
ආදරය දිව්‍යමය ආදරයක් බවට පරිවර්තනය වෙන්නේ එවන් කල්හි නොවේද? නිල්හාන් සෙනෙවිරත්න නම් ආදරණීය හදවතක් ඇති සොඳුරු හිතවතාණන් මාලිනියට ආදරය කළේ එහෙමය. අකලංක මිත්‍රත්වයේ සේයාවන් සදාකල්හිම විදාහල ඒ ආදරය ඒ බන්ධනය කොතෙක් මනරම්ද යත්, නිල්හාන් මාලිනියගේ අවසන් හුස්ම තෙක් පෑ කළණ මිත්‍රත්වය තැවරූ නොහිම් ස්නේහය කොතෙක් ගැඹුරු වීද යත්, නිල්හාන් කිසිදා ඇය අත් නොහැරියේය. සතුට සැප බෙදාගන්නට හිතවතුන් ඕනෑ තරම් හිඳින ලෝකයක දුක සුසුම වේදනාව රිදුම පිරිසිඳ ආත්මීය ආලයකින් සනසන්නට, සුවපත් කරන්නට ළඟ රැඳෙන ආදරණීයන් සුලබ නොවන යථාර්ථයක නිල්හාන් සෙනෙවිරත්න යනු මගේ ජීවිතයේ මා දැන හඳුනාගත් සුන්දරම සංවේදීම අමුතුම හදවතක හිමිකාරයෙකි. නිල්හාන් අතින් නිමැවෙන සුන්දර ඇඳුම් මෝස්තර තරම්ම අමුතු සුන්දර වර්ණවත් හදවතක අයිතිකාරයෙකි.
එන්න යන්න අතීතයට...
මාලිනිය ඔබට හමුවූයේ කවදා කොහොමදැයි අතීතයේ එක්තරා දවසක මා විමසූ දා නිල්හාන් දුන් උත්තරය මට මතකය.
ඒ ශ්වේත රාත්‍රිය බලන්නට සපැමිණි නිල්හාන්ට ශ්වේත රාත්‍රිය මඟහැරුණු දවසකි.
මට ශ්වේත රාත්‍රිය බලන්න නෑ මට දුකයි. ඉතින් මම මාලිනී ෆොන්සේකා බලන්න ගෙදර යනවා කියලා හිතාගෙන පයින්ම මාලිනී අක්කගේ ගෙදර ගියා. මම පඩිපෙළ නගිද්දි මාලිනී අක්කා මාව දැක්කා. ඒත් මම උඩට ගියාම එළියට ආවේ සෙනාලිගේ තාත්තා වෙච්ච මාලිනී අක්කගේ මල්ලි.
මම නුවර ඉඳන් ආවේ මාලිනී අක්කා බලන්න. මම ආසයි එයා බලන්න...
එයා වැඩක්නෙ දැන්...
මගේ ගාව ඔටෝ ග්‍රාෆ් එක තියෙනවා. මට ඒකෙ මාලිනී අක්කගේ අත්සනක් දාලා දෙන්න එහෙනම්.
එදා නිල්හාන්ගේ සමරු පොතේ අත්සන රැඳවූ මාලිනියට පසු කලෙක නිල්හාන් සෙනෙවිරත්න වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කළ්‍යාණ සුමිතුරකු වූ වග මම දනිමි.
එහෙම නේද?
අනේ ඔව්. තවත් සතුට කියන්නේ මගේ නෑදෑයෝ ඔක්කොම මාලිනී ෆොන්සේකාට හරි ආසයි. ඇත්තටම කීවොත් මම මාලිනී පිස්සා. මට කට්ටිය කියනවා යුද්ධය තියන කාලෙ මාලිනී කීවොත් නිල්හාන් යාපනයටත් යයි කියලා. මාලිනී අක්කාට පිළිකා රෝගය වැළඳිලා සැත්කමකට ඉන්දියාවට අරගෙන යද්දි මාලිනී අක්කා එක්ක මාත් ගියා. මම ඒ දවස් ටිකේ හැමදාම පාන්දර 4.00 ට නැගිටලා උදේ එයාව බලන්න ගියා. දොර අරිද්දි මම හැමදාම දොර ගාව. ඉන්දියාවෙදි මම මගේ කොණ්ඩය තට්ටෙ ගාලා මාලිනී අක්කා සුවපත් වෙන්න කියලා එයා වෙනුවෙන් බාරයක් වුණා. මගේ අක්කා කෙනෙක් එයාගේ අල්මාරියේ මාලිනී අක්කාගේ පින්තූර ගහලා තිබුණා. මම ඉතින් අක්කා අල්මාරියේ දොර අරිනකම් ආසාවෙන් බලාගෙන ඉන්නවා මාලිනී අක්කගේ පින්තූර බලන්න.
