අපේකම අතහැරපු කිසිකෙනෙක් විනාශ වුණා මිස දියුණු වුණේ නැහැ -සංඛ වීරසිංහ

gossiplanka image 1
මේ දිනවල ජාතික රූපවාහිනියේ විකාශය වන ‘මුරුගසන් වරුසාව’ අපූර්වත්වය රැඳි ප්‍රේක්ෂකයා ආදරයෙන් වැලඳගත් ටෙලි නිර්මාණයකි. හෙළ වෙදකම, යන්ත්‍ර මන්ත්‍ර සාස්තරය වැනි අභාවයට යමින් පවතින අපේ දේ රැකගෙන එය ඉදිරියට ගෙන යා යුත්තේ කෙසේද යන්න තේමා කරගනිමින් සාමාන්‍ය ටෙලි රටාවෙන් ඔබ්බට යමින් නිමවූවකි. සිය කුලුඳුල් ටෙලි අධ්‍යක්ෂණය පිළිබඳව සංඛ වීරසිංහ අප හා පැවසුවේ මෙවන් අදහසකි.


“ස්වාභාවික සුන්දරත්වය අතහැරලා, සොබාදහම අතහැරලා විද්‍යාව දියුණුයි කියලා හිතාගෙන අපි ඒකත් එක්ක ඉස්සරහට ආවට ඇත්තටම අපි තාමත් දියුණු නැති ජාතියක් කියලයි මට හිතෙන්නේ. දියුණුයි කියලා හිතාගත්ත ඒ වගේ මනුස්සයෙක් නිසා විනාශ වෙන්න ගිය අතිදුෂ්කර ගම්මානෙක ජීවත් වුණු මිනිස්සු කොට්ඨාසයක් ගැන තමයි මුරුගසන් වරුසාවෙන් කතා වෙන්නේ. දැනට අභාවයට යමින් පවතින අපේ හෙළ වෙදකම වුණත් ඉස්සරහට ගෙනියන්න නම් තාක්ෂණයත් මුසු විය යුතුයි කියන තැනයි මං ඉන්නේ.


මේ හැමදේම සිද්ධ වෙන්නේ හැත්තෑව දශකයේ. මං ඉපදෙන්නේ අසූව දශකයේ කුරුණෑගලදී. මං ඒ අතීතය දැකලවත් නෑ. ඒ කාලෙ පාවිච්චි කළේ මොනවද? ඒවා හොයාගන්නෙ කොහොමද? ඇඳුම් කොහොමද? භාෂාව මොන වගේද මේ සියල්ලම මට ලොකු අභියෝගයක් වුණා. මං හැමදේම හොයාගත්තේ පොතපතේ දැනුමෙන්. 2016 ඉඳන් 2020 විතර වෙනකල් මං මේ ගැන අධ්‍යයනය කළා“ යැයි ඔහු පැවසුවේ ද බැරෑරුම් අභියෝගයක් ජය ගැනීමේ සතුට භුක්ති විඳින අතරේය.


වැළලී යමින් පවතින අතීතයට පණ දෙන්නට වෙර දරන සංඛගේ මේ අපූරු වෑයම දැනුමෙන් පෝෂිත අනාගත පරපුරක් බිහිකිරීමක් උදෙසා නොවේද? හෙළ වෙදකම ගැන ඔහුට ඇත්තේ ද අපූරු අදහසකි.


“මේක මට හිතුණ දෙයක්. ඒ අදහස තිරපිටපතක් බවට පත්කළේ මායාදුන්න බණ්ඩාර. ඔහු ඒ යුගයේ අත්දැකීම් ලබපු කෙනෙක් වීම මට පහසුවක් වුණා. ගුප්ත විද්‍යාවේ තියෙන යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ගැන අද විශ්වාසයක් නැති වුණත් මට ඒක ගැන හොයන්නම ඕන වුණා. ඒක ඇත්තක් කියලා මිනිස්සුන්ට දැනෙන්න ඕන කියන තැන ඉඳන් තමයි මං කොණ්ඩදෙණිය හාමුදුරුවෝ මුණ ගැහෙන්න යන්නේ. අනුරාධපුර රතන විභූති හාමුදුරුවොත් එක්ක කතා කරන්නේ. සියලු තොරතුරු මං එකතු කරනවා. හොයාගෙන යද්දි ඒ කාලෙ යන්ත්‍ර මන්ත්‍ර සාත්තරය හරියටම හරි. නමුත් අද ඉන්න කිසිකෙනෙක් ඒ සාස්තරය දන්නෙ නැහැ. පුස්කොළ පොතක් කියවගන්න බැහැ. තමන්ගේ බඩවියත රැකගන්න බොරු කරනවා විතරයි.


