ගියා වැඩේ කළා ගෙදර ආවා මට යාළුවෝ නෑ-ඉෂාරා අතුකෝරල




ඉෂාරා අතුකෝරල මේ දිනවල අපිට දකින්න ලැබෙන්නේ ස්වර්ණවාහිනී නාලිකාවේ නිවේදිකාවක් විදියට සහ පාරදිගේ නාට්‍යයේ සචිනි ලෙසින්. ඉෂාරා කියන්නේ අපිට ඉන්න දක්ෂ ප්‍රවීණ චරිතාංග රංගන ශිල්පියෙක් වන ආනන්ද අතුකෝරලගේ එකම දරුවා. ඉෂාරාට හැමෝම කියන්නේ නම් ඉෂි කියලා. ඒ නිසාම අපිත් ඉෂි කියලම කතා කළා.


මේ දවස්වල මොකද වෙන්නේ


විශේෂ දෙයක් කියලා නම් නැහැ. බගර් හට් එකේ වැඩ තියෙනවා. ඒකට හැමදාම යන්න වෙන්නේ නම් නැහැ. මම ඉන්න දවසට යනවා. ඊට අමතරව ස්වර්ණවාහිනී නාලිකාවේ නිවේදිකාවක් විදියට වැඩ කරනවා. “පාරදිගේ“ නාට්‍යයේ ෂුටින්වලට යනවා.


පාරදිගේ සචිනි ට ලැබෙන ප්‍රතිචාර කොහොමද? 


දැන්නම් ඉස්සරට වඩා ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා. ඇත්තම ජීවිතේ කොටසක් වෙලා. සමහර අය ඇවිත් කියනවා රුක්ශානාව ආශ්‍රය කරන්න එපා ඔයත් නරක වෙනවා. අපරාදේ කියලා ඇවිත් කියනවා. තාත්තට ලැබෙන ප්‍රතිචාර දැකලා තිබුණට මට එහෙම ප්‍රතිචාර ලැබෙන්නේ පළවෙනි වතාවට නිසා දැන් ඒක දැනෙද්දී විශේෂත්වයක් තියෙනවා.


නිවේදනයටවැඩි කැමැත්තක් තියෙන්නේ රංගනයට ද?


රංගනයට මගේ පුංචි කාලේ ඉඳන්ම ලොකු කැමැත්තක් තිබ්බේ නැහැ. දැන් කැමතියි. නමුත් නිවේදනයට රංගනයට වඩා දශමයක හරි වැඩි කැමැත්තක් තියෙනවා.


සචිනිට අමතරව භාරගත්ත චරිත තියෙනවද?


ආරාධනා ලැබුණු චරිත තියෙනවා. මේ ටිකේ මම රූපගත කිරීම් කරනවා අනුරුද්ධ ගාම්භීරආරච්චිගේ අලුත්ම නිර්මාණයේ. එහි ප්‍රධාන චරිතය කරන්නේ මම. ඊට අමතරව තව නිර්මාණ දෙක තුනක් තියෙනවා.


ඉෂි සෑහෙන කාලයක් ගිහින් රංගනයට එන්නේ. තාත්තා මොනාද කියන්නේ?


තාත්තා මට කිසිම දෙයකට බලපෑම් කරලා නැහැ. තාත්තා හැබැයි කැමත්තෙන් ඉඳලා තියෙනවා මම රංගනයට එනවට. දැන් තමයි තාත්තා ඒක කියන්නේ. ඒ නිසා මගේ අඩුපාඩු පෙන්නලා දෙනවා. සමහර වෙලාවට තාත්තයි මමයි ඉන්න තැනක මා එක්ක කෙනෙක් ඇවිත් කතා කරද්දී තාත්තා ඒ දිහා බලලා පුදුම විදියට සතුටු වෙනවා.


පවුලේ එකම ළමයා නිසා මොන වගේ චරිතයක් ද?


ගෙදරදී කියලා වෙනසක් නැහැ. අම්මා තාත්තා එක්කම තමයි ඉන්නේ. ජීවිතේ කිසි දෙයක් ලොකුවට අරගෙන නැහැ. බොහොම සරලව සැහැල්ලුවෙන් සාමාන්‍ය විදියට තමයි ඉන්නේ.


කලා ක්ෂේත්‍රයේ හොඳම යාළුවා කවුද?


එහෙම යාළුවො මට නැහැ. මම ගියා මට තියෙන වැඩේ කරා ගෙදර ගියා හැරෙන්න. එතනින් එහාට ලොකු ආශ්‍රයක් නැහැ. කා එක්කවත් ගැටලුවක් නිසා නෙවෙයි. මම හුරුවෙලා ඉන්න විදිය. පියුමි ශ්‍රිනායකව ටිකක් ආශ්‍රය කරනවා. එයත් එක්ක රඟපාන නිසා. ඒ හැර ස්වර්ණවාහිනී නාලිකාවේ මුදිත විජේසුන්දර අයියා. මුදිත අයියා සහ මම ප්‍රෝග්‍රෑම් එක කරන්නෙත්. ඒ නිසා ක්ෂේත්‍රයෙන් කියලා ගත්තොත් දැනට ඒ දෙන්නා තමයි.


