මගේ රුව ගැන මට වඩා හිතන්නේ මගේ අම්මා-සුහන්දි උපෙත්මා




සතියේ දිනවල හැමදාම රාත්‍රී 9 ට ස්වර්ණවාහිනී තුළින් ප්‍රේක්ෂකයන් අතරට එන 1990  Love born in the heart අනූව දශකයේ ආදර කතාව නරඹන කෙනෙක් නම් ඔබට එහි එන මේඝනා ගැන අමුතුවෙන් කිව යුතු නැහැ. පුංචි තිරයට පෑයූ අලුත්ම තාරකාවියක් තමයි මේඝනාට ජීවය දෙන්නේ. ඇය නමින් සුහන්දි උපෙත්මා. වෙළඳ දැන්වීම් වලින් දකින්න ලැබුණු ඇය 2022 වසරේ ITN අවුරුදු කුමරිය තරගයෙන් දෙවන ස්ථානය ද දිනා ගන්නවා. ඉන් පසුව තමයි ඇය රංගනයට යොමු වෙන්නේ.


“මගේ සම්පූර්ණ නම වෙන්නේ සුහන්දි උපෙත්මා වෝසදී. මගේ පවුලේ විස්තර කියනවා නම් අම්මයි තාත්තයි මමයි නංගියි. අපි පදිංචිව සිටින්නේ කඩවත. පාසල් ගියේ සපුගස්කන්ද විශාඛා බාලිකා විද්‍යාලයට. පාසලේදී මම ගොඩක් බාහිර ක්‍රියාකාරකම් කළා. ක්‍රීඩාවට යොමු වුණා. පාසලේ තූර්ය වාදක කණ්ඩායමේ හිටියා. ඒ වගේම නර්තනය එක්කම තමයි වැඩිපුර කාලය ගෙවුණේ. පාසල් කාලයේදී පටන් මම නර්තනය හැදෑරුවා. තාමත් නර්තනය හදාරනවා. මට වෙළඳ දැන්වීම්වලට සම්බන්ධ වෙන්නත් අවස්ථාව ලැබුණා. ඒ එක්කම කවදා හරි අවුරුදු කුමාරියක් වෙනවා කියන එක මගේ හිතේ තිබ්බ ලොකු ආසාවක්. ඒක සැබෑ කර ගන්නත් එක්කමයි මම 2022 වසරේ ITN අවුරුදු කුමාරි තරගයට ගියේ.“ 


එක හුස්මට කලාවට තියෙන ආදරේ ආසාව එක්ක ළමා කාලය ගැන කිව්ව සුහන්දිගේ මුල්ම රංගනය තමයි අපි 1990  Love born in the heart අනූව දශකයේ ආදර කතාවේ මේඝනා තුළින් දකින්නේ, ඒ නිසාම අපි මේඝනා වෙන්න ලැබුණු අවස්ථාව ගැනත් කතා කළා.


“ඇත්තටම මේඝනා වෙන්න ලැබුණු අවස්ථාව අහම්බයක්. වෙළඳ දැන්වීමකදී මට හමුවුණ කෙනෙක් මගේ ගැන නිල්මිණි තෙන්නකෝන් මිස්ට කියලා තිබුණා. ඊට පස්සේ නිල්මිණි මිස් තමයි මාව නාට්‍යයේ අධ්‍යක්ෂක වන රනිල් කුලසිංහ මහතාට හඳුන්වා දී තිබුණේ. ඒ විදියට තමයි මම මේඝනා වෙන්නේ.“


මේඝනා කියන්නේ සුහන්දිට පුංචි තිරයේ ලැබුණු පළමු චරිතය, රංගනයේ මුල්ම අත්දැකීම ගැන ඇය කිව්වේ මෙහෙමයි


“මගේ මුල්ම රංගනය නිසා දෙබස් කියන්න යද්දී තියෙන ටෙන්ෂන් එකත් එක්ක දෙබස් අමතක වුණු වෙලාවල් තිබුණා. ඒ හැම වෙලාවකම වගේ විහිළුවක් හරි කරලා නැති කරලා අපිව රිලැක්ස් කරන්නේ ධනුක අයියා. මේ නාට්‍යය තුළ මට රඟපාන්න ලැබුණේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් එක්ක. ඒ හැමෝගෙන්ම වගේ ලැබුණේ ඉතාම හොඳ සහයෝගයක්. ඒ ලැබෙන ගුරුහරුකම් එක්ක මේඝනා ඉදිරියට යනවා.“


මේඝනා වුණාට පස්සේ බොහෝ ඇරයුම් ඇයට ලබුණා. එතැනින් පස්සේ ලැබුණු ආරාධනා මේ වෙද්දී භාරගෙන ද තියෙන්නේ කියලා ඇහුවාම ඇය දුන්නේ මේ වගේ උත්තරයක්.


“1990 නාට්‍යයෙන් පස්සේ තව අලුත් නාට්‍යය දෙකකට අවස්ථාව ලැබුණා. ඒ ධනුෂ්ක රත්නායක අයියා අධ්‍යක්ෂණය කරන නිර්මාණ දෙකක්. මේ නාට්‍යය දෙකෙත් මේ දිනවල රූපගත කිරීම් සිදුවෙනවා.


ඊට අමතරව තාමත් මම ව්‍යාපාර අධ්‍යයන පැත්තෙන් උසස් අධ්‍යාපනය ලබනවා. ඒ වගේම රංගනය ගැන වැඩිදුර ඉගෙන ගන්නවා.


මම කැමතියි චරිතාංග රංගන ශිල්පිනියක් වෙන්න. එහෙම වෙන්න නම් විවිධ චරිත කරන්න ඕන. ඒ නිසා මම කැමතියි එකිනෙකට වෙනස් මගේ රංගන හැකියාවකින් පෙනුම් කරන්න හැකි චරිත කරන්න. මට ගැළපෙන මට කරන්නට හැකි හැම චරිතයක්ම මම කරන්න බලාපොරොත්තු වෙනවා.“


සුහන්දි උපෙත්මා කියන්නේ සැබවින්ම පියකරු යුවතියක්, ඒ ලස්සන රැකගන්න මොනවද කරන්නේ කියලා ඇහුවාම ඇය කිව්වේ මෙහෙම කතාවක්.


“මගේ මේ තියෙන පෙනුම රැකගන්න අම්මා හදලා දෙන ස්වභාවික දේවල් පාවිච්චි කරනවා. මගේ අම්මා රූපලාවණ්‍ය ශිල්පිනියක්. මගේ ඇහිබැම සකස් කිරීමේ සිට මගේ හැමදේම කරන්නේ අම්මා. මගේ රුව ගැන මට වඩා හිතන්නේ මගේ අම්මා.“


මේ වෙද්දී ලැබෙන ප්‍රේක්ෂක ආදරේ ගැන කතා කරලම අපි මේ කතාබහ අවසන් කරන්න හිතුවා.


“මගේ පළවෙනි ටෙලි නිර්මාණය තමයි මේ දිනවල ස්වර්ණවාහිනියෙන් විකාශය වන 1990 | Love born in the heart අනූව දශකයේ ආදර කතාව කියන්නේ. තනුජා ලුම්බිණි අක්කා මේ කතාව ලස්සනට ලියලා තියෙනවා. මගේ පළමු රංගනයට මේ ලැබෙන ආදරේ ගැන මම ගොඩක් සතුටු වෙනවා. ඒ ලබා දෙන ආදරේ මට ගොඩක් වටිනවා.“





Previous Post Next Post