
“මම ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට පිවිසෙන්න කලින් වේදිකා නාට්‍යවලට සම්බන්ධ වුණා. එහිදී දයානන්ද ගුණවර්ධනගේ නරි බෑනා නාට්‍ය ITN නාළිකාවේ මූලිකත්වයෙන් ජෝන් ද සිල්වා සමරු රඟහලේ රඟ දක්වන විට ඒ සඳහා මමත් දායක වුණා. එදා 6.30 වැඩසටහන නැරඹීම සඳහා කෝපි කඩේ ටෙලි නාට්‍යයේ නිෂ්පාදක අංශයේ ජනකත්, ලලිත් සමරවීරත් ඇවිත් හිටියා. ඒ දවස්වල කෝපි කඩේ නාට්‍යයේ ජනක කුඹුරගේ පිනාගේ චරිතය කළා. ඔහු ටෙලි නාට්‍යයෙන් හදිසියේ ඉවත්වන බව පවසා තිබූ නිසා මා එම චරිතයට සුදුසුයි කියලා නිෂ්පාදකවරුන්ට හිතිලා ඔවුන් මට කිව්වා එයට සම්බන්ධ වෙන්න කියලා. ස්ක්‍රීන් ටෙස්ට් එකකින් පසුව කෝපි කඩේ ටෙලි නාට්‍යයට මට සම්බන්ධ වෙන්න පුළුවන් වුණා.”
සමන් ගුණවර්ධනයන් කෝපි කඩේ නාට්‍යයට සම්බන්ධ වන්නේ 99 වැනි කොටසේදීය. එය කුමාර සිරිවර්ධනගේ ‘ හොරු ‘ කතාවටය. කෝපි කඩේ නාට්‍ය තුළින් ඔහුට අමතක නොවන සැබෑ මිතුරන්ද, හොඳ හදවත්ද හමුවූ බව පැවසූ සමන් කෝපි කඩේ ටෙලි නාට්‍යයේ අමතක නොවන සිදුවීම් රැසක්ද සිහි කළේය.
” එක කතාවක සුවඳටයි, අප්පුටයි, මටයි කෙසෙල් ගසකට නගින කොටසක් තිබුණා. මම තමා කෙසෙල් ගහ උඩට නගින්න හිටියේ. මට තිබුණේ කෙසෙල් ගෙඩි කන ගමන් සුවඳටයි අප්පුටයි දෙන්න. හැබැයි මම කෙසෙල් ගහට නැග්ගට පස්සේ ඒ ගහ අප්පුගේ ඇඟට කඩා වැටුණා. අපි හයියෙන් කෑ ගැහුවා. ඒත් කවුරුත් සීන් එක කට් කළේ නැහැ. එම කොටස පිටපතේ නොතිබුණත් ඔවුන් එම කොටස කතාවට එක් කරලා තිබ්බේ එයින් ප්‍රේක්ෂකයින් වැඩි වශයෙන් සිනහ ගැන්විය හැකි නිසයි. “
කෝපි කඩේ නාට්‍යයේ බණ්ඩාගේ චරිතය හුදු ලාංකීය ජනතාවගේ සිත් සතන් ගැඹුරටම කාවැදී ඇත්තේ හාස්‍ය චරිතයක් ලෙසිනි.
” ඒ කාලේ අපි මළ ගෙවල්වලට ගියේ නෑ. මොකද අඬ අඬ ඉන්න අය අපි දැක්කහම හිනාවෙනවා. ඒක අපිටත් හිතට හරි නැති නිසා කාලයක් අපි තුන්දෙනාම මළ ගෙවල්වලට සම්බන්ධ වුණේ නෑ.”
කෝපි කඩේ ටෙලි නාට්‍යයට අමතරව ඔහු තවත් ටෙලි නාට්‍ය කිහිපයකම රඟපා ඇත.
ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කරන ලද ‘මේ වසන්ත කාලයයි’ ටෙලි නාට්‍යයේ මුදලාලිගේ චරිතයත්, ඔහු විසින්ම අධ්‍යක්ෂණය කරන ‘ජීවිත රෝදය’ ටෙලි නාට්‍යයේ පාසල් ගුරුවරයෙක්ගේ චරිතයත්, ජගත් ප්‍රියන්ත විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘යකඩ මනමාලි’ ටෙලි නාට්‍යයේ රාජ්‍ය සේවා නිලධාරියකුගේ චරිතයත්, ටිකිරි රත්නායක විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘සකල ගුරු‘ නාට්‍යයේ දේශපාලනඥයකුගේ චරිතයත් රඟපා ඇත.
ඔහු රංගනයට පිවිස ඇත්තේ 1986 දීය. ඒ වේදිකා නාට්‍යය හරහා වන අතර වේදිකා නාට්‍ය රැසකටද සමන් දායකත්වය සපයා ඇත.