එදා මාලිනීගේ රුවටත් ආදරය කළ ඒ ආදරණීය රසිකයා දවස් ඇවෑමෙන් මාලිනීගේ ආදරණීයම කිට්ටුවන්ත මිත්‍රයකු බවට පත්වූයේ නිරායාසයෙනි. ඒ මතක පුරාණය මාලිනියත් සිනමාවේදයත් තරමට චමත්කාරවත්ය. මාලිනී දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන කාලයෙහි එක් දවසක් නෑර ඇය බලන්නට, ඇය අස රැඳෙන්නට යන්නට තරම් ඒ බැඳීමෙහි සීමාවන් අසීමාන්තික විය.
මාලිනී නැති කාලෙක මම ජීවත් වෙන්නෙ නෑ...
අතීතයේ දවසක එක්තරා පුවත්පතක නිල්හාන්ගේ සම්මුඛ සාකච්ඡාවක සිරස්තලයක් ලියැවුණේ එහෙමය. මාලිනිය නැති කාලෙක මම ජීවත් වෙන්නෙ නෑ යැයි පවසන්නට තරම් ඒ බැඳීමෙහි ඇරඹුම සංසාර චාරිකාවේ කවර වීදි තෙක් නොදන්නා සංසාර අතීතයකට යා වන්නේදැයි කියන්නට මම මේ මොහොතේත් නොදන්නෙමි.
යළි නොහැරවෙන, යළි කතා නොකරන මාලිනියගේ උවන දුටු මොහොතේ නිල්හාන් දෑතින් මූණ වසාගෙන හැඬූ හැටි මට මතකය.
නිල්හාන් චිතකයට ගිනි දැල්වෙද්දී හිතට ගිනි දැල්වුණේ කොහොමද? ඒ වග මට නොඅසා බැරිය.
එදා චිතකය දැවෙද්දී මට පුදුම රිදුමක් වේදනාවක් දැනුණා. මම හොඳටම ඇඬුවා. එදා වැස්ස... පුදුම හිස් බවක් පාළුවක් එක්ක මම ඒ චිතකය දිහා බලාගෙන හිටියා.
මාලිනිය... ඔබ හැමදාමත් ස්නේහයෙන් ආමන්ත්‍රණය කළ විදිහට මාලිනී අක්කා අද හුස්මක් වැටෙන තැනක නෑ කියන එක දැන් හිතට දැනෙනවද?
නැහැ... මාලිනී අක්කා නෑ කියලා මට හිතෙන්නෙ නෑ. දැනෙන්නෙ නෑ. ඒත් මාලිනී අක්කා රෝහලේ ඉද්දි මම හැමදාම බලන්න ගියා. උදේ ගිහින් රෑ වෙනතුරු හිටියා. අක්කේ අක්කේ කියලා මම මාලිනී අක්කගේ අත අල්ලගෙන කතා කළා. වේදනාවෙන් ඉන්න මොහොතක වුවත් ඒ හඬට ඇය හරිම සංවේදී ප්‍රතිචාර දැක්වූවා. දැන් මට හැමදාම උදේට මාලිනී අක්කා බලන්න යන්න නෑ නේද දැනෙද්දි කියන්න බැරි මොකක්දෝ රිදුමක් දැනෙනවා. ඒත් ජීවිතය කියන්නෙ හමුවීම් සහ වෙන්වීම් තමයි... ඒකත් මම දන්නවා. අනේ මන්දා මාලිනී අක්කා මේ ලෝකයේ නැහැ කියන එකනම් මට දැනෙන්නෙ නෑ.
සසර ඉම තෙක් යා වෙතැයි හැඟෙන දැනෙන සසර යාත්‍රික ආදරවේදයන්හි වර්ණය එසේමය. හැර ගියත් හැර නොයන බන්ධනයන්හි සොඳුරුතා එසේමය.
