
කොහොමද මේ දවස්වල ජීවිතේ….?
මේ දවස්වල මෙගා ස්ටාර් තරගාවලියේ සංජානා සමඟ තරග වදිනවා. ඒ වගේම භෞත චිකිත්සක වැඩ කටයුතු සමඟ වෘත්තියමය ජීවිතය ගලාගෙන යනවා. ඊට අමතරව සුම්බා ක්ලාස් වගේම අලුත් නාට්‍යයක රූගතකිරීම් මෑතකදී ඇරඹුණා. ඒ නිසා මේ දවස්වල තරමක් කාර්යබහුලව ජීවිතය ගෙවනවා.
ඔබ කලාවට පිවිසෙන්නේ කොහොමද?
මම පාසල් යන කාලේ පටන්ම කලාවට යම් නැඹුරුවක් තිබුණා. නමුත් කලාවට එනවා කියන සිතුවිල්ලක් මට තිබුණේ නැහැ. එකී කටයුතුවලට වැඩි අවධානයක් යොමු වුණේ ඔෂාන් අයියගෙ නර්තන පන්තියට ඇතුළු වීමෙන් පසුවයි. ඉන්පසු ගයාන් ශ්‍රීමාල් සර්ගේ නර්තන කණ්ඩායමට මම එක්වෙනවා. මෙම කාලය අතරතුර මගේ වීඩියෝස් ජනතාව අතරට විටින්විට යනවා. එයත් සමඟම යම් යම් කලා කටයුතුවලට මට ආරාධනා ලැබුණා.
“ඇස යොමන තැනක…“ ගීතයට ඔබ කළ නර්තනය නිසා මුළු ලංකාවම එක් දිනකින් ඔබට ආකර්ෂණය වුණා. ඒ මොහොතෙ ඔබට දැනුණේ මොන වගේ හැඟීමක් ද ?
ඔෂාන් අයියගේ අවුරුදු උත්සවයේ කොල්ලො සෙට් එක එකතු වෙලයි එම නර්තනය කරන්නේ. ඒක වයිරල් වෙන්න කියලා හිතල කරපු නර්තනයක් නෙමෙයි. එම උත්සවය වීඩියෝ කරපු අයියා ඒ නර්තනය එයාගේ ටික් ටොක් පේජ් එකේ, යූ ටියුබ් එකේ වගේම ෆේස්බුක් ගිණුම්වල පළ කරලා තිබුණා. නොසිතපු විදිහට ඒක වයිරල් වුණා. ඒ අහඹු ජනප්‍රියත්වයත් සමඟම අවුරුදු කුමරා දෙවැනි ස්ථානය හිමිවුණා. ඒ සිද්ධි දෙකම එකවර සිදුවූ නිසා මිනිසුන් අතරට ඉක්මනින් යන්න මට හැකියාව ලැබුණා.
භෞත චිකිත්සකවරයා හා නර්තන ශිල්පියා යන වෘත්තීන් අතර ඔබ ජීවන වෘත්තිය ලෙස තෝරාගන්නේ මොකක්ද?
මගේ අධ්‍යාපන කටයුතු ඉලක්ක වුණේ භෞතික චිකිත්සකවරයකු ලෙස වගේම සුම්බා උපදේශකවරයෙක් ලෙස ඉදිරියට යෑමටයි. නර්තනය හා රංගනය මම සිදුකරන්නේ විනෝදාංශයක් ලෙස වගේම මගේ ආසාවටයි. මගේ වෘත්තිය මම අතාරින්නෙ නැහැ. නමුත් රංගනයට වගේම නර්තනයටත් යම් ආරාධනාවක් ලැබුණොත් එයත් උපරිමෙන් කිරීමට කාලය වෙන් කරනවා.
සිනමාවට ආරාධනා ලැබුණේ නැද්ද
චිත්‍රපටයකටත් ආරාධනා ලැබුණා. එහි රූගත කිරීම් ආරම්භ කරන්නේ ලබන අවුරුද්දෙයි. මේ වනවිට ටෙලි නාට්‍යයක රූගත කිරීම් එක්ක සම්බන්ධ වී සිටිනවා.
කලාවට පිවිසුණාම ප්‍රවීණයන්ගෙන් අත හිත ලැබුණද?
