කෙනෙක්ගේ අතීතය වර්තමානයට ගළපන්න හොඳ නෑ?




පුංචි තිරයේ, වේදිකාවේ සහ රිදී තිරයේ රංගන කෞෂල්‍යය මැනවින් විදහා දැක්වූ ඇය කලා ලොවේ සිටින සොරු හිතැති රංගන ශිල්පිනියක්. “තුෂාරා” චිත්‍රපටය තුළින් ඇය ලබාගත් ප්‍රේක්ෂක ප්‍රතිචාර අතිමහත්ය. ජීවිතය ඇති තුරා, අදුන්ගිර වැනි ටෙලි නාට්‍යය හරහා ඇයට ප්‍රේක්ෂක ආදරය නොඅඩුව හිමිවිය. මේ දිනවල විකාශය වන දෙකොන් මාරු ටෙලි නාට්‍යය තුළින් ඔබ හමුවට එන ඇය ශාලිකා එදිරිසිංහ. නුදුරු දිනයකදී ඇගේ නවතම සිනමා නිර්මාණයක් ප්‍රේක්ෂකයන්ට දැකගන්නට ලැබේවි. ඇගේ ජීවිතයේ අලුත් තොරතුරු බෙදාගැනීම සඳහා සොදුරු පිළිසඳරකට එක්වුණේ මෙලෙසින්. 


කොහොමද ඉතින් මේ දවස්වල ජීවිතේ?


විශේෂයක් නෑ. හොඳයි. සුපුරුදු පරිදි ජීවිතේ ගලාගෙන යනවා. පහුගිය දවස්වල නම් අවුරුදු උදාව නිසා තරමක් කාර්යබහුල වුණා.


මොනවාද මේ දවස්වල නිරතවන අලුත් කලා කටයුතු?


අලුතින් තිරගත වීමට නියමිත නුහුරු වෑයම සහ හදගැස්ම සිනමා නිර්මාණවල වැඩකටයුතු කරගෙන යනවා. ඊට අමතරව මේ දිනවල විකාශය වන දෙකොන් මාරු ටෙලි නාට්‍යයේ රූපගත කිරීම්වල නිරත වෙනවා.


මෑතක තිරගත වීමට නියමිත නුහුරු වෑයම සහ හදගැස්ම සිනමා නිර්මාණ ගැන කතාකරමුද?


කාලයකට පසුව මම නැවතත් සිනමාවට පය තැබුවා. මට හිතෙනවා අලුත් වෙනසක් ඇතිවේවි කියල. ඉතින් නුහුරු වෑයම චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ලාල් ප්‍රියදේව මහතා. මෙහි මම නිරූපණය කරන්නේ පොලිස් නිලධාරිනියකගේ චරිතයක්. මිනීමැරුමක් සම්බන්ධ සිදුවීමක් වටා තමයි කතාව නිර්මාණය කරලා තිබෙන්නේ.


හදගැස්ම චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ අකිල සඳකැලුම්. එය ඔහුගේ කතා සංකල්පයක් අනුව නිර්මාණය වුණු සිනමා නිර්මාණයක්. ඉතා සංවේදී කතාවක්. මේ චිත්‍රපට දෙකම ප්‍රේක්ෂකයන්ට අලුත් අත්දැකීමක් වේවි කියලා හිතනවා.


ටෙලිනාට්‍ය කලාවෙන් සිනමාවට පිවිසි ඔබ රංගනයෙන් දායක වුණු වේදිකා නාට්‍ය මොනවාද?


රංගනයෙන් දායක වුණු වේදිකා නාට්‍යය ගැන කතා කළොත් මම පාසලේදී තමයි මුලින්ම වේදිකා නාට්‍යයක් කළේ. ඒ, සාම ජාතකය. ඊට පසුව සජාතී, ගෝවේ ගෑනු, 21 ශ්‍රී, නෙයිනගේ සූදුව වැනි නාට්‍යය කිහිපයක් කළා. නෙයිනගේ සූදුව මේ වනවිටත් වේදිකා ගතවෙන නිර්මාණයක්.


රංගන ජීවිතයේදී ඔබ විවිධ හැලහැප්පීම්වලට මුහුණදී තිබෙනවා නේද?


ඔව්. විවිධ හැලහැප්පීම් තිබුණා. ඒ හැමදෙයක්ම උපේක්ෂාවෙන් විඳගෙන ඉදිරියට යන්න අපි පුරුදු වෙන්න ඕන. ඉදිරියේදී මුහුණපෑමට සිදුවන ඕනෑම දෙයකට හොඳින් මුහුණදීලා කටයුතු කරන්නත් සූදානම් වෙලා ඉන්නවා. අතීතයේ අපි ලබාගත් හැම අත්දැකීමක්ම උපයෝගී කරගෙන ඒ සියල්ල වර්තමානයට ගළපගෙන ජීවිතේ යහපත්ව ගතකිරීම තමයි අපේ අරමුණ විය යුත්තේ.


