Cannes සිනමා සම්මාන උලෙළේ රතු පලස මතින් ගිය ශ්‍රී ලාංකේය රංගන ශිල්පිනිය -වසන්ති චතුරාණි

gossiplanka image 2
ශ්‍රී ලාංකේය සිනමාවේ රන් සලකුණක් සනිටුහන් කරමින් මෙවර පැවැති 78 වැනි Cannes සිනමා සම්මාන උලෙළේදී සුමිත්‍රා පීරිස්ගේ ගැහැනු ළමයි සිනමාපටය ප්‍රදර්ශනය සඳහා සුදුසුකම් ලැබීය. එය ශ්‍රී ලාංකේය සිනමා ඉතිහාසයේ අභිමානවත්ම මොහොතක් ලෙස ඉතිහාසයට එක් විය. 1978 දී නිර්මාණය වුණු ගැහැනු ළමයි සිනමාපටයේ සංරක්ෂිත පිටපත නැවත ප්‍රතිසංස්කරණය කර මෙහිදී ප්‍රදර්ශනය වීම විශේෂත්වයකි. ප්‍රධාන භූමිකාවට පණ පෙවූ වසන්ති චතුරාණි, අජිත් ජිනදාස, ශ්‍යාමා ආනන්ද මෙන්ම ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති සුදත් මහදිවුල්වැව ද මේ අවස්ථාවට සහභාගි වූහ. Cannes සිනමා සම්මාන උලෙළේ රතු පලස මතින් ගමන් කළ පළමු ශ්‍රී ලාංකේය රංගන ශිල්පිනිය ලෙස වාර්තා අතරට එක්වුණු වසන්ති චතුරාණි මෙසේ අප හා සතුට බෙදාගත්තාය.


“සංරක්ෂණය කරන ලද කලාත්මක චිත්‍රපට ප්‍රදර්ශනය කියන කැටගරිය උදෙසා තමයි Cannes සිනමා සම්මාන උලෙළේ ගැහැනු ළමයි චිත්‍රපටය සහ සත්‍යජිත් රායිගේ සිනමාපටයක් තෝරගෙන තිබුණේ. මේක ඩිජිටල් කරන්න භාර දීල තිබුණේ ප්‍රංශයේ හෙරිටේජ් ෆවුන්ඩේෂන් එකට. ඒකෙන් ඩිජිටල් කරලා තැන්පත් කරපු පිටපත තමයි Cannes සිනමා උලෙළේ ප්‍රදර්ශනය කළේ. Cannes සිනමා උලෙළ කියන්නේ ලෝකයේ ප්‍රධාන පෙළේ සිනමා සම්මාන උලෙළක්. ලෝකයේ දක්ෂතම අධ්‍යක්ෂවරු යටතේ තමයි එහිදී ඇගැයීමට ලක්වන්නේ. අපිව ඇගැයීමට ලක්කළේ ඔවුන්. ඔවුන් අපේ රටට විශාල ගෞරවයක් ලබාදුන්නා කියලයි මං හිතන්නේ.”


Cannes සිනමා උලෙළේ ප්‍රදර්ශනය වීමට තරම් සුමිත්‍රා පීරිස්ගේ ගැහැනු ළමයි සුදුසුකම් ලැබීමට හේතු වූයේ කාන්තාවක් වශයෙන් ඇය සතු අසීමිත දක්ෂතා නිසා බව පැවසූ ඇය අප අතරින් වියෝවුවද මෙය එම අසහාය කලාකාරිනියට පිදෙන තුති කුසුමක් බව ද පැවසුවාය.


