චරිතයක් වෙනුවෙන් මගේ ලස්සන කොණ්ඩේ කපන්න වුණා - රුවන් පෙරේරා

 


ජනප්‍රිය ටෙලි නිර්මාණ කිහිපයකම දුටු රුවන් පෙරේරා වර්තමානයේ බොහෝ දෙනෙකු ආදරය කරන දක්ෂ යොවුන් රංගන ශිල්පියෙකි. පසුගිය කාලයේ ස්වර්ණවාහිනි නාළිකාව තුළ විකාශය වූ හාර කෝටිය මෙන්ම නාඩගම්කාරයෝ ටෙලි නිර්මාණ හරහාද අතිශය ජනප්‍රිය වූ රුවන් කලා   ක්ෂේත්‍රයටද පිවිස දැන් දිගු කාලයක්ද ගතව තිබේ.


නළුවෙක් වෙන හීනයක් රුවන්ට තිබුණද?


විශ්වාස කරන්න මට නළුවෙක් වෙන හිනේ තිබුණේ මම පෙර පාසල් යන කාලේ ඉඳලා. ඒ කාලේ ඉතින් අපිට බලන්න කියලා රූපවාහිනියක් තිබුණේ නැහැ. අපේ ගම් එහෙමත් ඒ කාලේ ගොඩක් දුෂ්කරයි නේ. චිත්‍රපටයක් බලන්න අවස්ථාව තිබුණේ සිනමා ශාලාවකට ගිහිල්ලා විතරයි. අපි ඉතින් නිතරම වගේ යනවා චිත්‍රපට බලන්න. ජිවන් කුමාරණතුංග, සනත් ගුණතිලක වගේ ප්‍රවිණ රංගන ශිල්පින්ගේ චිත්‍රපට තමයි ඒ කාලේ වැඩිපුරම ප්‍රදර්ශනය වුණේ. ඉතින් ඔවුන්ගේ චිත්‍රපටවල තිබුණ ගීත කියමින් මාත් ගස් වටේ කැරකිලා නටනවා ඒ කාලේ. පොඩි කාලේ ඉඳලා ඒ තිබුණ උනන්ඳුව තමයි මාව අද නළුවෙක් කරන්න හේතු වුණේ කිව්වොත් හරි.


නළුවන්ගේ නම් ආදර සම්බන්ධවලට නිතරම ගැවෙනවා. නමුත්, ඔබ එහෙම නැහැ?


ඔව්, හැබැයි ගොඩක් ඔය ආදර සම්බන්ධවලට නම ගාවගන්නේ ගොසිෆ් එකක් හදාගන්න. මොකක් හරි වැඩක ගැණු ළමයෙක් එක්ක ප්‍රසිද්ධියේ හිටියොත් ඇති ඔය වගේ දේකට. වැඩිය ඕනා නැ පොටෝ ටිකකට හරි පෙනි හිටියොත් ඒ අයට ඔය වගේ කතා හැදෙනවා. සමහර අයට ඉතින් ඒක හොඳයි. මොකද, අද කාලේ ජනප්‍රිය වෙන්න ඕක එක ක්‍රමයක්. ඉතින් මට එහෙම අවශ්‍යතාවයක් නැහැ. අනික මම මේ ක්ෂේත්‍රය තුළ එහෙම ආදරය හොයාගෙන යන කෙනෙක් නෙමෙයි. අනික මම හිතන ගතිපැවතුම් තියෙන එහෙම ගැනු ළමයෙක් තාම මට හම්බ වෙලා නැහැ. එහෙම හම්බ වුණොත් මම විවාහ වෙනවා. නැත්නම් ඉතින් සදාතනිකඩව ඉන්නවා.


පෙම්වතා විදිහට රඟපාන්න ආසම රංගන ශිල්පිණියක් ඉන්නවාද ඔබට?


මම කැමතියි සෙනාලි ෆොන්සේකා මගේ පෙම්වතිය විදිහට රඟපානවට. අනික අපි දෙන්නා ශිවා අයියාගේම හාර කෝටිය වගේම නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයවල රඟපැවා. නාඩගම්කාරයෝ එකේ නම් අපි දෙන්නා හිටියේ තරහාකාරයෝ විදිහට. හැබැයි හාරකෝටිය එකේ නම් සෙනාලි මගේ මිතුරියක් පෙම්වතියක් විදිහට රඟපැවා. මම සෙනාලිට කැමති ඇයත් එක්ක වැඩ කරන්න ගොඩක් ලේසි නිසා. අනික අපි දෙන්නාගේ තියෙන එකිනෙකා තේරුම්ගත් සම්බන්ධතාවයට. අපි නිතර හමුනොවුණත් දැක්ක තැන කතා බහ කරනවා. ඒ සුහදත්වය සෙනාලිගේ තියෙනවා අනෙකුත් රංගන ශිල්පිණියන්ට වඩා.


නළුවෙක් වුණාම ඕනෑම අභියෝගයක් භාරගන්න කැමතිද?


අනිවාර්යයෙන්ම භාරගන්නවා. ඕකටත් හොඳ උදාහරණයක් තියෙනවා මා ගාව. මම හාර කෝටිය ටෙලි  නාට්‍යයට සම්බන්ධ වුණ කාලයේදීම තමයි ජැක්සන් ඇන්තනි සර් එකගෙයි සොකරි කියන චිත්‍රපටය හදන්න ගත්තේ. ජැක්සන් සර් මට ඔහුගේ කාර්යාලයට එන්න කියලා කතා කරලා මගේ චිත්‍රපටයේ චරිතයක් තියෙනවා රුවන් රඟපාන්න කැමතිද කියලා ඇහුවා. ජැක්සන් සර්ගේ වැඩකට මම කවදද අකමැති වෙන්න කියලා මම කිව්වා වැඩේ කරමු සර් කියලා. හැබැයි ඉතින් ඒ වැඩේට ඔයාට ඔය ලස්සනට තියෙන කොන්ඩේ කපලා දාන්න වෙන්න කියලා. පස්සේ තේරුණා මට මේ කතා කරන්නේ හාමුදුරු කෙනෙක් චරිතයකට කියලා. අමාරුවෙන් හිත හදාගෙන මම අභියෝගයක් විදිහට කොණ්ඩේ කපලා ඒ චරිතයට දායක වුණා. ඒ වගේ ඕනෑම අභියෝගාත්මක චරිතයක් මම කරන්න කැමතියි.


ගොඩක් නළුවෝ තමන්ගේ ඇඟ ගැන හිතනවා. ඔබ ඇඟ හදාගන්න ආස නැද්ද?


කාලයක් මම ඇඟ හදාගන්න ගියා. නමුත්, අපි කරන්නේ ඉතාම කාර්යබහුල වෘත්තියක්. ඒ හින්දා හැමදාම කායවර්ධන ව්‍යායාම්වල නිරත වෙන්න වෙලාවක් අපිට නැහැ. ඒත්, රංගන ශිල්පියෙක් වුණාම තමන්ගේ රුව ඇගේ හැඩය ගැන හිතන්න ඕනා. ආයෙත් පුරුදු පරිදි කායවර්ධන ව්‍යායාම්වල නිරත වෙන්න මගේ අදහසක් තියෙනවා. මේ දවස්වල ඒ වෙනුවෙන් කාලය හොයාගන්න මම වෙහෙසෙනවා.


බුද්ධික සේනාධීර






Previous Post Next Post