මට ඕන කළේ තරග කරන්න නෙවෙයි පළමුවැනි සිනමා නිර්මාණයට නිසි ඇගැයීමක් ලබන්න - නදී වාසලමුදලිආරච්චි

gossiplanka image 2
ඇගේ රුව මෙන්ම හඬ ද ප්‍රේක්ෂක සිත් මන්මත් කළාය. නිවේදනයේ මෙන්ම රචනයේ ද එකසේ දස්කම් පාන ඇය නදී වාසලමුදලිආරච්චි නමින් කලක් රසික හදවත් සෙනෙහසින් ස්පර්ශ කළාය. දිගු නිහැඬියාවකින් පසුව නැවතත් ඇය පැමිණ ඇත. ඒ සිනමා අධ්‍යක්ෂණය ඔස්සේය. කුලුඳුලේ ඇය අතගැසූ ‘පැන්ත්‍රම්’ සිනමාපටය මේ වනවිටත් ජාත්‍යන්තරයේ අවධානයට ලක් වී ඇත. එය ඇගේ ඉදිරි ගමනට සුබ සලකුණකි. මේ ඇය කුඩා කල පටන් දුටු සිහිනය යථාර්ථයක් වූ මොහොතයි. දැනුමෙන්, හැකියාවෙන් මෙන්ම අත්දැකීම්වලින් පෝෂණය වෙමින් ඇය ඊට අවැසි පරිසරය සකසා ගත්තාය. පසුගියදා කේරළයේ ප්‍රදර්ශනය වූ ඇගේ කුලුඳුල් සිනමා නිර්මාණය ගැන කතා කිරීමේ අපේක්ෂාවෙන් ඇය අප හා එක්වූවාය.


නදී වාසලමුදලිආරච්චි කියන නම ඇහෙන්නෙ ගොඩක් කාලෙකින්. මේ දවස්වල ආයෙම කාර්බහුලයි වගේ ?


ඔව්. ඒ මගේ කුලුඳුල් චිත්‍රපටය පැන්ත්‍රම් නිසා. වැඩසටහන් නිෂ්පාදනය, නිවේදනය වගේම රචිකාවියක් විදිහට කටයුතු කළාට පුංචි කාලෙ ඉඳන්ම මට තිබුණේ සිනමා අධ්‍යක්ෂණය ගැන හීනයක්. ඒකට අවශ්‍ය දැනුම, අත්දැකීම් එකතු කරගනිමින් මං ඒකට අවශ්‍ය පරිසරය හෙමින් හෙමින් හදාගත්තා. හිතුවටත් වඩා ඉහළින් මට ඒ හීනය සැබෑ කරගන්න පුළුවන් වුණා. ‘පැන්ත්‍රම්’ නිර්මාණය වෙන්නේ ඒ විදිහට. කතා සංකල්පය වගේම තිරපිටපතත් මගේ. සම්පත් ගුණවර්ධන, උදාර පල්ලියගුරු නිෂ්පාදනයෙන් සහාය වුණා.


පැන්ත්‍රම් කියන්නෙ ටිකක් අමුතු නමක්. ඒ ගැන කතා කළොත් ?


0‘පැන්ත්‍රම්’ කියන්නේ සාමාන්‍යයෙන් භාවිත වන වචනයක් නෙවෙයි. අපි නිර්මාණය කළ වචනයක්. විජය – කුවේණි කතාවේ එන දිවි දෝෂය සංකේතවත් කරන්න ‘පැන්තර්’ කියන වචනයයි කිසිම හේතුවක් නැතුව පුංචි ළමයි හිටිගමන් වේදනාවෙන් කෑගහනව කියන තේරුම සහිත ‘ටැන්ට්‍රම්’ කියන වචනයයි එකතුවෙලා තමයි ‘පැන්ත්‍රම්’ කියන වචනය හැදෙන්නේ. පැන්ත්‍රම් තාම ලංකාවේ ප්‍රදර්ශනය වුණේ නැහැ. මුලින්ම අපි ඒක ඉන්ඩිපෙන්ඩන්ට් එක්ස්පෙරිමන්ටල් ෆිල්ම් ෆෙස්ටිවල් ඔෆ් කේරළ සිනමා උලෙළේ තරගකාරී නොවන අංශයට ඉදිරිපත් කළා. ඇත්තටම මට ඕන කළේ තරග කරන්න නෙවෙයි පළමුවැනි සිනමා නිර්මාණය විදිහට නිසි ඇගැයීමක් ලබන්න. ඒක අනුග්‍රාහකයන් නැති ස්වාධීන විනිශ්චය මණ්ඩලයකින් යුතු සිනමා උලෙළක්. ලෝකෙන්ම තෝරගෙන තිබුණේ චිත්‍රපට 6යි. ඒ අතරට එන්න ලැබීම ලොකු ජයග්‍රහණයක්.


කේරළය කියන්නේ මේ වෙද්දි සිනමාවේ තෝතැන්නක් කිව්වත් හරි. ලැබුණු ප්‍රතිචාර ගැන මොකද හිතෙන්නේ?


