් ආරාධනා ලැබුණා. ඒත් මං හැමදේම භාරගන්නෙ නෑ. මට සැටිස් වෙන්න පුළුවන් ස්ක්‍රිප්ට් එකක් ලැබුණොත් විතරයි කරන්නෙ. ගොඩක් දුරට මං තෝරාබේරා ගෙන වැඩ කරන්නේ. වැඩක් භාරගන්න කලින් මං බලනවා මට ඒක කරන්න පුළුවන්ද කියලා. මේ වෙද්දි නිර්මාණ කිහිපයක් සාකච්ඡා මට්ටමේ තියෙනවා. ඉදිරියේදී අලුත් නිර්මාණවලින් දැකගන්න ලැබේවි.


සුදු මැණිකෙට ශිවා ගැන තියෙන්නෙ පුදුම ළෙංගතුකමක්. අමන්දාගෙ ළෙංගතුකම කාටවත් දීල නැද්ද?


මට අවුරුදු 17 විතර ඉඳන්ම ප්‍රපෝසල් ආවා. මං හිතනවා ඒකටත් කාලයක් තියෙනවා. විවාහය කියන්නෙ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යයක්නෙ. මට බඳින්නන් වාලේ බඳින්නත් බෑ. හරි වයසට, හරි දේවල්, හරි විදිහට බලන්න ඕන.





Previous Post Next Post