ආයුර්වේදය කියන්නේ අපට ඉන්දියාවෙන් ලැබුණු දෙයක්. අපි මේකෙ කතා වෙන්නේ ගොඩ වෙදකම ගැන. සොබාදහම එහෙම නැත්නම් අපේකම අතහැරපු කිසිකෙනෙක් දියුණු වුණේ නැහැ. විනාශ වුණා විතරයි. මේ වෙද්දි ඒක ඔප්පු වෙලත් තියෙනවා. අපේ පැරැණි දේවල්වල වටිනාකම අපිම දන්නෙ නෑ. අද ලෙඩක් හැදුණම වුණත් ඉංග්‍රීසි බෙහෙත් කරලා කරලා බැරිම තැන තමයි සිංහල වෙදකමක්වත් කරල බලමු කියන තැනට එන්නේ. එතනයි වැදගත්. ඒත් ඒක හරියටම දැනගෙන කරන්න ඕන. කසාය ගත්තොත්, අද කාලේ කසාය තම්බන්න කවුරුත් දන්නෙ නෑ. පත අට එකට සිඳුවා කිව්වට පත කියන එක දන්නෙත් නෑ. කලං කිව්වට දන්නෙත් නෑ. ආර්ථිකයත් එක්ක කසාය තම්බන්න කාලයත් නැහැ. මෙතැනදි මම කියන්න උත්සාහ කරන්නේ අපේ දේවල් ඉස්සරහට ගෙනියන්න නම් තාක්ෂණයත් එකතු කරගත යුතුයි කියලා. මේ කසාය ටැබ්ලට් එකක් විදිහට හරි පොඩි සෂී පැකට් එකක් විදිහට හරි දෙන්න තිබුණ නම් අපේ මිනිස්සු නොබී ඉඳීද? බෑග් එකේ දාගෙන ගිහින් හරි බොන්නෙ නැද්ද? හැබැයි මෙතනදි විශ්වාසය කියන එකත් තියෙන්නම ඕන. අන්න ඒ තැනට එන්න ඕන කියන එක තමයි මං කියන්නේ.“


නිර්මාණය සාර්ථක කරගන්න ඇප කැප වුණු සියල්ලන්ම සිහිපත් කළ සංඛ නිර්ලෝභීව ඔවුන්ට ස්තුතිය පළ කරන්නත් අමතක කළේ නැහැ.


“හැම කෙනෙක් ගැනම හොයලා, ගොඩක් කතාබහ කරලා මේක ගැන විශ්වාසයක් තියෙනවද කියලත් බලලා තමයි චරිතවලට තෝරගත්තේ. සමහරුන්ට ඒ කාලේ අත්දැකීම් තිබුණා. ඔවුන් ඒවා බෙදා ගත්තා. මං අත්විඳපු නැති දෙයක් අත්විඳපු අය එක්ක බෙදා ගන්නවා කියන්නෙම ලොකු අභියෝගයක්. ඒ කාලෙ පාවිච්චි කරපු භාණ්ඩ, ඇඳුම් වගේ දේවල් ගැන ගොඩක් සැලකිලිමත් වුණා. පුස්කොළ පොත් සංරක්ෂණය කරන අනුරාධපුර රතනවිභූති හාමුරුදුවෝ කරුවල අඳුන හදපු ඇත්තම පුස්කොළ පොත දුන්නා. අනෙක් ඒවා කොණ්ඩදෙණිය පන්සලෙන් ලැබුණා. අපි යොදාගත්තෙ ඇත්තම දේවල්. මහව තියෙන ඩොක්ටර්ගේ ගෙදරත් ඒ කාලෙ වෙදගෙදරක්. ඒ ගෙදර කරුවල අඳුන ඇඹරුවා කියලත් ඒ ගෙදර දැනට ඉන්න පරම්පරාවේ කෙනෙක් කිව්වා. ශ්‍යාම් ප්‍රනාන්දු, ආශා එදිරිසිංහ, වසන්ත විට්ටච්චි, මොරින් චාරුණී, කෝරලගේ සමන් ඇතුළු ජනප්‍රිය රංගන ශිල්පීන් රැසක් මේ සඳහා රංගන දායකත්වය සපයනවා. මේ වෙද්දි ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. තේ හදල දුන්න මල්ලිගේ ඉඳන් මගේ තැන දක්වා හැම කෙනෙකුගේම කැපවීමේ ප්‍රතිඵලය තමයි මේ සාර්ථකව අත්විඳින්නේ.“


ජාතික තරුණ සේවා සභාවේ ඩ්‍රාමා ඇන්ඩ් තියටර් ඩිප්ලෝමාවෙන් ලද දැනුමින් ක්ෂේත්‍රයට පිවිසි සංඛ මේ වන විට ටෙලි නිර්මාණ පනහකට වඩා සහාය අධ්‍යක්ෂණයෙන් දායක වී ඇත. දයාරත්න රටගෙදර, ඩබ්.ඩබ්. පතිරණ, ලලිත් රත්නායක, රොහාන් ජයකොඩි, සුදත් දේවප්‍රිය, රජීව් ආනන්ද වැනි පැරැන්නන්ගේ දැනුම නිවැරැදිව උකහාගත් ඔහු අඩෝ, තුම්පනේ වැනි මෑත කාලීනව ජනප්‍රිය වුණු ටෙලි නිර්මාණවලට මෙන්ම සිනමා නිර්මාණවලට ද සහාය අධ්‍යක්ෂණයෙන් දායක වී ඇත. සිනමාපටයක් අධ්‍යක්ෂණය කිරීම ඔහුගේ මිළඟ බලාපොරොත්තුවයි.

gossiplanka image 2
Previous Post Next Post