හිතාගන්න බැරිතරම් ප්‍රතිචාර ලැබුණා. මංගල දර්ශනය තිබුණේ මැයි 9 වැනිදා. චිත්‍රපට උලෙළේ සමාරම්භක චිත්‍රපටය විදිහට ප්‍රදර්ශනය වුණෙත් අපේ එක. කේරළයේ මාධ්‍ය අපිට ලොකු සපෝට් එකක් දුන්නා. ඒ ගැන විශේෂයෙන්ම ස්තුති කරන්න ඕන. අපි යන්නත් කලින් ඉඳන්ම පත්තර හතක විතර නිවුස් ගිහින් තිබුණා. මේක ලංකාවෙත් ප්‍රදර්ශනය කළ යුතුයි කියන අදහස එන්න ඒකත් උත්තේජකයක් වුණා කිව්වත් හරි. කේරළය වගේ සිනමාවට සාරවත් බිමක මගේ පළමු නිර්මාණයට ඉඩක් ලැබුණා කියන්නෙම අපිට පැළවෙන්න අවශ්‍ය පෝෂකය ලැබුණා කියන එක. ඒ විශ්වාසය පන්නරයක් කරගෙන දැන් මට මගේ ඉදිරි ගමන ස්ථාවරව යන්න පුළුවන්. පී.කේ. සුදර්ශන් කියන ප්‍රකට විචාරකයා මලයාලම් පොතකට ලිපියක් ලියන්න කියලත් මට ආරාධනා කළා.


පැන්ත්‍රම් සඳහා ඔබ තේමා කරගන්නේ මොකක්ද?


මූලිකම සාධකය වුණේ මනුස්සකම කියන එක. යුද කාලෙදී මඟහැරුණු තාත්තා කෙනෙකුයි පුතෙකුයි යුද්ධයෙන් පස්සෙ හමුවෙන්නේ නන්නාඳුනන දෙන්නෙක් විදිහට. ඒ අවස්ථාවේ ඔවුන්ගේ මානුෂීය ගුණාංග බෙදාගන්න විදිහ තමයි මේකෙන් කතා කරන්නේ. රචිකාවියක් විදිහට ලබපු පන්නරය නිසා මට මේක ලියන්න පහසු වුණා. යුද්ධය දැක දැක ජීවත් වුණු අපට යුද්ධයෙන් පස්සේ ඒක දැනෙන්නේ කොහොමද කියන එක ගැන මට කියවිමක් තිබුණා. මට කතා කරන්න ඕන වුණේ ඒ මනුස්සකම ගැන. ඒක ගැන කතා කරලා ඉවර කරන්නෙ නැතුව ඉන් එහාට දෙයක් කරන්න මට බැරිවෙයි කියන හැඟීම මා තුළ තිබුණා. පැන්ත්‍රම් නිම වෙන්නේ හේමසිරි ලියනගේ, මයුර පෙරේරා, අනසුයා සුබසිංහ ඇතුළු සීමිත රංගන ශිල්පින් පිරිසකගේ රංගන දායකත්වයෙන්. කැමරාවෙන් සහාය වුණේ රිෂී සෙල්වම්. මගෙත් එක්ක වැඩකරපු කණ්ඩායම මට ලොකු සහායක් දුන්නා.


ඔබ ස්වර්ණ පුස්තක සම්මානයටත් නිර්දේශ වුණ රචිකාවියක්. ඒ ගැන මතක් කළොත්?


බොහෝ දෙනා මං ගැන දැනන් හිටියේ නිවේදිකාවක් විදිහට. රචිකාවියක් විදිහට මේ වෙද්දි මං පොත් හයක් රචනා කරලා තියෙනවා. නවකතා තුනක් සහ කෙටිකතා තුනක්. වුල්ෆන්ඩාල් ස්ට්‍රීට් කියන්නේ 2015 වසරේ ස්වර්ණ පුස්තක සම්මානයට නිර්දේශ වුණු ග්‍රන්ථය. 1948 ඉඳන් 2015 තෙක් ලංකාව දේශපාලනික වශයෙන් වෙනස් වුණු විදිහ තමයි මං ඒ කතාවෙන් කිව්වේ.


නිවේදිකාවක්, රචිකාවියක් එකපාරටම චිත්‍රපට අධ්‍යක්ෂණය පැත්තට යොමුවෙන්නේ කොහොමද?


නිවේදිකාවකට, රචිකාවියකට අමතරව මං මාකටින් පැත්තට යොමුවෙලා මාකටින් ඇන්ඩ් මැනේජ්මන්ට් ඉගෙන ගත්තා. කාලයක් වී එෆ්එම් හෙඩ් ඔෆ් මාකටින් හිටියා. ඊට පස්සෙ AGM මාකටින් වුණා. මාකටින් පැත්තේ ගනුදෙනු කරන්න තියෙන විදිහ වෙනස්. එතැනදී කලාව පැත්තෙන් මගේ හිතේ තිබුණු ආසාව ඉටුකරගන්න ඕන නිසාම මං දැන්වීම් ක්ෂේත්‍රය තෝරගත්තා. දෙයකට ෆෝකස් කරලා කොහොමද ඒක හරියටම කරගන්නේ කියන දැනුම මං ලබාගත්තේ එතැනින්. වෙළෙඳ දැන්වීමක් කියන්නේ අඩු කාලයකින් ලොකු කතාවක් කියවෙන දෙයක්නේ. සංකේත භාවිතය කියන්නෙත් ඒ වගේ දෙයක්. අධ්‍යක්ෂණයේදී මේ දේවල් මට හොඳ පන්නරයක් වුණා. සිනමා නිර්මාණය තුළ ෆ්‍රේම් එකක් හදාගන්න ඒ ආභාසය වගේම මගේ අධ්‍යාපනික දැනුමත් ගොඩක් ඉවහල් වුණා.


ඡායාරූප – නිශ්ශංක විජේරත්න

gossiplanka image 1
Previous Post Next Post