
ගොඩක් සතුටෙන් ජීවත් වෙනවා. විවාහයෙන් පස්සෙ මම හිටියට වඩා සතුටෙන් ඉන්න බව මට දැනෙනවා. මගේ යාළුවොත් එහෙම කියනවා. ඒකට ප්‍රධාන හේතුව ලෙස මා දකින්නේ මම විවාහ වෙන්නෙ මාව තේරුම් ගත්ත මගේ සතුට ගැන හිතන කෙනෙක් වීම. ඔහු ගොඩාක් ආදරයෙන් මාව බලා රැක බලා ගන්නවා.
විවාහය කිසිම වෙලාවක වදයක් නොවුණු බව අමන්දා කියනවා. හැම වෙලේම විවාහය තුළ හරිම සතුටින්. ඒකට හේතුව ලෙස ඇය දකින්නේ එකිනෙකා තේරුම් ගැනීම. ඩයස් කියන්නේ තමාව බිරිඳක් හැටියට ගෙදර හිර නොකර ගෙන සැමියෙක් ලෙස ඇයට උදව් කරන හොඳ ගතිගුණවලින් හෙබි කෙනෙක් බවයි.
විවාහ වුණා කියලා මම ගෙදර වැඩ කරන්න ඕන කෑම උයන්න ඕන කියල දෙයක් අපි දෙන්නගෙ ජීවිතේ නැහැ. ඩයස් විවාහයට පෙර තනියම කෑම බීම හදාගත්ත කෙනෙක්. ඒ නිසා එයාට හොඳට උයන්න පුළුවන්. ඒ වගේම මටත් හොඳට උයන්න පුළුවන් නිසා කිසිම ප්‍රශ්නයක් නැහැ. මම ගෙදර අස් කළත් කෑමක් බීමක් හැදුවත් එයා ඒක බොහොම අගය කරනවා. මමත් එහෙමයි. මේ දේවල් නිසා අපේ ආදරය සතුට තවත් වැඩිවෙනවා. දෙදෙනා බෙදාගෙන වැඩ කිරීම තුළ ජීවිතය සාර්ථක වෙනවා කියලා විශ්වාස කදරනවා. ඒ වගේම විශ්වාසය මම අත්විඳිනවා.
අමන්දාට ඩයස්ව මුලින්ම මුණ ගැහුණ ඒ අතීතයට ඇය අපව ගෙන ගියා. ඒකත් හරි ලස්සන කතාවක්.
ටීවී දෙරණ පැවැත් වූ ‘‘තාත්වික’’ කියන වැඩසටහනේදි තමයි මම මුලින්ම එයාව දැක්කෙ. එයා හමුවුණ පළමු අවස්ථාවෙම එයා මට ගැළපෙනව කියල මට මුලින්ම හිතුණෙ. ඒ හැඟීම තමා අවසානයේ විවාහයක් දක්වා කෙළවර වුණේ. මට ඩයස්ගේ බාහිර දේවල් ගැන කිසිම හැඟීමක් තිබුණේ නැහැ. හදවතින්ම ඔහු මගේම හැඟීම විතරයි ඇති වුණේ. ශ්‍රී ලංකා පොලිසියෙ ක්‍රීඩා අංශයේ කායවර්ධන ක්ෂ්ත්‍රයේයි ඔහු වැඩ කළේ. කොහොම හරි අපි හොඳට ගැළපුණා. කවදාවත් මම හිතල තිබුණෙ නෑ පොලිස් ක්ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක් මගේ සැමියා වෙයි කියලා. නමුත් හැමදේම හොඳ විදියට සිදුවුණා කියල මම හිතනවා.
විවාහයෙන් පස්සෙ අමන්දා ව්‍යාපාර පැත්තටත් යොමුවෙලා කියලත් අපට ආරංචි වුණා. ඇගේ ව්‍යාපාරය ගැන ඇය කතා කරන්නෙ ආඩම්බරයෙන්.
අපි දෙන්නම එකතුවෙලා ඇඳුම් ව්‍යාපාරයක් පටන් ගත්තා. ‘‘ඩ්‍රීම්ස් බයි අමන්දා’’ කියල. මම නිරූපණයට ඇවිත් අවුරුදු 16 ක් වෙනවා. ඒ නිසා මට ඇඳුම් ගැන හොඳ අවබෝධයක් තියෙනව. මම තමයි ඇඳුම් නිර්මාණය කරන්නෙ. ඒවා නිරූපණය කරන්නෙත් මමමයි. අනාගතයේ කාන්තා පිරිමි දෙපාර්ශ්වයම වෙනුවෙන් අපේ ව්‍යාපාරය හරහා ඇඳුම් ඉදිරිපත් කරන්න අදහසක් තියෙනවා.