ඉෂි චරිත තෝරා ගන්නේ කොහොමද?


මට කරන්න පුළුවන් කියලා දැනෙන චරිත විතරයි මම භාරගන්නේ. රංගනය පැත්තෙන් ලොකු බලාපොරොත්තු නැහැ.


ලැබෙන ප්‍රේක්ෂක ආදරේ ගැන මොකද හිතන්නේ


මට ඒ හැඟීම හරි ආගන්තුකයි. හැබැයි මම ඒ දේට හරි කැමතියි. ඇවිත් අපි එක්ක කතා කරලා සෙල්ෆි එකක් ගන්න එක ලොකු සතුටක්. ඒ එක්කම මම බගර් හට් එක කරන්න ගත්ත නිසා මගේ විදිය දැනගත්තා. මම පොළොවේ පය ගහලා ඉන්න චරිතයක් කියන එක. ඒ නිසා ඕනෙම කෙනෙක් මා එක්ක ඇවිත් කතා කරනවා.‍


බගර් හට් එකේ මේ කාලේ තත්වය කොහොමද?


ඇත්තටම තාමත් අපිව හොයාගෙන ලංකාවේ වටේම ඉන්න අය එනවා. ඒක තව චුට්ටක් වැඩි දියුණු කරගෙන ඉස්සරහට යන්න තමයි බලාපොරොත්තුව.


ව්‍යපාර පැත්තට යොමුවුණේ පුංචි කාලේ ඉඳන් තිබ්බ ආසාවක් එක්ක ද?


පුංචි කාලේ ඉඳන් 8-5 වැඩ කරන්න ඕනේ කියන තැන මම කොහොමත් හිටියේ නැහැ. රැකියාවන් කිහිපයක්ම මම කරලා තියෙනවා. මම කැමති හිතේ නිදහසේ හම්බ කර ගන්න කැමති කෙනෙක්. ඒ නිසා මගේ දෙයක් කරගන්න ඕනේ කියන තැන හිටියා. ඒකට පළවෙනි අඩිය තිබ්බා. හිතුවට වඩා වැඩේ සාර්ථක වුණා. තව පොඩි පොඩි අදහස් කිහිපයක් තියෙනවා. ඒ දේවල් ඉදිරියට කරන්න හිතන් ඉන්නවා.


මෑතකදීම හැබෑ කර ගන්න ඉන්න හීනේ මොකක් ද?


මගේම කියලා ක්ලෝතින් බෑන්ඩ් එකක් පටන් ගන්න ආසාවක් තියෙනවා. ඒක තමයි දැනට තියෙන්නේ. අනිත් දේවල් අම්මා තාත්තා මට ළඟා කරදීලා තියෙනවා. ඒ නිසා හීන කියලා ලොකු දේවල් නැහැ. ඒ දෙන්නව ආදරෙන් බලාගෙන ඒ දෙන්නා ආස දෙයක් කරලා ඉන්න එක තමයි මගේ සතුට.


ආදරණියම පවුලක එකම දරුවා, ආදරේ දකින්නේ කොහොමද?


ආදරේ කියන දේ පොඩි කාලේ ඉඳන් කිසිම අඩුවක් නැතුව ලැබුණු කෙනෙක්. දුක කියන දේවත් මට දැනෙන්න දුන්නේ නැහැ. ඒ දෙන්නා හරිම ආදරණියයි. ඒ ආදරේ අදටත් මම දකිනවා. මට ආදරේ කොච්චර ලැබුණත් ගොඩක් ආදරේ බලාපොරොත්තු වෙන කෙනෙක්. ඒ වගේම ඒ නිසා හිත රිද්දගන්න කෙනෙක්. දැන් හැබැයි ඒක තේරුම් අරගෙන අපි හැමෝටම දෙන තරම් දෙයක් ලැබෙන්නෙත් නැහැනේ. අම්මගේ තාත්තගේ ආදරේ ඕනෑවටත් වඩා ලැබෙන නිසා සතුටින් ඉන්නවා. සතුටින් ඉන්න නම් අපි හැමෝටම ආදරේ කියන දේ ඕනේ.


අනාගත බලාපොරොත්තු මොනවද?


ව්‍යාපාර පැත්තෙන් ඉදිරියට යන්න ආසයි. මම වාහනවලට කැමති කෙනෙක්. ඒ නිසා ආස කරන වාහන ගන්න සහ අම්මා තාත්තව කොහේ හරි ටුවර් එකක් එක්ක යන්න ආසයි. මම පවුලේ තනි ළමයා. ඒ නිසා මගේ ගාව සල්ලි තියෙන්න ඕනේ අම්මා තාත්තා අසනීප වුණත් ඒ දෙන්නව ආදරෙන් බලාගන්න. ඒ දේවල්වලට මට සල්ලි ඕනේ. ඒ නිසා මගේම ව්‍යපාර දියුණු කර ගන්නයි මම බලාපොරොත්තු වෙන්නේ. එක්කම මම ළඟදීම මගේ යූ-ටියුබ් එකක් පටන් ගන්න ඉන්නවා. ගොඩක් අය මගෙන් ඉල්ලීම් කරනවා. ඒ නිසා තාත්තවත් සම්බන්ධ කරගෙන හරවත් දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා.





Previous Post Next Post