මාලිනිය හා ගෙවූ අන්තිම දවස්වල මතකයන් දැනෙන්නෙ කොහොමද නිල්හාන්?
අක්කා සමහර දවසට එයා කන්න ආසා දේවල් මගෙන් ඉල්ලුවා. දවසක් කීවා නිල්හාන් මට මස්කට් කන්න ආසයි කියලා. මම අක්කට මස්කට් ගිහින් දුන්නා. එයා හරියට ලෙමන් ඉල්ලුවා. අක්කා ඉල්ලන සමහර කෑම අක්කට ගුණදායක වුණේ නෑ. ඉතින් එහෙම තැන්වලදි අපි හුඟාක් පරිස්සම් වුණා. නවලෝක ඔඩිටෝරියම් එකේ පැවැත්වුණු අක්කගේ අන්තිම උපන්දින සාදයට මට ඇරියුම් ලැබුණත් මම ඒ උපන්දින සාදයට ගියේ නෑ.
ඇයි නොගියේ නිල්හාන්?
අතිශය පෞද්ගලික හේතුවක් නිසා මම ගියේ නෑ.
මාලිනී අක්කා ඇහුවද ඔයාගෙන් ඇයි ආවේ නැත්තේ කියලා?
ඊට පහුවදා මම අක්කා බලන්න ගියා. ඒත් අක්කා මගෙන් ඇයි ආවේ නැත්තෙ කියලා ඇහුවෙ නෑ. මම ඒ ගැන කතා කළෙත් නෑ.
අන්තිම දවස්වල මාලිනිය හා ගෙවූ කාලයේ ඇය ඔබ හා කියූ දේවල්, ඔබෙන් කළ ඉල්ලීම් මොනවද නිල්හාන්?
සමහර වෙලාවට අක්කා හරි වේදනාවෙන් ඉන්නවා. ඉතින් ඒ වේදනාව මට දැනෙනවා. මම හෙමින් අත අල්ලාගෙන අක්කේ අක්කේ කියලා කතා කරනවා. මාලිනී අක්කා හරිම ධෛර්යවන්තයි. මරණය කියන වචනය අක්කා කවදාවත් කීවේ නෑ. මරණය ගැන කතා කළේ නෑ. එයා හැමදාම හැම දවසක්ම අලුත් හුස්මක් එක්ක පිළිගත්ත කෙනෙක්. එයාට දැනෙන වේදනාවන් ගැන කතා කළේ නෑ. ඒත් හුඟක් බට දාද්දි ඒ දැනෙන වේදනාවන් නිසා මට තවත් බෑ අමාරුයි දැන් මේ ඇති කියලා කියපු වෙලාවල් තිබුණා. මෙහෙම දෙයක් තිබුණා. රිදුණොත් බයයි ලැජ්ජයි කියලා නිහඬව හිටියේ නෑ... කෑ ගහනවා. අන්තිම කාලේ අක්කගේ කටහඬ ස්වරය ටිකක් අපැහැදිලි වුණා. හැබැයි මේ සියල්ල මැද එයා කවදාවත් ජීවිතය අත්හැරියේ නෑ.
ඉස්පිරිතාලේ ඉද්දි පරණ කතාන්දර අක්කා මාත් එක්ක හරියට කීවා. චිත්‍රපට රඟපාද්දි වෙච්ච අතීත සිද්ධි කීවා. හරි රසවත්ව කතාන්දර වගේ තමා සතුටින් අක්කා ඒවා කීවේ. දවසක් පොඩි ළමයෙක් වගේ හරි ආසාවෙන් අක්කා මාත් එක්ක කීවා නිල්හාන් මට කතරගම යන්න ආසයි කියලා. රුවන්වැලි සෑයේ යන්න පුළුවන් වෙයිද ඇහුවා. අක්කා එහෙම අහද්දි මට හුඟාක් දුක හිතුණා. අනේ එක්ක යන්න පුළුවන්නම් හිතුණා. ඒත් ඒ වෙද්දි ඒ ගමන් යන්න තරම් අක්කා සුවතාවකින් නොහිටි බව මට දැනිලා තිබුණේ.