මම රංගනය ගැන ගොඩක් ඉගෙන ගත්ත කෙනෙක් නෙමෙයි. ඒ නිසා ප්‍රවීණයන්ගෙන් යම් යම් උපදෙස් ලබාගෙන මං මගේ රංගන කාර්යය ඉටු කළා. ඔවුන් නිර්ලෝභීව මට ලොකු සහයෝගයක් ලබා දුන්නා. අප හැම තප්පරයේම රංගනය ඉගෙන ගන්නේ ප්‍රවීණයන්ගේ රංගනය තුළින්. ඒ නිසා එකී චරිතයට උපරිම සාධාරණත්වයක් ඉටු කරන්නට එය ලොකු අත්වැලක් වුණා. ඒ වගේම ඔෂාන් ලියනගේ අයියා, ගයාන් ශ්‍රීමාල් සර්, දමිත්‍රී අක්කා යන තුන්දෙනායි මගේ කලා ගමනට මුල් අත්තිවාරම දැම්මේ. ඒ නිසා ඔවුන්ව මේ වෙලාවේ විශේෂයෙන් මතක් කරන්න අවශ්‍යයි.
ඔයාගේ හිනාව ගොඩක් ගෑනු ළමයින්ට ඉනාවක් වුණා කියන කතාව ඇත්ත ද?
ඔව් ගොඩක් ප්‍රේමාරාධනා ලැබුණා. ඒ වගේම ෆේස්බුක් එකෙනුත් ගොඩක් මැසේජ් එනවා. ගැහැනු, පිරිමි භේදයක් නැතුව හැමෝම මට හරිම ආදරෙන් මැසේජ් කරනවා. මම මේ වෙනකම් කාගෙන්වත් බැණුමක් අහලා නැහැ.
රංගන කාර්යය හැදෑරීමට බලාපොරොත්තුවක් තිබෙනවා ද?
අනිවාර්යෙන්ම රංගනය හැදෑරිය යුතුයි කියලා මම විශ්වාස කරනවා. හුස්ම පාලනය කරන විදිහ, කටහඬ උස් පහත් කරන ආකාරය වැනි සියුම් දෑ අධ්‍යයනය නොකළොත් රංගන කාර්යය කිරීම අපහසුයි. ඒ නිසා ඉදිරියේදී අනිවාර්යෙන්ම එය හැදෑරීමටත් බලාපොරොත්තුවක් තිබෙනවා.
ලැබූ ජනප්‍රියත්වය ඔබ තුළම රඳවාගන්න වගේම මිනිසුන් අතර ඉන්න ඔබ කරන ව්‍යායෑම් මොනවා ද ?
ජනප්‍රියත්වය අපට බලෙන් තියාගන්න බැහැ . ජනප්‍රිය වෙන්න හිතාගෙන වීඩියෝ දැම්මත් ඒවා ජනප්‍රිය වෙන්නේ නැහැ. මම හිතන්නෙ ජනප්‍රියත්වය වාසනාව මත පදනම් වූ දෙයක් කියලා. එය ඉබේම ලැබෙන දෙයක්. හොඳට සැලසුම් කරලා ටෙක්නික්වලට නැටුවත් ඒවා වයිරල් වෙන්නේ නැහැ. ඒකට හොඳම උදාහරණය ඇස යොමන තැනට ගීතයට මම කරපු නර්තනයයි. එය අතිශය සාමාන්‍ය නර්තනයක්. නමුත් එය නොසිතූ විදිහට මිනිසුන් වැළඳ ගත්තා. ඒ නිසා ජනප්‍රියත්වය ගැන මම හිතන්නේ නැතුව මගේ වැඩ කටයුතු කරමින් ඉදිරියට ගමන් කරනවා.
“ඇස යොමන තැනක මා නෙතු හමුවන්නේ ඔය රුවයි” කියන්න කෙනෙක් දැන් ඔයාටත් ඉන්නවද?
අනේ නැහැ. එහෙම කෙනෙක් නැහැ.
ඔයාගේ අනාගත බලාපොරොත්තු මොනවාද?
මගේ ලොකුම බලාපොරොත්තුව මගේම කියල භෞතක චිකිත්සක ක්ලිනික් එකක් හදා ගැනීමයි. ඒ වගේම ඔස්ට්‍රේලියාවට ගිහින් අධ්‍යාපන කටයුතු කිරීමටත් බලාපොරොත්තුවක් තිබෙනවා. ඒ වගේම කලා කටයුතු තුළිනුත් ඉදිරියට යන්න ආසයි.