මෙතෙක් පැමිණි ගමන්මඟ දෙස ආපසු හැරී බැලුවොත් ඔබේ අතීතය සහ වර්තමානය ගැන මොකද හිතෙන්නේ?


මෙතෙක් ආ ගමන්මඟ දිගු ගමනක්. තව යෑමට තිබෙන දුරත් බොහොමයි. වර්තමානය ගැන මම සතුටු වෙනවා. මොකද අද මම මේ ඉන්න තැනට එන්න අතීතයේ ගොඩක් දේවල් මට උපකාර වුණා. ඒ අතීතය සුන්දර නැහැ. අතිශය දුෂ්කර ගමනක්. හැබැයි අද මම ඉන්න තැන ගැන මම සතුටු වෙනවා.


ප්‍රේමය, විරහව සහ විවාහය  ඔබට දැනෙන්නේ කොහොමද?


කෙනෙක්ට තව කෙනෙක් ගැන ප්‍රේමය කියන්නේ හොඳ තේරුම් ගැනීමක්, සුන්දර ආදරයක් සහ රැකවරණයක් ලැබෙනකොට ඒ දැනෙන හැඟීම හරි ප්‍රේමණීයයි. විරහවත් ප්‍රේමය වගේම අපි ජීවිතේ විඳින්න ඕන දෙයක්. එයින් ප්‍රේමය ගැන අවබෝධයක් ලබාගන්න පුළුවන්. විරහව අත්විඳි කෙනෙක් ප්‍රේමයට ලොකු වටිනාකමක් ලබාදෙනවා. ඉතින් ජීවිතේ අපි විවිධ අත්දැකීම් ලබන්න ඕන. ආදරයත් විරහවත් මමත් අත්විඳල තියෙනවා. විවාහය කියන්නේ හදිසියේ ගතයුතු තීරණයක් නෙමෙයි. එක් වරක් නොව දහස් වරක් හිතලා ගන්න ඕන තීරණයක්. හැඟීම්වලට වගේම බුද්ධියටත් ඉඩ දීලා කල්යල් බලා ගතයුතු තීරණයක්.


ඔබ අර්ජුන කමලනාත් සමඟ සසර බැඳීමකින් බැඳිලා කියලා ආරංචියි. ඇත්තද ඒ කතාව?


අර්ජුන කමලනාත් කියන්නේ ප්‍රවීණ කලාකරුවෙක්. මගේ අවුරුදු විස්සක කලා ගමන තුළ මට ලැබුණු ඉතාම හොඳම මිතුරෙක්. අලුතෙන් තිරගත වීමට නියමිත  සිනමා නිර්මාණ දෙකක ඔහුත් සමඟ රංගනයෙන් දායක වුණා. තව සිනමා නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබිලත් තිබෙනවා. සහයෝගයෙන් වැඩ කරන්න පුළුවන් හොඳ රංගන ශිල්පියෙක්. අපි හැමෝම සසරේ කොතැනදී හරි බැ¾දුණු මුණගැහුණු අය වෙන්න පුළුවන්.


ඔහුගේ අතීතය ඔබට ගැටලුවක් නැද්ද? ඒ ගැන අවබෝධයෙන් කටයුතු කරනවාද?


කෙනෙක්ගේ අතීතය වර්තමානයට ගළපන්න හොඳ නැහැ. අතීතයේ සිදුවූ ඕනෑම දෙයකට හේතුවක් තිබෙන්න පුළුවන්. යම් පුද්ගලයෙක්ගේ ප්‍රශ්නයක් දෙස බලනවිට එහි එක් පැතිකඩක් විතරක් බලන එක නරකයි. ප්‍රශ්නයක දෙපැත්තම සමබරව බැලිය යුතුයි. අතීතයේ සිදුවූ වැරදි හදාගෙන ජීවත්වෙන්න උත්සාහ දරන කෙනෙක් නම් අපට ඔහුගේ අතීතය සැලකිය යුතු නැහැ.


ඔබේ ජීවිතයේ අනාගත බලාපොරොත්තු මොනවාද?


අනාගත බලාපොරොත්තු ගොඩක් තිබෙනවා. ඉදිරියේදී බලමු ඉතින් නේද?


චතුරිකා රාජපක්ෂ





Previous Post Next Post