බොහෝ දෙනෙක් අමන්දා රඟපෑමෙන් ඈත් වෙලා ද ඉන්නෙ කියලා කියනවා. ඇත්තටම අමන්දා කියන්නේ දක්ෂ රංගන ශිල්පිනියක්. මේ කතාව අහන්න හොඳම කෙනාත් අමන්දා නිසා අපි ඇගෙන් උත්තරයක් බලාපොරොත්තු වුණා.
එහෙම නැහැ. මට කරන්න පුළුවන් ලස්සන නිර්මාණයකට ඇරයුමක් ලැබුණොත් අනිවාර්යයෙන්ම කරනව. පහුගිය දවස්වල පුබුදු චතුරංග හා මම ප්‍රධාන චරිත නිරූපණය කළ ලස්සන සිනමා නිර්මාණයකට සම්බන්ධ වුණා. ඒක පූජිත ගුණතිලකගේ අධ්‍යක්ෂණයක්. ඔබ මගෙන් ඇහුව්ව මම රඟපෑමෙන් ඉවත් වුණාද කියන ප්‍රශ්නයටත් උත්තරයක් මා ළඟ තියෙනවා. මට ගොඩක් වෙලාවට ඇරයුම් ලැබෙන්නෙ මට කරන්න අපහසු චරිතවලට. මම මගේ සිරුරට ගැළපෙන නිරූපණ ශිල්පිනියක් විදිහට විවිධ විලාසිතා කරන නිසා සමහරු හිතන්නෙ මම සිප ගැනීම් දර්ශන වැනි දර්ශන ඇතුළත් චරිත කරයි කියලා. නමුත් පුද්ගලිකව මම එවැනි දර්ශන රඟපාන්න කැමැති නැහැ. ඒ නිසා මට ලැබෙන බොහෝ ඇරයුම් ප්‍රතික්ෂේප කරන්න වෙනව. නමුත් මට ගැලපෙන චරිතයක් ලැබුණොත් රඟපාන්න කැමතියි. ඒ නිසා පිටින් මා දිහා බලලා කෙනෙක් චරිතයක් මට ලබාදෙනව නම් ඒක සාධාරණයි කියලා මා හිතන්නෙ නැහැ. මොකද මගේ විදියක් තියෙනවා. නිරූපිකාවක් හැටියට ක්ෂේත්‍රයේ මම කරන වෘත්තිය සිනමාව තුළ කරන්න කැමති නැහැ. ඒ නිසා මගේ වෘත්තිය තේරුම් ගන්න කියලා බොහොම ආදරයෙන් කියනවා.
නිරූපණ ශිල්පිනියක් වෙන්න හීන දැකපු නිසා රංගනයට වඩා හැම මොහොතකම නිරූපණයට මුල්තැනක් දෙන්න අමන්දා කැමැතියි. ඒ ඇය මුලින්ම පිවිසෙන්නේ නිරූපණ ක්ෂේත්‍රයට නිසා. නිරූපනයේ ඇගේ ගමන් මගේ මතක සටහන් කීපයක් තාමත් ඇගේ හිතේ සටහන් වෙලා තියෙනවා.
මම චූටි කාලෙ ගොඩක් ලස්සන නැහැ කියලයි මම හිතුවෙ. මගේ සිහින් දිගු සිරුර නිසා පන්තියෙ ළමයි මට විහිළු කරනවා. ඒ නිසා මම ගෙදර ඇවිත් ඉස්කෝලෙ යන්න බැහැ කියල අඬපු අවස්ථා ගොඩක් තිබුණා. මම ක්‍රමයෙන් තරුණ වියට පිවිසෙද්දී මම දැක්කා නිරූපණ ශිල්පිනියන්ගෙ පෙනුම මගේ සිරුරේ හැඩතලවලට සමානයි කියල. ඒ කාලෙ වෙන්නැති මමත් නිරූපණයට එනව කියල හීනයක් හිතේ ඇති වුණේ. ඒ ආශාව මට නිරූපණ ශිල්පිනියක් වෙන්න මට හේතුවුණා. අනෙක් අය මම කැතයි කියල කියන කොට ඒකට ලස්සන උත්තරයක් දෙන්න ඕන වුණා. මගේ උසින් ප්‍රයෝජන ගන්න ඕන වුණා. මේ හැම දේම සැකසිලා තියෙන්නේ නිරූපණයට කියලා මට තේරුණා. ඒනිසා නිරූපණ ශිල්පිනියක් හැටියට ක්ෂේත්‍රයට පය තිබ්බා. අදටත් ඒ නිරූපණි ශිල්පිනියට මම හරි ආදරෙයි.
වැඩිපුර රූපවාහිනි වැඩසටහන්වලට සහභාගි නොවීමත් අමන්දාගේ ජීවිතයේ කලාවක් වෙලා තිබෙනවා.
