මිනිස්සු මට මෙච්චර ආදරෙයි කියලා මම දැනුයි දන්නේ - රමීෂ් සශින්ක

 


2023 වසරේ සිරස ද වොයිස් කිරුළට හිමිකම් කියු ඔහු තමන්ටම ආවේණික වූ රිද්මයකින් ගීත ගයන්නෙකි. ඒ අනන්‍යතාව නිසාම ලංකාවේ බොබ් මාර්ලි ලෙසින් ඇතැමුන් හඳුන්වන මොහු වොයිස් වේදිකාවට රැගෙන ආවේ වෙනම හැඩයකි. ඔහුට තිබෙන ආදරය රසිකයන් ප්‍රකාශ කළේ රමියාගේ යෝ යෝ වයිබේ්‍රෂන් යනුවෙනි. ඔහු තමයි රමීෂ් සශින්ක හෙවත් රමියා. ලැබූ ජයග්‍රහණය සහ ඔහුගේ ජීවිතයේ තතු බෙදාහදා ගැනීමට මෙවර හදගැස්ම ආලින්දයට රමියා ගොඩවැදුණේ මෙලෙසිනි. 


සිරස The voice කිරුළෙහි හිමිකරුවා ලෙස මෙම ජයග්‍රහණය ඔබට දැනෙන්නේ කෙසේද?


මේ ජයග්‍රහණය මම බලාපොරොත්තු වුණු දෙයක් නෙමෙයි. නමුත් SMS එවලා මට මගේ රසිකයෝ ඒ ජයග්‍රහණය ලබා දුන්නා. නොසිතූ දෙයක් එක වරම ලැබුණු නිසා තවම කන්ෆියුස් වෙලා ඉන්නේ.


කවුද මේ රමියා කියන්නේ?


මම සරල විධියට ජීවත්වන කෙනෙක්. ඒ වගේම අලුත්ගම ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරය සහ සංගීතය සමඟ සම්බන්ධ වී සිටින පොළොවෙ පය ගහලා ඉන්න සරල කොල්ලෙක්.


බීච් එකේ සංගීතය කරපු කොල්ලෙක් විධියට මේ දක්වා පැමිණි ගමන කුමන ආකාරයේ එකක්ද?


ඒ කාලයේ නම් මගේම ආත්ම තෘප්තිය වෙනුවෙන් තමයි සංගීතය කළේ. නමුත් තැනකට එන්නත් අරමුණක් තිබුණා. මේ දක්වා පැමිණි ගමන ඉතාමත් කටුක රළු පාරක් ඔස්සේ පැමිණි ගමනක්. මේ මගේ මහන්සියට ලැබුණු ප්‍රතිඵලයක්.


ඔබ එක තැනක පවසනවා ඔබෙ අම්මා ඔබේ ජීවිතයේ වීරවරිය කියලා. එයට විශේෂ හේතුවක් තිබෙනවද?


ඔව්. අපිට අවුරුදු පහළොවක් වගේ වෙද්දි තාත්තා අපිව අත්හරිනවා. හේතුව මොකක්ද කියන්න මම දන්නෙ නෑ. එයා යනකොට අම්මට රැකියාවක් තිබුණෙ නැහැ. අපි හිටියෙත් කුලී නිවෙසක. එතකොට අම්මාගේ සහ තාත්තගේ චරිත දෙකටම පණ දුන්නේ අම්මා. ඒක අපිට ගොඩක් තදින් දැනුණා. ඒ නිසා තමයි මගේ අම්මා වීරවරියක් කියලා දැනුණේ.


මේ වනවිට විශාල රසික ආදරයක් රමියට ලැබෙනවා. ඒ ගැන දැනෙන හැඟීම මොන වගේද?