මම පුංචි කාලයේ ඉඳන්ම මාලිනී අක්කට හරිම ආදරෙයි. ඇත්තටම ඒ බැඳීම කොයිතරම් සහෝදරාත්මකද, ගැඹුරුද කියන්න මම නිර්වචනය කරන්න දන්නෙ නැහැ. ඒත් ඒ බැඳීම කොයිතරම් නම් දෛවෝපගත බැඳීමක්ද කියලා මට දැනෙනවා. මට හිතෙනවා. මොකද, මාලිනී අක්කාගේ අන්තිම හුස්ම ටික යන්න ඉස්සර පැය කිහිපයකට පෙර එයාව අන්තිමට දැකපු කෙනා මම. ආදරය කියන්නෙ මම විශ්වාස කරන විදිහට ආපිට කිසිම දෙයක් බලාපොරොත්තු නොවී ආදරය කරන එකට. මම මාලිනී අක්කට ආදරය කළේ එහෙම.
ඇය ඔබට දැක්වූ ආදරයේ ආදරණීයම මතක ප්‍රකාශනය මොකක්ද කියලා ඇහුවොත් මොකක්ද නිල්හාන් ඔයා මට දෙන උත්තරය?
මාලිනී අක්කා මගේ අත අල්ලගෙන මට තැන්ක් යූ කීවා. මට වගේම සංගීටත් (සංගීතා වීරරත්න) අක්කා එහෙම තැන්ක් යූ කීවා. දවසක් අක්කගේ ඔළුව අතගාද්දි අත අල්ලාගෙන ඉද්දි මම අක්කෙ අක්කේ කියලා හෙමින් කතා කරද්දි මගේ අත තද කරගෙන අක්කා මොකක් හරි කියන්න හැදුවා. ඒත් වචන පිටවුණේ නෑ. මාලිනී අක්කා යශෝ (යශෝධා විමලධර්ම) අතින් කියලා තිබුණා නිල්හාන් මට මගේම දරුවෙක් වගේ... මගේ දරුවෙක් තරම් ආදරයෙන් නිල්හාන් මාව බලාගත්තා කියලා. ඒ වචනවලට මම මේ මොහොතේත් ආදරෙයි. ඇත්තටම මාලිනී අක්කා කී ඒ වචන ටිකට මම මගේ ජීවිතයට තරම් ආදරෙයි. මම නැවත නැවත අක්කා මට කියපු ඒ වචන, ඒ වචන අස්සේ ගුලිවෙලා තිබුණු ආදරය අහන්න ආසා නිසා මම යශෝගෙන් දෙතුන් වතාවක් ඒ ගැන ඇහුවා... මොනවද යශෝ අක්කා මා ගැන කීවේ කියලා.
ජීවිතය දැනෙන්නෙම ආදරය ඇති තැනක... එය එසේමය.
නිල්හාන්... මාලිනී ෆොන්සේකාව නිර්වචනය ෙවන්නෙ නිළි රැජන විදිහට. ඔබටත් ඇය රැජනක්ද?
මට ඇය දැනෙන්නේ මාලිනී අක්කා විදිහට. ඉන් එහා මට නිර්වචන නෑ. ඒත් ඇය මට අසමානයි.
ඇය ආසා වුණාද අන්තිම කාලයේ ඇය ගැන අගේ රසිකයන් දක්වන ප්‍රතිචාර ගැන අහන්න?
අක්කා නිදි කියලා දැනගෙනත් මම අක්කා ගාව හිටපු දවස් තිබුණා. මම දවසක් කීවා අක්කේ රහස් කුමන්ත්‍රණය කියන චිත්‍රපටය වෙනුවෙන් කෙනෙක් කමෙන්ට් කරලා තියෙනවා... මාලිනී ෆොන්සේකා ආත්ම ගාණකට කලින් ඉන්දියාවේ නිළියක් වෙන්න ඇති කියලා. අක්කට හරි සතුටුයි. කෝ කෝ මට පෙන්වන්න ඒවා කියනවා.
උදේ පාන්දර නැගිටලා අක්කාගේ සිරුර මත දවටන්න මල්මාල ගොතාගෙන අඬා වැලපෙමින් ආව මිනිස් කන්දරාව මාලිනිය නම් රාජිනියට සිනමාලෝලී ආදරවන්තයන් කොතෙක් ආදරය කළා දැයි නිහඬ සාක්ෂි සපයාලීය.