මම ගොඩක් වෙලාවට කතා කරන්න සිද්ධ වෙන ටීවී වැඩසටහන්වලට යන්නෙ නැහැ. එහෙම පිරිසක් ඉදිරියේ කතා කරන්න මට අපහසුයි. ඉතින් ගොඩක් අය හිතන්නෙ මම නපුරු, ආඩම්බරකාරියක් කියල. නමුත් මට යූටියුබ් චැනල් එකෙන් දකින අය මාව හඳුනාගෙන මට කමෙන්ට් කරනව. මම එයාල හිතන් ඉන්න විදියේ ආඩම්බර කෙනෙක් නෙවෙයි කියල දැන් එයාලා පිළිගන්නවා. මම කැමැති මහ පොලොව් පය ගහලා ඉන්න. මම හරිම සරල විදියට ජීවත්වෙන්නෙ. සාමාන්‍ය තැනකට ගිහිල්ලා කෑම බීම කන්න. ඇඳුමක් තෝරල අඳින්න මම දෙපාරක් හිතන්නෙ නෑ. ඒ වගේම නිරූපිකාවක් හැටියට උසස් ආකාරයට මාව නඩත්තු කරන්නත් මම කැමතියි. සාමාන්‍ය ඇඳුම් අඳිනව වගේම අවශ්‍යතාවය අනුව බ්‍රෑන්ඩඩ් ඇඳුම් තෝර ගන්න වෙලාවල් තියෙනවා. ඒ වගේම ඉහළ තැන් නියෝජනය කරන්න සිදුවෙනවා. හැබැයි ඒ මගේ වෘත්තිය. නමුත් සාමාන්‍ය ජීවිතයේ අමන්දා කියන්නේ මේ සෑම දේකටම හුරු සරල කෙල්ලෙක්. ඒක මගේ ළඟින්ම ඉන්න අය දන්නවා.
ඩයස්ගෙ පවුලේ අය එක්ක බොහොම ළෙන්ගතු බැඳීමක් ඇති කරගන්න අමන්දාට පුළුවන් වෙලා තියෙනවා. ඒ නිසාම ඇයට ඩයස්ගෙ ගෙදර හොඳම ලේලිය වෙන්නත් වරම් ලැබිලා. ඒ ලැබෙන ආදරයටත් අමන්දා හරි ලෝබයි.
ඩයස්ගෙ ගම ගාල්ලෙ එයාගෙ අම්මයි තාත්තයි, නංගියි ඉන්නෙ ගමේ. එයාල එක්ක මම ඉන්නෙ පොඩි ළමයෙක් වගේ සැහැල්ලුවෙන්. ඩයස්ගෙ පව්ලෙ අය මට හරි ආදරෙයි. මගේ රඟපෑම් ගැන මම එයාල එක්ක කතා කරන්නෙ නැහැ. මම ඕන එයාලගෙ දුව විදියට සහෝදරිය විදිහට ආදරය අත් විඳින්න. ඒ ආදරය උපරිමයෙන් ඩයස්ගෙ ගෙදරින් ලැබෙනවා. ඒත් ඩයස්ගෙ නංගි කියනව අම්මයි තාත්තයි මාව ටීවී එකේ දකිත්දි හරියට සතුටු වෙනව කියල. ඒකත් මට ලොකු සතුටක්.
හැඩ වැඩ ඇති සිහින් සිරුරක් පවත්වාගෙන යන්න අමන්දා මොකක්ද කරන්නේ කියලා දැනගන්න හැමෝම කැමැති ඇති කියා අප සිතනවා. අවසාන වශයෙන් අපි ඒ ප්‍රශ්නය ඇයට ඉදිරිපත් කළා.
මට තියන්නෙ සිහින් සිරුරක් ම තමයි. ඒත් වයසත් එක්ක මගේ සිරුර දැන් මහත් වෙන්න බලනව. මගේ සිරුර මහත් වුණාම කැතයි. මොකද වෘත්තීය වශයෙන් මම නිරූපිකාවක් නිසා සිහින් සිරුර මට ආශීර්වාදයක්. ඒ නිසා මම දැන් කෑම පාලනය කරනව. ඩයස් ආදරේ නිසා මම ආස කෑම වර්ග ගෙනත් දෙනවා. පසුගිය ටිකේ මහත් වෙන්න ඇත්තේ ඒ නිසා වෙන්න ඇති. ඒත් දැන් එයා කියනවා ඔයා පැණි රස එහෙම වැඩිය කන්න එපා කියලා. ඔයාගේ සිරුරේ හැඩය තියා ගත්තෙ නැත්නම් මොඩල් කෙනෙක් විදියට ඔයාට තියෙන ඉල්ලුම අඩුවෙන්න පුළුවන් කියල. ඒ නිසා දැන්නම් මහත් නොවී ඉන්න මම කෑම පාලනය කරනව. ව්‍යායාම කරනවා. ඒ වගේම මගේ මහත්තයා මාව තේරුම් අරගෙන ලබාදෙන සහයෝගයත් මගෙ ජීවිතයට හරිම වටිනවා.