මම දැන් තමයි දන්නේ මිනිස්සු මට මෙච්චර ආදරෙයි කියලා.  මගේ ගමේ  යාළුවෝ, හිත මිත්‍රාදීන් මට ආදරෙයි කියලා මම දැනන් හිටියා. නමුත් සුපිරි තරුවක් විධියට මුළු රටේම ආදරය හිමි වෙද්දි තමා තේරෙන්නේ කලාකරුවෙක්ගේ වටිනාකම. සමහරවිට අපි සින්දු කියන එකම නෙමෙයි ආදරේට හේතුව. අව්‍යාජ බව, අපේ නිර්මාණශීලි බව වගේම අපි හිතන පතන විධිය ඒ හැමදේම ප්‍රේක්ෂක ආදරය තමයි කියලා මම තේරුම් ගත්තා.


ඔබ බොබ් මාර්ලිව අනුකරණය කරනවාද?


අනුකරණය  කරන්නේ නැහැ. නමුත් අනුගමනය කරනවා. අනුගමනයයි අනුකරණයයි දෙකක්නේ. අනුකරණය කරනවා කිව්වොත් අපි එයාවම කොපි කරනවා. අනුගමනය කිව්වොත් අපි ඔහු ගිය මාර්ගය ඔස්සේ යමින් අලුත් දේවල් ලෝකයට දෙමින් ඒ සිතුම් පැතුම්වලට අනුගත වෙලා ජීවත් වෙනවා කියන එකනේ.


සමාජ මාධ්‍යයේ ඔබේ හිස් වැස්මෙහි නිරූපිත ලාංජනය ගැන කතාබහක් මතු වී තිබෙනවා. ඒ ගැන ඔබට පැවැසීමට දෙයක් තිබෙනවාද?


මිනිසුන්ට ඒ ගැන ඕන දෙයක් කියන්න පුළුවන්. නමුත් මම එය දකින්නෙ එය මගෙ හිතේ ඇ¾දුණු සලකුණක් විධියට. නමුත් ඕනෑම කෙනෙක්ට තමන්ට අවශ්‍ය විධියට ඒක දකින්න පුළුවන්. ඒක එයාලගෙ මානසික මට්ටම. මිනිස්සු ගොඩක් වෙලාවට කියන්නේ ඇත්ත නෙමෙයි. ගොඩක් වෙලාවට කියන්නෙ එයාලගෙ මානසික මට්ටම. ඉතින් ඒක එයාලට කැමැති විධියට හිතා ගන්න පුළුවන් සහ මම එයාලගෙ අදහස්වලට ගරු කරනවා.


ඔබගේම ගීතයක් රසිකයන්ට ලබා දෙන්නෙ කවදද?


මගේම ගීත මගේ youtube චැනල් එකේ මේ වන විටත් තිබෙනවා. මම තනු නිර්මාණය කරපු සහ මගෙ මිතුරන්ගේ උදවු ඇතුව කරපු ගීත එහි තිබෙනවා. ඒ වගේම ඒ ගීත රචනා කරන්නෙත් මම ම තමා. ඒ වගේම මගේ කෝච් සුපුන් පෙරේරා සමඟ ඉදිරියේදී ගීතයක් කරන්න තිබෙනවා. මගේම ගීතයකුත් තිබෙනවා. හැකි ඉක්මනින් ඒවා ප්‍රේක්ෂකයන්ට ලබාදීමට මම සූදානමින් සිටිනවා.


විදෙස් තරුණියන්ගෙන් ප්‍රේම ඇරයුම් ලැබී තිබෙන කතාව ඇත්තක්ද?


ප්‍රේම ඇරැයුම් වගේම ඔවුන්ගෙ රටට ගොස් ජීවත් වෙන්නත් ඇරයුම් ලැබී තිබෙනවා. නමුත් මගේ සිහිනය ඒක නෙමෙයි. මගේ සිහිනය කාගෙවත් ගාවට ගිහින් එයාලගෙ සල්ලිවලින් ජීවත්වන එක නෙමෙයි. මගේ සිහිනය හදවතින් එන සංගීතය මිනිස්සු අතර සමාජගත කරන එක. එම සංගීතය තුළ තිබෙන්නෙ හදවතින් එන ආදරය, ඒ වගේම මගෙ සින්දුවලින් ගොඩක් දේවල් සමාජගත කරනවා. මම කැමැතියි ඒක ව්‍යාප්ත කරන්න. මම රට ගියානම් අද ලංකාවෙ රමියා කියලා කෙනෙක් නැහැ. මම තරුණ තරුණියන්ට කියන්නේ කවදාකවත් වාසි බලාගෙන තමන්ගේ මාර්ගය වෙනස් කරන්න එපා. ඔබ එක දිගට හරියට වැඩ කරන් ගියොත් මිල මුදල් කියන දේ ඔබේ පස්සෙන් එන්න ගනියි.