‘ආනන්ද ජවනිකා’ ඔහු පළමුවෙන්ම රඟපෑ වේදිකා නාට්‍ය වන අතර එය රාජ්‍ය සම්මාන උලළේදී හොඳම නාට්‍ය සම්මානය ලබා ගෙන ඇත. බන්දුල විජේවීර, රොඩ්නි වර්ණකුල, කිංස්ලි ලෝස් යන ප්‍රසිද්ධ නළු නිළියන් රැසක් මෙයට රංගනයෙන් දායක වී ඇත. මෙහිදී සරත් ගුණවර්ධනයන්ට වේදිකා නාට්‍යයේ මුල සිට අගටම ගීත ගායනා කරමින් ‘මධුර ජවනිකා‘ වේදිකා නාට්‍යයේ රොඩ්නි වර්ණකුල සමඟ ප්‍රධාන චරිතයන් රඟ දැක්වූ අතර එහිදී ඉන්දිය හමුදාකරුවන් ලෙසින් වඳුරු හමුදාවේ දෙදෙනකු ලෙසත්, සියම් දේශයෙන් එන වෙළෙන්දන්ගේ චරිතයත් රේල් ගේට්ටුකරුවන්ගේ චරිතයත් ඔවුන් මෙහිදී රංගනයෙන් දායකත්වය සපයා ඇත. පසුව කුමාර සිරිවර්ධනගේ ‘බූමරංග’ වේදිකා නාට්‍යයේද, ජයරත්න රූපසිංහයන් විසින් නිර්මාණය කරන ‘සුදු කබාය’ වේදිකා නාට්‍යයේ ප්‍රධාන ලිපිකරුවාගේ චරිතයත් මොහු විසින් සිදුකර ඇත. මායාදුන්න බණ්ඩාර විසින් නිෂ්පාදනය කරන ‘අසූ නමය’ වේදිකා නාට්‍යයේ වැඩිහිටි නිවාසයේ ප්‍රධාන වැඩිහිටියාගේ චරිතයත්, රෝහිත ඩයස්ගේ ‘ මන ධන සෘණ’ වේදිකා නාට්‍යයේ ප්‍රධාන හිඟන්නාගේ චරිතයත් රඟපා ඇත. මෙම වේදිකා නාට්‍යවලට අමතරව වෙනස් ආරයක් ගත් ජයරත්න රූපසිංහයන්ගේ ‘පැදුරයි කොට්ටෙයි’ වේදිකා නාට්‍යයේ දාමරික චරිතයකට රංගනයෙන් දායක වී ඇත.
සමන් ගුණවර්ධනව ලාංකීය ජනයා හඳුනා ගන්නේ කෝපි කඩේ බණ්ඩා ලෙසිනි. නමුත් කෝපි කඩේ බණ්ඩාගේ චරිතය තුළ බොහෝ දෙනෙක් නොදන්නා පැතිකඩයන් රැසකි.
සමන් සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ සංගීත උපාධියක් ගෙන වෘත්තීය ලෙසින් සංගීත ගුරුවරයෙක් ලෙස අලව්ව වෑවල මහා විද්‍යාලයේ වසර ගණනාවක් සේවය කර ඇත. එම වෘත්තියේ යෙදෙන අතරතුරදී ඔහුගේ බිරිඳ හමුවූ බවත් ඇය ඔහුගේ ජීවිතයට එක්වූ දා පටන් අද වන තුරු විශාල සහයක් වෙමින් තම ජීවිතයට දෙවෙනි අම්මා ලෙසින් කටයුතු කරන බව ඔහු පවසන්නේ සතුටිනි. එමෙන්ම වයඹ පළාත් සෞන්දර්යය අධ්‍යාපන අධ්‍යක්ෂක ලෙසින් විශාල සේවයක් අධ්‍යාපනය ක්ෂේත්‍රයට ලබා දී ඇත.
” අපි දිවයිනේ වයඹ පළාත අධ්‍යාපනය ක්ෂේත්‍රයෙන් දෙවෙනි ස්ථානයට පත් කළා. අපි පරාද වුණේ බස්නාහිර පළාතට විතරයි.”
සිය බාල පුතු විදුර ගුණවර්ධනටද, වැඩිමල් පුතු වන මධුර ගුණවර්ධන අධ්‍යාපනයේ යා හැකි ඉහළම ස්ථාන කරා යන්නට උගන්වා ඇති සමන් සිය පවුලට මහත් ආදරයක් දක්වයි.
අධ්‍යාපන අමාත්්‍යාංශයේ පවත්වන නාට්‍ය තරග, සංගීත තරගවලට විනිශ්චයකරුවකු ලෙසින් සහභාගී වන සමන් බොහෝ සමාජ සේවයන් රැසක් සිදුකරයි. එහිදී ඔහු විසින්ම නිර්මාණය කරගත් ‘ගී රස වින්දන’ වැඩසටහනක්ද, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා වයස්ගත වැඩිහිටියන්ව දැනුම්වත් කරමින් ඔවුන්ගේ ජීවිතයේ රස මුසු තැන් අවදි කරවීමත් කරනුයේ මනා ආකර්ෂණීය අයුරිනි.
ඊට අමතරව ගැබිනි මවුවරුන්ගේ මානසික ආතතිය දුරු කිරීමටත්, මවකගේ වගකීම ඔවුන්ට හඳුන්වාදීමටත්, ඔහු විසින් වැඩසටහනක් පවත්වනු ලැබේ.
” අද ඉන්න අම්මලා නැළවිලි ගීත ගයන්න දන්නේ නෑ. අප මේ වැඩසටහන් කරන්නේ අම්මයි තාත්තයි දෙන්නම එක ළඟ ඉන්දවලා. පුරුෂයෙකුගෙන් ස්ත්‍රියකට විය යුතු යුතුකම් පිළිබඳවත්, ඔවුන් පිළිබඳ අවබෝධයෙන් ජීවත් වන ආකාරය පිළිබඳවත් මම ඔවුන්ට කියලා දෙනවා. ”
මෙම වැඩසටහන් සඳහා තමන්ට විශාල ඉල්ලුමක් ඇති බවත් ඒ සඳහා තමා තුළ ඇති රඟපෑමේ හැකියාව හා ගායන හැකියාව ප්‍රධාන ලෙස බලපා ඇති බව ඔහු පවසන්නේ සතුටිනි.