අපේ ජීවිත කාලය තුළ මේ තරම් සෙනඟක් ආව, මේ තරම් මිනිසුන් අඬා වැලපුණු අවමඟුලක් ආය දකින්න වෙන්නෙ නෑ. මම තේරුම් ගත්ත දේ තමා ඒ... ඒ වචන නිල්හාන්ගේය.
ඇත්තටම මට හිතෙනවා මම ලොකු පිනක් කළා කියලා මිනිසුන් මෙච්චර ආදරය කරපු ඇයගේ ලෝකයේ ලොකු ඉඩක ආදරණීයම මිත්‍රයෙක් වෙලා ඉන්න... ඒ නිල්හාන්ගේම වචනය.
නවලෝක රෝහල් සමූහයේ සභාපති සහ සිනෙස්ටාර් පදනමේ සභාපති ජයන්ත ධර්මදාස මහතා මෙන්ම Dialysis unit හි හෙද සොයුරිය එස්.කේ. පල්ලියගුරුගේ, හෙද නිලධාරිනී නිශාදි සමරතුංග, චාන්දනී හේවාතන්ත්‍රී මෙන්ම රියැදුරු උපාලි ඇතුළු බොහෝ දෙනා මාලිනිය වෙනුවෙන් කළ උත්තම සත්කාරය නිල්හාන් හදවතින්ම ඇගැයුවේය.
මාලිනී අක්කා වෙනුවෙන් ඇත්තටම කැපවීම් කළ, ඇය බලාගත්ත, ඇය අත්නොහැරි අය කවුද කියලා තමන්ගේ හෘද සාක්ෂිය දන්නවා ඇති. එක නමක් හෝ මඟහැරුණොත් එය මගේ වරදක්. ඒ නිසා මම තවත් නම් නොකියා ඉන්නම්. ඒත් ඒ හැමෝටම හදවතින්ම ස්තූතියි.
නිල්හාන් ඇය මේ ලෝකයේ ජීවත් වූ අවසන් දවසේ ඔබ සතු අවසන් මතකය දිගේ දැන් අපි ඇවිද යමු.
එදා සිකුරාදා උදේ මම කෝවිලට ගියා. ඒ වෙද්දි අක්කට හොඳටම අමාරුයි කියලා මම දැනගෙන හිටියා. මම එදා මම විශ්වාස කරන මගේ කතරගම දෙවියන්ගෙන් ඉල්ලුවා අක්කාට සුවදායී වන යහපත් වන, අක්කාට සැනසීමක් වන තීරණයක් දෙවියනි ඔබ ඇය වෙනුවෙන් දෙන්න කියලා. මම කෝවිලේ ඉඳන් කෙළින්ම ගියේ රෝහලට. එදා රෑ වෙනතුරු මම රෝහලේ හිටියා. එතකොට බලන්න ආව හැමෝම වගේ ගිහින්. ප්‍රතිකාරවලින් පසු මම ළඟට ගියා. අක්කෙ අක්කෙ කියලා කතා කළා. අක්කා නිසොල්මන්. කිසිම ප්‍රතිචාරයක් ලැබුණෙ නෑ. එදා ගෙදර ආවට මට නින්ද ගියේ නෑ. අපේ හිතවතියක් වුණු පවිත්‍රා මහ රෑ මට කතා කළා. නිල්හාන් අක්කා නැතිවුණා කීවා.
ඉන් එහා නිල්හාන්ගෙන් මම කිසිවක්ම නොඅසමි... ජීවිතයට පසුවදන් මිස පෙරවදන් ලියනු කෙලෙසකදැයි මම තවමත් සිතමින් සිටිමි.
පුංචි බබාගෙන් ඉපදී ආකාස කුසුම තෙක් පිපුණු සදාකාලික මලක් වූ කුසුමාවියේ... අහස තෙක් විහිද ගිය අනන්ත ආදරයක් විඳි... එහෙත් අවසන් හුස්ම තෙක් ආදරයම සෙවූ ආදරියේ... රාජිනියේ... ඔබ පැතූ ජීවිතයක් වෙත්නම් එයම මුණගැසේවා...
• සංජීවිකා සමරතුංග