සංචාරක ව්‍යාපාරය සහ සංගීතය කියන දේ එකතු කරලා ඉදිරියට යමක් කිරීමට බලාපොරොත්තු වෙනවද?


චෙක් පොයින්ට් බෑන්ඩ් එක සමඟ වැඩකටයුතු කරමින් සංගීතයෙන් ලංකාවේ සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒකට උදවු කරන්න කැමැති අනුග්‍රාහක භවතුන් ඉන්නවනම් මම ආරාධනා කරනවා. අපි සමඟ එකතු වෙලා සංචාරක ව්‍යාපාරය ගොඩනඟන්න උදවු වෙන්න කියලා.


ස්තූති කරන්න අයත් ඇති නේද?


වොයිස් වේදිකාවේ මාව ඔසවා තැබීම වෙනුවෙන් සිරස ටීවී නාළිකාවටත් වොයිස් කන්සෙප්ට් එක ගෙනාපු සුසාර ඩිනාල් මහතා ඇතුළු වොයිස් කෘෘ එකට ගොඩක් ගරු කරනවා. මම ගායනා කරපු හැම ගීතයකම මුල් ගායකයන්, පද රචකයන්, සංගීතවේදීන් ආදී සියලු කලාකරුවන්ව කෘතඥතාපූර්වකව සිහිපත් කරනවා. ඒ වගේම මගේ පවුලේ අය, මිතුරන් සහ අලුත්ගම ජනතාව, මට SMS කරපු ජනතාවටත් මගේ බැට්ල් පාට්නර් ඇතුළු වචනෙකින් හෝ සහයෝගය දුන් හැමෝටම මම හදවතේ අඩියෙන්ම ආදරෙයි.


ඔබේ ඉදිරි බලාපොරොත්තු ගැනත් කියමු?


මහා ලොකු බලාපොරොත්තු නම් මට තවම නැහැ. නමුත් මූලික අරමුණු කිහිපයක් මගේ හිතේ තිබෙනවා. පෞද්ගලික ජීවිතේ බලාපොරොත්තු ගැන කියනවා නම් මමත් කැමැතියි විවාහ වෙලා දරුවෝ එක්ක හොඳ පවුල් ජීවිතයක් ගත කරන්න. නමුත් ඊට කලින් මට සංගීත ක්ෂේත්‍රය සහ සංචාරක ක්ෂේත්‍රය සම්බන්ධව ඉටුකර ගැනීමට බලාපොරාත්තු කිහිපයක් තිබෙනවා. සංචාරක ව්‍යාපාරය සංගීතය හරහා දියුණු කිරීම මගේ මූලිකම අරමුණක්. දෙවැනි බලාපොරොත්තුව තමයි check point බෑන්ඩ් එක ලංකාවේ ඉහළම තලයට ඔසවා තැබීම. ඒ වගේම මම කැමැතියි මගේම ගීත ඇල්බමයක් නිකුත් කිරීමට. මොකද අනුන්ගේ ගීත මගේ විධියට ගායනා කරනකොට සමාජයේ යම් කොටසක් විරුද්ධ වෙනවා. ඒ වගේම අපි තවම කුලී නිවෙසක තමයි ජීවත් වෙන්නේ. මගේ අම්මට ගෙයක් හදලා දීලා යුතුකම් ඉටු කරන්න ඕන. ඒ වගේම මගේ සහෝදර සහෝදරියන්ටත් යුතුකම් ඉටු කිරීම තමයි දැනට තිබෙන බලාපොරොත්තු.


චමෝදි පෙරේරා





Previous Post Next Post