සතුට වැඩිකමට යාළුවොන්ටත් කිවුවා මං තමයි මූසිල කියලා-අඛිල ධනුද්ධරයි




වෑත්තෑවේ හිමියන් විසින් රචිත ගුත්තිල කාව්‍ය රිදී තිරය මතට ගෙන ඒමට සිත් පහල වන්නේ තිස්ස නාගොඩවිතානයන්ටය. කලා කීර්ති ශ්‍රී සනත් අබේසේකරයන් අතින් එය රූපානුසාර දෙබසින් යුත් විචිත්‍රවත් සිනමා සිත්තමක් බවට පෙරළෙද්දී ගුත්තිලගේ ප්‍රතිවීර චරිතය වන මූසිල ලෙසින් රඟන්නේ දක්ෂ රංගන ශිල්පී අඛිල ධනුද්ධරයි. 


ගුත්තිල සිනමා සිත්තම මේ දිනවල සාර්ථකව තිරගත වෙනවා. කොහොමද මූසිලට ලැබෙන ප්‍රතිචාර?


හිතාගන්න බැරි තරම් ප්‍රතිචාර ලැබෙනවා. සමාජ මාධ්‍යවලින් පුදුමාකාර ආදරයක් ලැබෙනවා. තරුණ පරම්පරාවෙන් තමයි වැඩිපුරම. මීට කලින් චිත්‍රපට කිහිපයකම ප්‍රධාන භූමිකාවෙන් සම්බන්ධ වෙලා තිබුණත් ඒ ලැබුණ ප්‍රතිචාරවලට වඩා ලොකු වෙනසක් දැනටමත් තියෙනවා. එක පාරටම එහෙම වෙන්න හේතුව ගුත්තිල නිසා වෙන්න ඕන. මේක අපි කවුරුත් දන්න කතාවක් නිසා සාමාන්‍ය ප්‍රේක්ෂකයාට වුණත් දැනෙනව වැඩියි. පාසල් වියේ සාහිත්‍ය රසයෙන් විඳි චිත්තරූප ඇස් ඉදිරියේ දැකගන්න ලැබෙන අවස්ථාවක් මේක.


මූසිල අභියෝග කරන්නෙ තමන්ගෙම ගුරුවරයට. මූසිලගේ චරිතය ඔබට දැනුණෙ කොහොමද?


වෙනස් වෙන ලෝකයත් එක්ක වෙනස් වෙමින්, සම්ප්‍රදායට අභියෝග කරමින් ඉදිරියට යන තාරුණ්‍යය තමයි මූසිල හරහා නියෝජනය වෙන්නෙ. මූසිල දියුණු වෙන්න කැමැති දක්ෂතාවයක් තියෙන තරුණයෙක්. ඔහු දන්නව ඒකට අධ්‍යාපනය කොතරම් වැදගත්ද කියලා. ඒ නිසයි ඔහු නොදන්නා දේ ඉගෙන ගන්න හොඳම විශ්වවිද්‍යාලයට ගියේ. ශිල්පයේ කොතරම් දක්ෂ වුණත් මනුස්සකමින් හීන වුණොත් එයාට යන්න පුළුවන් ගමන කෙටිවෙනවා කියන එක තමයි මේකෙන් පැහැදිලි වෙන්නේ.


ඔබ වීර චරිතවලින් වගේම ප්‍රතිවීර චරිතවලිනුත් ප්‍රේක්ෂකයාගේ ආදරය දිනූ කෙනෙක්. මෙතැනදිත් ඔබට ඒ ආදරේ නොඅඩුව ලැබෙයි කියල හිතුවද?


