ඒක රාගයක් කියලා මම දැනගත්තෙ පහුවෙලා - වොෂිකා පෙරේරා



ධනංජය සිරිවර්ධන අධ්‍යක්ෂණය කරන මේ දිනවල විකාශය වන සිදාදියේ සමනලියෝ ටෙලිනාට්‍යයේ රංගනය වොෂිකාගේ ප්‍රථම ටෙලිනාට්‍ය රංගනයයි. අපිට වොෂිකා ගැන පොඩි හැඳින්වීමක් කළොත්?


මගේ නම වොෂිකා පෙරේරා. මම පදිංචිවෙලා ඉන්නෙ මත්තෙගොඩ. මගේ පවුලේ ඉන්නෙ අම්මයි තාත්තයි නංගියි මමයි. නංගි උසස් පෙළ හදාරනවා. අපේ පවුලෙන් මම විතරයි ගායනය පැත්තට යොමුවෙලා ඉන්නෙ. හැබැයි අපේ පවුලේ හැමෝම කලාවට හරි කැමතියි. මගේ අම්මගේ පුංචි කෙනෙක් ගුවන්විදුලි ගායිකාවක්. සමහරවිට ඒ ආභාෂයත් ලැබෙන්න ඇති. මගේ පුංචි කාලේ මම ගායිකාවක් වෙන්න ආසා කළා. මම කතා කරන්න පුළුවන් කාලෙ ඉඳන්ම සින්දු කිව්වා. මම ටිකක් ලොකු වෙද්දි ''මෙයාට හොඳට සින්දු කියන්න පුළුවන්'' කියලා ගෙදර අය කීවා.


ඔබ සංගීතය හැදෑරුවද?


පුංචි කාලෙනම් එහෙම හැදෑරීමක් කළේ නැහැ. මට ඇහෙන ගීත මම ගායනා කළා. දවසක් මගේ තාත්තාගේ යාළුවෙක්, ''මේ දරුවට හොඳට සින්දු කියන්න පුළුවන්නෙ'' කියලා තාත්තට කියලා තිබුණා. ඒ නිසා තාත්තා මාව රෝහණ වීරසිංහ සර්ගේ 'කලා භූමි' පන්තියට යොමු කළා. එතකොට මගේ වයස අවුරුදු අටක් විතර ඇති. ඒ කලායතනයේ ප්‍රසංගයකටත් මම ඉදිරිපත් වුණා. ටික කාලයක් මම එතනින් ඉගෙන ගත්තා. ඉස්සර මම වයලීන් එකට ගොඩක් ආසා කළා. ''අනේ අම්මේ මට වයලීන් එකක් අරන් දෙන්නකො'' කියලා පුංචි කාලේ මම අම්මට හරියට වද කළා. මට තාම මතකයි මම කාඩ්බෝඩ්වලින් වයලීන් එකක් තනියම හදාගත්තා.


වොෂිකා ඉගෙන ගත්තෙ මොන පාසලේද?


මම ඉගෙන ගත්තෙ මත්තෙගොඩ විද්‍යාදීප මහ විදුහලේ. පාසලේදි මට හොඳ ගුරුවරියක් මුණගැහුණා. ඇය සන්ධ්‍යා ඇළපාත ගුරුතුමියයි. මම පහ වසරේ ඉගෙන ගනිද්දි අපේ පන්තිභාර ගුරුතුමිය ආපු නැති දවසක සන්ධ්‍යා ගුරුතුමියට අපේ පන්තිය භාරවෙලා තිබුණා. ඇය සංගීත ගුරුතුමියයි. කවුරු හරි බබෙක් සින්දු කියන්න ඉන්නවනම් ඉස්සරහට එන්න කියලා කිව්වා. එක ළමයෙක්වත් ඉදිරිපත් වුණේ නැහැ. හැබැයි මට සින්දු කියන්න පුළුවන් කියලා ළමයි දැනගෙන හිටියා. ඒ නිසා ඒ අය මාව ඉස්සරහටම තල්ලු කළා. මම ලැජ්ජාවෙන් 'කලා භූමි' ආයතනයේ අපිට උගන්වපු ගීතයක් ගායනා කළා. සන්ධ්‍යා ටීචර් පුදුම වුණා. ''මම කිව්වාම ඔයා සංගීත කාමරයට එන්න ඕනෙ'' කියලා ඇය මගේ නම ලියාගත්තා. දවසක් මට සංගීත කාමරයට එන්න කියලා පැදුරක් බිම දාලා මට වාඩිවෙන්න කිව්වා. මම කියද්දි ඔයත් කියන්න කියලා සන්ධ්‍යා ටීචර් මට සර්පිනාව වාදනය කරමින් ගීතයක් පුහුණු කළා. මාත් කිව්වා. ඒ රාගයක් කියලා මම පස්සෙයි දැනගත්තෙ. මුලින්ම මාව ශාස්ත්‍රීය අංශයේ ඒකල ගායනා තරගයට ඉදිරිපත් කළා. ඒකෙන් මම ජයග්‍රහණය කළා. එදා ටීචර් මාව තුරුළු කර ගත්තා. එදා ඉඳන් මම සමස්ත ලංකා තරගවලට පවා ගායන අංශයෙන් ඉදිරිපත් වුණා. ඒ ගුරුතුමියගෙන් පසුව පාසලට ආපු නිරෝෂිකා සංගීත ගුරුතුමියත් මාව තරගවලට ඉදිරිපත් කළා.