“කාන්තාවකගේ පළමු සිනමා අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය වගේම ඒ හරහා නවකයින් හඳුන්වා දීම, ඔවුන් එම චරිත තුළ පිහිටුවා ඇය දැක්වූ නිර්මාණශීලිත්වය වගේම සංස්කරණ දක්ෂතාව, රූප රාමුවල ආකර්ෂණීයත්වය, නළු නිළියන්ගේ රංගනය හැසිරවීම වැනි සියලුම සාධක හේතු කරගෙන තමයි සුමිත්‍රා පීරිස් මහත්මිය මේ ඇගැයීමට ලක්වෙන්නේ. එහි සාමාජිකයින් විදිහට ඒ ඇගැයීමට සහභාගි වෙලා Cannes රතු පලස මතින් යන්න අපිත් වාසනාවන්ත වුණා. මෙතෙක් කාලෙකට කිසිම කලාකරුවෙකුට නොලැබුණු අවස්ථාවක් අපිට ලැබුණේ. මම, අජිත් ජිනදාස සහ ශ්‍යාමා ආනන්ද මේ ගෞරවයට පාත්‍ර වුණා. කලාකාරිනියක් විදිහට යන්න පුළුවන් ඉහළම තැනට ගියා කියන සතුට අද මා ළඟ තියෙනවා. තවත් විශේෂ කාරණයක් කිව යුතුමයි. මේ සිනමා උලෙළට සහභාගි වෙන්න පුළුවන් ආරාධිතයින්ට විතරයි. එදා මුළු ප්‍රේක්ෂකාගාරය සම්පූර්ණයෙන් පිරිලා තිබුණේ ප්‍රංශ ජනතාවගෙන්. සබ්ටයිට්ල් දැම්මේ ප්‍රංශ භාෂාවෙන්. චිත්‍රපටය බලලා ඉවර වෙලා විනාඩි පහළොවකටත් වැඩි කාලයක් ඔවුන් නොනවත්වා අත්පොළසන් දුන්නා. මට ඒක වචනවලට පෙරළන්න බැහැ. අපි යන්න ඕන තැනට ගිහින් කියලා හිතෙනවා. මට ලොකු ඕනකමක් තිබුණා කවදාහරි මේ රටට කීර්තියක්, ගෞරවයක් ගෙනත් දෙන්න. මම හරිම ආදරෙයි සුමිත්‍රා මහත්මියට වගේම ලෙස්ටර් මහත්මයාටත්. ඔවුන්ගෙන් මං ඉගෙන ගත්ත දේවල් බොහොමයි. මං හරිම වාසනාවන්තයි ඒ වගේ තැනකින් සිනමාවට එන්න ලැබුණු එක ගැන.”


ගැහැනු ළමයි සිනමාපටය හා බැඳුණු රසබර අතීතය සිහිපත් කරන්නත් ඇය අමතක කළේ නැහැ.


“ගැහැනු ළමයි සිනමාපටයට මට සම්බන්ධ වෙන්න ලැබෙන්නේ අහම්බෙන්. ගම්පහ සිරිකුරුස විද්‍යාලයට ඇවිත් පාසලෙන් අවසර අරන් තමයි මාව ගැහැනු ළමයි චිත්‍රපටයට තෝරගත්තේ. එතැන ළමයි ගොඩක් වටවෙලා හිටියා. පන්තියේ අන්තිම පේළියට වෙලා මං ඇය දිහාම බලාගෙන ඉද්දි ඇය ඈතට අතදික්කරලා මට කතා කළා. හවස ඇය මගේ ගෙදරටම ඇවිත් ආච්චිගෙනුත් අවසර ගත්තා.


පාසල් වේදිකාවට සම්බන්ධ වෙලා හිටියට චිත්‍රපටයක් කියන්නෙ මොකක්ද කියන එක එදා මං දැනන් හිටියේ නැහැ. පළමුවැනි දවසෙම මං බය වෙලා ඇඬුවා. එදා ඇය මගේ ෂූටින් නවත්තලා පාසලේ දර්ශන ටික ගත්තා. අජිත් ජිනදාස, ශ්‍යාමා ආනන්ද, දමයන්ති ජයසූරිය, නිමල් ආරියරත්න ඉස්කෝලේ හිටියා. ශ්‍යාමා ඒ කාලෙ ගොඩක් ජනප්‍රිය චරිතයක්. මං හරිම ආසයි ඇයට. මොහොතකටවත් එයා ජනප්‍රියයි කියලා නොහිතා ඇය මට උදවු කළා. ඇය වගේ කෙනෙක් මගේ හොඳම යෙහෙළිය වෙයි කියලා මං කවදාවත් හිතුවේ නැහැ. ඒ සම්බන්ධය අදටත් තියෙනවා. ඊට පස්සේ චිත්‍රපට රාශියකට සම්බන්ධ වෙලා සම්මාන ගරු බුහුමන් ලැබුවා. ඒ හැමදේටමත් වඩා පසුගියදා ලැබුණු කීර්තිය මට ගොඩක් වටිනවා. ඒක හැමෝටම ලැබෙන්නෙ නැති ඇගයීමක්.”


ගැහැනු ළමයි සිනමාපටයෙන් සිය රංගන දිවිය ඇරැඹි ඇය ගඟ අද්දර, ආදර හසුන, සුදු සෙවණැලි, පොරොන්දුව ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ වෑකන්ද වලව්ව ඇතුළු සිනමාපට රැසකට මෙන්ම සම්මානිත ටෙලි නිර්මාණ රැසකට ද සිය රංගන දායකත්වය එක්කළාය. කිහිප වරක්ම හොඳම සිනමා නිළිය මෙන්ම හොඳම ටෙලි නාට්‍ය නිළිය ලෙස ද ඇය සම්මානයෙන් පිදුම් ලැබුවාය.

gossiplanka image 1
Previous Post Next Post