මූසිල කියන්නෙ ඉතිහාසගත ප්‍රතිවීර චරිතයක්. මට ප්‍රතිවීර චරිතයක් ලැබුණු හොඳම අවස්ථාව මේක කියලයි මට හිතෙන්නෙ. මෙතෙක් ලැබුණු ප්‍රතිවීර චරිත මොකක් හෝ හේතුවක් නිසා දුෂ්ටකමින් මිදිල ආදරණීය චරිත බවට පත්වුණා. දස්කොන් ප්‍රමිලා ප්‍රේමයට හරස්වෙලා තමන්ගෙ හොඳම යාළුව වුණු දස්කොන් ඝාතනය කරන නරේන්ද්‍රසිංහ රජු. කලාවැව නිර්මාණය කරද්දි සංඝයාට පවා එරෙහි වෙලා තමන්ගෙම නැඟණියවත් ඝාතනය කරන ධාතුසේන රජු. ඇහැළේපොළ පරම්පරාවම ඝාතනය කරන ශ්‍රී වික්‍රමරාජසිංහ රජු. මේ වගේ ප්‍රතිවිර වරිත ගොඩක් කළා. ඒත් මාව ප්‍රතිවීරයා විදිහට ලකුණු වුණේ නෑ. මොකක් හරි හේතුවක් මුල්වුණා සම්පූර්ණ ප්‍රතිවීර චරිත නොවෙන්න. ඒත් මූසිල කියන චරිතය සාධාරණීකරණය කරන්න කවදාවත් බෑ. මවුපියන් වගේ ආදරෙන් සලකපු ගුරුවරයාට එරෙහි වුණාට පස්සේ එතනින් එහාට මේ චරිතය සම්පූර්ණයෙන්ම ප්‍රතිවීර චරිතයක් මිස වීර චරිතයකට පෙරළන්න බෑ. ඒ නිසා මං හිතන්නෙ මේක තමයි මට ලැබුණු පළවෙනි ප්‍රතිවීර චරිතය. ඉතිහාසගත ප්‍රතිවීරයාගේ චරිතය කරන්න ලැබීම වගේම මිනිසුන් එය ආදරයෙන් වැලඳගැනීමම මං ලබපු ලොකු භාග්‍යක්.


මූසිලගේ චරිතය නිරුපණය කරන්න ආරාධනා ලැබුණම මොකද හිතුණෙ? 


තිස්ස නාගොඩවිතානයන් ගුත්තිල නිර්මාණයට චරිත තෝරද්දි ගුත්තිලට එඩ්වර්ඩ් ජයකොඩි නම් මූසිලට අඛිල ධනුද්ධර වෙන්න ඕන කියල හිතල තිබුණා. ඒක හරියටම ස්ථිර කළේ දවසක් මං කතරගම කිරිවෙහෙර වැඳපුදාගෙන එද්දි. ඒකත් ආශීර්වාදයක් වුණා. සතුට වැඩිකමට යාළුවොන්ටත් කතාකරලා කිවුවා ඔන්න වැඩේ හරි මං තමයි මූසිල කියලා.


ගුත්තිල කියන්නෙ සංගීතය මූලාශ්‍රය කරගෙන බිහිවුණු නිර්මාණයක්. ඔබත් ඒකට ගායනයෙන් දායක වුණා. ඒ ගැන මතක් කළොත්?


මෙතැනදි දිනේෂ් සුබසිංහ කියන අති දක්ෂ සංගීතඥයාව මතක් කරන්නම ඕන. ඔහුගේ දැඩි කැපවීම, මහන්සිය නිසා තමයි මේ තරම් ලස්සන නිර්මාණයක් බිහිවුණේ. හැමදාම ඔහු දර්ශන තලයට ආවා. ලොකු රිසර්ච් එකක් කරලා මේ උපකල්පිත වීණාව, මේකට අදාළ නාද මාලාව හොයාගත්තෙ. මටත් හොඳට වාදනය කරන්න පුළුවන් වුණේ දිනේෂ්ගෙ සහායෙන්. පළවෙනි වතාවට මං චිත්‍රපට පසුබිම් ගායනයටත් එක් වුණා. ඒකෙ ගෞරවය හිමිවෙන්න ඕනත් දිනේෂ්ට. ඔහු තමයි මාව දිරිගන්වලා, ඔයාම මේක කරන්න ඕන කියලා ගායනයටත් යොමු කළේ.