පාසල් අධ්‍යාපනයෙන් පසුව කිහිප වතාවක්ම ඔබ රියැලිටි තරගවලටත් ඉදිරිපත් වුණා නේද?


ඔව්.. මම උසස් පෙළ හදාරද්දි මුලින්ම 'ඩ්‍රීම් ස්ටාර්' තරගයට ඉදිරිපත් වුණා. ඒ ප්‍රචාරක පටය දකිද්දි ''අම්මා මටත් මේ තරගයට ඉදිරිපත් වෙන්න ඕනෙ'' කියලා කිව්වා. අපේ අම්මා අපිට ලොකු සහයෝගයක් දෙනවා. ඉතින් අම්මා මාව ඒ තරගයට එක්කගෙන ගියා. ඒ තරගයෙන් මම හතළිස් අටවැනියා වෙනතුරු ආවා. මම රෑපලාවණ්‍ය සම්බන්ධයෙන් ඉගෙන ගත්තා. ආයෙත් අවුරුදු පහකට පස්සෙ සියත 'Voice of Asia' තරගයට ඉදිරිපත් වුණා. ඒකෙන් අවසන් දොළහ වෙනකම් ආවා. කොවිඩ් නිසා ඒ තරගය නතර වුණා. ඒකෙදි මට හොඳ ප්‍රතිචාරයක් ලැබුණා. ඊටපස්සෙ තමයි සිරස 'Voice of Sri Lanka' තරගයට ඉදිරිපත් වුණේ. ඒකෙන් ලොකු දුරක් ආවා.


ගායනයට යොමුවුණු වොෂිකාට රංගනයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණෙ කොහොමද?


පාසලේදි මම රඟපාලා නැහැ. හැබැයි මම වෙළෙඳ දැන්වීම් දෙක තුනකටනම් සහභාගිවෙලා තියෙනවා. හැබැයි රඟපාලා තිබුණෙ නැහැ. මුලින්ම මගේ යාළුවෙක් ඇමතුමක් දීලා 'නංගි ඩ්‍රාමා එකක් තියෙනවා. ගිටාර් වාදනය කරන කෙල්ලෙක්ව හොයනවා. පොඩ්ඩක් බලන්න'' කියලා කිව්වා. හැබැයි මම රඟපාලා තිබුණෙ නැති නිසා පොඩි චකිතයක් තිබුණා. ඉතින් පහුවදා මම අම්මත් එක්ක එතනට ගියා. එදා ගොඩක් අය ඇවිත් හිටියා. ගිටාර් අරගෙන ආපු ගෑනු ළමයි ගොඩක් හිටියා. ඉතින් මාත් ඉදිරිපත් වුණා. මුලින් සින්දුවක් කිව්වා. දෙබස් ටිකක් කියන්න දුන්නා. මාත් ඒවා කිව්වා. එදා යශෝධා අක්කත් (යශෝධා විමලධර්ම) එතන හිටියා. එයා එක්ක දෙබස් කියන්න දුන්නා. මට හිතාගන්න බැහැ. මට ලොකු බයක් ඇතිවුණා. හැබැයි මාත් ඒ දෙබස් කිව්වා. ටික දවසකින් මාව තෝරාගත්තා කියලා කිව්වා. මට මාර සතුටක් ඇතිවුණා.


යශෝධා, තරින්දි, මනෝජා, මිෂෙල් වගේ අය එක්ක තමයි වොෂිකාට රඟපාන්න තියෙන්නෙ. කොහොමද ඒ අත්දැකීම?


මුලින් නම් මට බයක් ඇතිවුණා. යශෝධා අක්කා කියන්නෙ ප්‍රවීණ රංගන ශිල්පිනියක්. මට ගොඩක් රඟපාන්න වුණේ යශෝධා අක්කා එක්කයි. හැබැයි ඒ අය එක්ක වැඩ කරද්දි ඒ හැමෝම පුදුමාකාර නිහතමානියි. හැමෝම මට ලොකු සහයෝගයක් ලබා දුන්නා. ඒ වගේම ධනංජය අයියා (ධනංජය සිරිවර්ධන) ගොඩක් හොඳ අධ්‍යක්ෂවරයෙක්. ඒ හැමෝම නිසා මට මගේ චරිතය හොඳට රඟපාන්න අවස්ථාව ලැබුණා. මගේ චරිතය තුළ යම් යම් අඩුපාඩු ඇති. හැම මොහොතකම මම රංගනය ඉගෙන ගන්න ආසයි.


ඉදිරි බලාපොරොත්තු මොනවාද?


'සිදාදියේ සමනලියෝ' නාට්‍යයේ චරිතයට මම ගොඩක් කැමති වුණෙත් ගිටාර් වාදනය කරමින් ගීත ගායනා කරන්න තියෙන නිසා. ඒ චරිතය ටිකක් මගේ ජීවිතයට සමීපයි. ගිටාර් එක කරේ එල්ලගෙන මාත් ඇති තරම් බස්වල ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ චරිතය නිසා මට මාව මතක් වෙන වෙලාවල් තියෙනවා. රඟපාද්දි අඩුපාඩු තියෙනවා. මට ඒවා හදාගන්න ඕනෙ. ප්‍රවීණ අය ඉන්න නිසා ඔවුන්ගේ උදව්වෙන් මඟපෙන්වීමෙන් ඒ දේවල් හදාගන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. රඟපාන්න ආසයි. හැබැයි මුල් තැන දෙන්නෙ සංගීතයටයි.


 දිශානි ජයමාලි





Previous Post Next Post