ඔබ සිනමාවට පිවිසෙන්නෙම වාර්තාගත චිත්‍රපට රංගනයකින්. මේකත් එහෙම වෙයි කියල ඔබට හිතෙනවද?


ලැබෙන ප්‍රතිචාර එක්ක බැලුවම එහෙම හිතන්න පුළුවන්. මේකෙ අධ්‍යක්ෂ සනත් අබේසේකරත් දක්ෂයෙක්. ඔහුයි මායි එකට වැඩකරන තෙවැනි වතාව මේ. අපි අතරෙ හොඳ අවබෝධයක් තිබුණා. ඒ වගේම ගුත්තිල චරිතයට දායක වුණු එඩ්වර්ඩ් ජයකොඩි මහත්මයත් ඒ චරිතයට සීයට සීයක්ම ගැළපුණා. ඔහු රංගනය ගැන හොඳ අධ්‍යයනයකින් හිටියෙ. ඔහුට හොඳ කතා විලාශයක් තිබුණා. ගුත්තිලට ගැළපෙන සංයමය වගේම ඒ ලක්ෂණ හැම එකක්ම තිබුණා. අපිටත් පුදුම හිතුණා ඔහුගේ රංගන විලාසය දැකලා. ගුත්තිලව ප්‍රේක්ෂකයා පිළිගත්තෙ නැත්නම් එයා ෆේල් වුණා නම් අනිත් මොනදේ තිබ්බත් වැඩක් වෙන්නෙ නෑ. ඒවගේම තිස්ස නාගොඩවිතානයන් තමයි ලංකාවෙ සියලුම චිත්‍රපට සංරක්ෂණය කළේ. ඔහු දැනන් හිටියා ප්‍රේක්ෂකයාට ඕන දේ. මෙහි නිෂ්පාදක හරේන් නාගොඩවිතානවත් මතක් කරන්නම ඕන. ඔහු 3D තාක්ෂණය යොදාගෙන සැබෑ ලෙසම දිව්‍ය ලෝකය මැව්ව නිසා තමයි අවසන් ජවනිකාවෙදි ප්‍රේක්ෂකයාගේ ඇස්වලට සතුටු කඳුළක් නැඟෙන්නේ. 


මූසිලගේ රංගනය පිළිබඳ ඔබ තෘප්තිමත්ද?


ඔව්. සාමාන්‍යයෙන් චරිතයක් කරද්දි අපි ඒ කෙනා බවට පත්වෙලා හිතන්න ගන්නවා. එතැනදි අපේ හිත තමයි රඟපාවන්නෙ. චරිතයක් ලැබුණම ඒකෙ හරිම මනෝභාවය සොයාගෙන යන තරමට, ඒක ගැන කතාවෙන තරමට ඒ තුළට කිඳා බහින්න පහසුයි. මේකෙදි අපි සෑහෙන්න කතා කළා. ඒ නිසා දේවල් සොයාගන්න පුළුවන් වුණා. හැමෝම තම තමන්ගෙ අදහස් ප්‍රතිචාර එළියට දැම්මා. ඒ නිසා ලස්සන ලස්සන දේවල් හැදුණා.


*මුලින්ම චිත්‍රපටය නරඹපු වෙලාවෙ තව දෙයක් සිද්ධ වුණා. අවසන් ජවනිකාවෙදි හැමෝම හැඟුම්බර වුණා. ඒ වෙලාවෙ මට පේනව මගේ වම් පැත්තෙ චිත්‍රපටිය නරඹමින් සිටි මගේ මවගෙ ඇස්වලට කඳුළු එනවා. ඒත් එක්කම මට මගේ දකුණු පැත්ත බැලුණෙ අප්පච්චිව මතක් වෙලා. ඒ වෙලාව හරිම අමාරු වුණා. මේ පාර මට අප්පච්චිව මිස් වුණා. මං දන්නව අනිත් හැමෝගෙම ඇස්වලට කඳුළු ආවෙ ගුත්තිල ඇදුරුතුමාගෙ ජයග්‍රහණය නිසා වුණත් අපේ අම්මගෙ කඳුළ මං වෙනුවෙන් කියලා.





Previous Post Next Post